සහල් හිගයටත් හේතුව කබ්රාල්ගේ “ඩොලර් සංචිත”

දැන් දිවයිනේ වර්දනය වෙමින් පවතින සහල් හිගයට හේතු වී ඇත්තේ සහල් ආනයනයට සහ ආනයනය කළ සහල් තොග මුදාගැනීමට ඩොලර් නිකුත් නොකර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු කලින් කී “ඩොලර් සංචිත ” ඉලක්කය පෙන්නුම් කිරීමට යාම බව හෙළිදරව් වෙයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ මේ වනවිට ආනයනය කළ සහල් කන්ටේනර් 300 කට වැඩි ප්‍රමාණයක් මුදා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම නිසා වරායේ සිර වී ඇති බවයි. එමෙන් ම සහල් ආනයනය සඳහා ඇනවුම් කිරීම ද නැවතී ඇති බව ඒ මහතා කියයි.

මේ නිසා රටපුරා සහල් හිගයක් නිර්මාණය වී ඇති අතර සහල් නිකුත් කිරීම ද සීමා කොට ඇති බව වාර්තා වෙයි.

කිරිපිටි ගෙන්වීමට ද ඩොලර් නිකුත් නොකිරීම නිසා රට පුරා දරුණු කිරිපිටි හිගයක් පවතියි. කිරිපිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන බව රජය තීරණය කොට ඇති අතර ජනතාව කිරිපිටි පැකට්ටුවක් ලබා ගැනීමට පවා පැය ගණන් පෝලිම්වල ගත කරන අයුරු වාර්තා වෙයි.

සහල් ද අත්‍යවශ්‍ය නොවන බව රජය තීරණය කොට ඇත්දැයි දැනගන්නට නැත. කෙසේ වෙතත් සහල් ආනයනය සඳහා ද ඩොලර් නිකුත් කොට නැත.

මේ සියල්ලෙන් පසු මහ බැංකුව ඩොලර් බිලිය තුනක සංචිත ගොඩ නැගූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කොට ඇත.

මේ වසර අවසන් වන විට ඩොලර බිලියන තුනක සංචිත ගොඩනගන බව කබ්රාල් මහතා ප්‍රකාශ කොට තිබු අතර ඒ ඉලක්කය ඒ මහතා අද සපුරාගෙන ඇත.

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ඉලක්කයක් කබ්රාල් මහතා හෝ රජය හෝ විසින් ප්‍රකාශ කොට නොතිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *