මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගෙන්වන කැබිනට් රැස්වීම ජනවාරි 3 දාට කල් යයි

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් වරයා සහ මහ බැංකු අධිපතිවරයා කැඳවා කරන විශේෂ කැබිනට් රැස්වීම ජනවාරි මස 03 දා දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි.

පසුගිය 13 දාට යොදාගෙන තිබුණු මෙම රැස්වීම ජනාධිපතිතුමා හදිසියේ විදේශ ගතවීම නිසා නොපැවැත්විණි. ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඔවුන් දෙදෙනා කැඳවා නොතිබිණි. නත්තල් සඳහා ඇමතිවරුන් නිවාඩු යන නිසා ලබන සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්වීමට තීරණය කොට ඇත.

ඒ අනුව මීළඟ කැබිනට් රැස්වීම ජනවාරි 03 දා පැවැත්වීමටත්, එම රැස්වීම සඳහා මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කැඳවීමටත් තීරණය කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙම  කැබිනට් රැස්වීමේ දී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ යා යුතු බවට ඇමතිවරුන් පිරිසක් එහිදී පෙන්වා දී ඇත.

තවත් ඇමතිවරුන් පිරිසක් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවය.

ඒ අනුව ඒ පිළිබඳව තීරණයක් ගැනීම ජනවාරි 03 දා කැබිනට රැස්වීමෙන් පසු තීරණය කරනු ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *