21 වන සියවසේ මාධ්‍ය අභියෝග වලට 20 වන සියවසේ විසඳුම් උචිතද? – මහාචාර්ය රොහාන් සමරජීව
මහජන අදහස් විමසීමේ සහ සමයින් ගේ සමාලෝචනය පිළිබඳව විශ්වාස කරන්නකු වන මා, මාධ්‍ය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය විසින් හෙළි දක්වන ලද වාර්තාව කියවීම ඇරඹුයේ මහත් අපේක්ෂා ඇතිවය. Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka මැයෙන්වූ එය පිටු 284 කින් සමන්විත විශාල වාර්තාවකි. එහෙත්, එහි දක්නට ඇති නවීන ′ අවධාන ආර්ථිකය′ (“attention economy”) පිළිබඳ දුර්වල අවබෝධය සහ මනෝ කල්පනා මත පිහිටා සිදු කර ඇති යල් පැන ගිය නිර්දේශ නිසා එම අපේක්ෂා භංගවිය.
අවධාන ආර්ථිකය ප්‍රථම වරට විස්තර කලේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ හර්බර්ට් සයිමන් විසින් 1971 වර්ෂයෙහි දී ය. ″තොරතුරු ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් ඒවාට අවධානය ලැබීම දුර්ලභ වන හෙයින් අවධානය ලබා ගැනීමට අපේක්ෂා කරන අති-බහුල තොරතුරු මූලාශ්රයන් අතර එය කාර්යක්ෂමව බෙදා වෙන් කළ යුතුය″. මෙයින් අදහස් වනුයේ වර්තමානයේ වඩාත්ම දුර්ලභ වූත් එහෙයින් වඩාත් වටිනාකමකින් යුක්ත වන්නා වූත් දේ අවධානය බවයි.
සාම්ප්‍රදායික මාධ්‍ය ඉදිරියේ ඇති අභියෝගය
වාර්තාව විසින් නව මාධ්‍ය නොතකා හැර නැත. දැනට රුපියල බිලියන 1 ක් පමණ වන සහ තවදුරටත් වැඩිවෙමින් පවතින නව මාධ්‍යයන් ආකර්ෂණය කර ගන්නා වෙළඳ දැන්වීම් ආදායම; සාම්ප්‍රදායික මාධ්‍යයන් තවමත් ලබාගන්න රුපියල් බිලියන 30ක පමණ වෙළඳ දැන්වීම් ආදායම වැනි කරුණු වාර්තාවේ අඩංගු කොට ඇත. එමෙන්ම, නිවෙස් වල බහුල වශයෙන්ම භාවිත වන ඉලෙක්ට්‍රොනික උපකරණය ජංගම දුරකතන බවද, දෙවැනි සහ තෙවැනි ස්ථාන රූපවාහිනී යන්ත්‍ර සහ ගුවන් විදුලි යන්ත්‍ර වලට ඇති බව ද එහි සඳහන් ය. ජංගම දුරකතන ඔස්සේ දැන් බොහෝ දෙනෙක් අන්තර්ජාලයට පිවිසෙන බව ද වාර්තාව දක්වයි. මේ සියල්ල සැපයුම් පැත්තට සම්බන්ධ කරුණු වේ. මෑත කාලීන ඉල්ලුම් පැත්තේ දත්ත කිසිවක් එහි සඳහන් නොවීම කණගාටුවට කරුණකි.
එවැනි තොරතුරු අඩංගු කර නැත්තේ ඒ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන් නොමැති නිසා නොවේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2016 වර්ෂයේ ජනවාරි මාසයේ දී බස්නාහිර පළාතේ නියෝජිත නියැදියක් යොදා ගනිමින් කරන ලද සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ ″සමීක්ෂණයට සහභාගි කරගත් පුද්ගලයින් අතර ප්රවෘත්ති ලබා ගැනීමේ මාධ්‍යයන් අතරින් වඩාත් ම ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනී නාලිකා බවයි. එහි දෙවැනි තැන මුහුණු පොතට සහ තෙවෙනි තැන අන්තර්ජාලය ට හිමිවේ. සමීක්ෂණයේ දී සොයා ගත් කරුණු වයස් මට්ටම් අනුව වර්ගීකරණය කිරීමේ දී වයස 18-24 අතර කාණ්ඩය ප්රවෘත්ති දැනගැනීමට ප්‍රධාන වශයෙන්ම මුහුණු පොත යොදාගන්නා අතර එහි දෙවැනි සහ තෙවැනි තැන් පිළිවෙලින් පෞද්ගලික රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලය විසින් අත් කර ගෙන ඇත″
බස්නාහිර පළාත යනු සමස්ත ශ්‍රී ලංකාව නොවෙතත් වයස 18-24 අතර කාණ්ඩය රටේ සමස්ත ජනගහනය නොවෙතත් අපේ පරමාර්ථය වනුයේ අපේ රටේ මාධ්‍ය සංවර්ධනය සඳහා අනාගත මාර්ග පථයක් සලකුණු කිරීම නම් ඒ කාර්ය සඳහා මේ දත්ත බෙහෙවින් අදාලය.
ජනගහනයේ වැදගත් කොටසක අවධානය, දැනටමත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙතින් ගිලිහෙමින් පවතී. මෙම වයස් ඛණ්ඩය ක්‍රමයෙන් වයසට ගොස් වැඩිහිටි පරම්පරාව බවට පත්වන විට ඔවුන් සිය පුරුදු සහ අභිමතයන් තමන් සමගම ඒ පරම්පරාවට ගෙන යනු ඇත. ඔවුන්ගෙන් අනතුරුව එන කණ්ඩායම් ද සාම්ප්‍රදායික මාධ්‍ය ධාරාව වෙත ආපසු ගමන් නොකරනු ඇත. වෙළඳ දැන්වීම් සඳහා යොදවනු ලබන මුදල් ද මේ ප්‍රවණතාවය පිටුපසම ගමන් කරනු ඇත. සාම්ප්‍රදායික මාධ්‍ය ක්‍රමයෙන් හැකිලී අභාවයට යනු ඇත. ප්රවෘත්ති මාධ්‍ය අංශයේ දී විශ්වාස කටයුතු තොරතුරු සපයන්නන් ලෙස කැපී පෙනීමට සමත් වුනු ආයතන කිහිපයක් පමණක් නොනැසී පවතින්නට ඉඩ ඇත.
පිටු ගණනාවක් වෙහෙසුනද ඉහත සරල නිගමනය ග්‍රහණය කරගන්නට වාර්තාවේ සම්පාදකයින් අසමත්ව තිබේ.
සදොස් ප්‍රතිපත්තිමය යෝජනා
ශ්‍රී ලාංකික මාධ්‍ය ක්ෂේත්රයේ දැනට පවතින ප්‍රධානතම ගැටළුව වනුයේ එක්කෝ රාජ්‍ය මාධ්‍ය (ප්රවෘත්ති පත්‍ර ද ඇතුළුව) විසින් මේ රටේ සමස්ත ජනතාවට කරනු ලබන හානි හෝ පෞද්ගලික මාධ්‍යවල විසින් කරනු ලබන දුෂ්කෘතීන්ය. මා සිතන ආකාරයෙන් නම් මින් පළමුවැන්න වඩාත් ප්‍රධානය. මන්ද එම හානිය සිදු කරනු ලබන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් භාවිත කරමිනි.
රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන් කර ඇත්තේ පහත දැක්වෙන නිර්දේශයන්ය.
රාජ්‍ය හිමිකමින් සහ රාජ්‍ය කළමනාකාරිත්වයෙන් යුතු විකාශන මාධ්‍ය (ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සහ ස්වාධීන රූපවාහිනී ජාලය) දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන සැබෑ පොදු ජන සේවා විකාශනයන් බවට පත් කිරීම උදෙසා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ රජය විසින් ආරම්භ කළ යුතුය. පොදු ජන විකාශනයන්ට රජයට යටත් නොවන පාලන ව්‍යුහයන් තිබිය යුතු අතර තමන් විසින් විකාශනය කරන අන්තර්ගතය පිළිබඳ ස්වායත්තතාවයක් ද හිමි විය යුතුය. පොදු ජන සේවා විකාශනයන් රජයෙන් ස්වාධීන වන බව නීතියෙන් තහවුරු කළ යුතුය. ස්වාධීන පාලන මණ්ඩලයක් පත්කිරීම, තමන් විසින් විකාශනය කරනු ලබන මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ ස්වාධීනත්වය එම විකාශනයන්ට ලබා දීම යනා දී අංශ වලින් මේ ස්වාධීනත්වය සහතික කළ යුතු වන අතර ඒවායේ සේවය කරන වෘත්තිකයිනට සහ පාලන මණ්ඩලය ද ඇතුළු කාර්ය මණ්ඩල වලට ආරක්ෂාව සැලසිය යුතුය. පොදු ජන සේවා විකාශන සම්බන්ධ නීති සම්පාදනය කිරීමේ දී යුරෝපයේ, කැනඩාවේ සහ ආසියාවේ ක්‍රියාත්මක වන එවැනි විකාශනයන් ගේ ආදර්ශයන් සැලකිල්ලට ගත යුතුය.
හිතුවක්කාර දේශපාලන මැදිහත් වීම් වලින් මෙන්ම වෙළඳ පල බලවේගයන්ගෙන් ද පොදු ජන සේවා විකාශනයන් ආරක්ෂා කිරීම පිණිස අවශ්‍ය රජයේ අරමුදල් දීර්ඝ කාලීන සහ ස්ථාවර වශයෙන් ඒවාට ලැබෙන බවට රජය වග බලා ගත යුතු වේ. එම ආයතන වලට රජයේ අරමුදල් ලැබෙන යාන්ත්‍රණයක් තිබිය යුතුය.
රජයට අයත් මුද්‍රිත මාධ්‍ය (ලේක්හවුස්/එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම) සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව තීරණය ගැනීම සඳහා මහජන අදහස් වීමසීමක් පැවැත්විය යුතුය. එම ආයතනය, පොදු ජන සේවා මාධ්‍යයක් බවට පත් කිරීම, සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණය කිරීම, කොටස් අයිතිය පුළුල් කිරීම ආදී සියළු විකල්ප මෙහි දී සැලකිල්ලට ලක් කල යුතුය.
පොදු ජන සේවා විකාශනය ශ්‍රී ලංකාවට අළුත් අදහසක් නොවේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව පිහිටුවන අවස්ථා වල දී මෙන්ම එක්සත් ප්රවෘත්ති පත්‍ර ආයතනයේ අයිතිය රජයට ගත් අවස්ථාවේ දී ද සිදු කරන ලද පාර්ළිමේන්තු විවාද තුල ඉහත කී නිර්දේශ වලට සමාන වාක්‍ය සොයා ගත හැකි වනු ඇත. පොදු ජන සේවා විකාශනය අප විසින් අත්හදා බලා අසාර්ථක වී තිබේ.
නිර්දේශයන් හි දකින්නට ලැබෙන නවමු දෙයක් ඇත්නම් නම් ඒ ″රජය විසින් දීර්ඝ කාලීන සහ ස්ථාවර අරමුදල් ලබාදීම″, ″ස්වාධීන පාලක මණ්ඩලයක්″ විසින් පාලනය කිරීම සහ ″ මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ පූර්ණ ස්වායත්තතාවය″ ලබාදීම වැනි බොළඳ අදහස් පමණකි. මෙවන් පරමාදර්ශී තත්ව, අනුගමනය කරන්නැයි කියන රටවල පවා නොපවතී. කාර්ය මණ්ඩලයට මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ පූර්ණ ස්වායත්තතාවය ලබා දෙන්නේ නම් පාලක මණ්ඩලයක් පිහිටුවා ඔවුන්ට ස්වාධීනත්වය ලබා දීමට කරදර වන්නේ මන් ද? මේ කිසිවක් නොමැතිව, කාර්ය මණ්ඩල වලට ඔවුන් කැමති ආකාරයට ක්‍රියා කිරීම පිණිස බදු ගෙවන ජනතාව ගේ මුදල් නිත්‍ය නියෝග මගින් ඔවුන් වෙත ලැබෙන්නට නොසලසන්නේ මන් ද? මහජන සම්පත් භාවිත කිරීමේ දී වගවීමෙන් කටයුතු කිරීම වැනි සුළු සුළු දේ නොතකා නොහරින්නේ ඇයි?
මේ මනස්ගාත වලින් වියුක්තව අපි මෙසේ උපකල්පනය කරමු. රජයේ ගෙවුම්පතියන්ට පුළුල්ව වගවීමක් සහිතව අපරිපූර්ණ ස්වාධීනත්වයෙන් යුතු පාලක මණ්ඩල පත් කරන අතර එම මණ්ඩල විසින් ඔවුන් පොදු ජන යහපත පිණිස වේ යැයි තීරණය කරන මාධ්‍ය අන්තර්ගතයන් සම්පාදනය කරන කාර්ය මණ්ඩල ඒවා යටතේ සේවය කරති. මහා භාණ්ඩාගාරයේ පවතින අසතුටුදායක තත්වය පිළිගනිමින් මේ පොදු ජන සේවා විකාශන වල ආදායමින් අඩක් වෙළඳ දැන්වීම් මගින් ලැබෙතැයි ද අපි උපකල්පනය කරමු.
හැකි තරම් අඩුවෙන් කරදර ඇති කර ගැනීම පමණක් සිය ජීවිත වල පරමාර්ථය කරගත්, පතෝල ගුණ ඇති වයස්ගත පිරිමින් සහ කාන්තාවන් හැර අන් කිසිවෙක් ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් මේ පාලක මණ්ඩල වලට පත් කිරීම ඇති ඉඩ කඩ සීමිතය. එබැවින් මාධ්‍ය ක්ෂේත්රයේ විස්කම් දක්වන්නන් එම පදවි වලට පත්වීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත නොහැක.
මෙවන් පාලක මණ්ඩල පොදු ජන යහපත පිණිස යැයි ඔවුන් සිතන (එනම්, විරෝධයක් ඇති වීමට අවම ඉඩක් ඇති) වැඩ සටහන් වලට සාමාන්‍ය පොදු ජනතාව තුල ආකර්ෂණයක් ඇතිවීමට ඇත්තේ අවම ඉඩකි. එහෙයින්, මාධ්‍ය පිළිබඳව තමන් ගේ කැමැත්ත තීරණය කරන තත්වයක සිටින, වයස 18-24 පසුවන යෞවන පරපුර පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. විකාශන මාධ්‍ය සම්බන්ධ පූර්ණ ඒකාධිකාරිය රජය සතුව පැවති කාලයේ දී ඉහත කී ආකාරයේ හණමිටි පාලක මන්ඩලවලට ඔවුන්ගේ රුචිකත්වය සෙසු අප වෙත බලහත්කාරයෙන් පැටවීමේ හැකියාව තිබින. නමුත් ඒ වැඩ අද බැරිය.
ඉතා නුදුරේදීම සිදුවීමට ඉඩ ඇති පරිද්දෙන් අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව රටේ සියල්ලන්ටම ලැබෙන තත්වය උදා වූ කල මේ කියන වයසක මිනිසුන්ගෙන් (සහ ඉඳහිට පත් කරනු ලබන කාන්තාවන්ගෙන්) සැදුම් ලත් බලධාරීන්ට දුෂ්කර තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. ප්‍රේක්ෂක ජනතාව වෙනත් අතක හැරෙනු ඇති අතර වෙළඳ දැන්වීම් ආදායම ගිලිහී යනු ඇත. දැනටමත් එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සම්බන්ධයෙන් උද්ගත වී ඇත්තේ මෙම තත්වයයි.
මාධ්‍ය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය වෙමින් පවතින මෙවන් යුගයක සීමිත සංඛ්‍යාතයන් ගැන කතා කිරීම පුදුම සහගතය. ඉන් අපට උපකල්පනය කළ හැකි වන්නේ නාලිකා ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යත හැකි බව එහි කර්තෘවරුන් සිතන බවයි. නැගී එන නව මාධ්‍ය ක්ෂේත්රය තුල නාලිකා නොතිබෙනු ඇත. එහි තිබෙනු ඇත්තේ සන්නාම, සංකේත සහ අපට තවමත් නම් කර ගැනීමට බැරි අවධානය යොමු කර ගැනීමට යොදා ගන්නා මෙවලම් පමණකි. BBC සහ NHK වැනි විකාශකයන් තව දුරටත් පවතිනු ඇත්තේ ඔවුන් සිය සන්නාම ගොඩ නගා ගන්නට සමත්වී ඇති හෙයින් විනා ඔවුන්ට වෙන් වූ නාලිකා තිබීම නිසා නොවේ.
අවධානය යොමු කර ගනු ලබන්නේ කුමක් විසින් ද වෙළඳ ප්රචාරක ආදායම එදෙසට ඇදී යනු ඇත. 2016 වර්ෂයේ පළමු කාර්තුව තුල, එක් උතුරු අමෙරිකානුවකුට අමෙරිකානු ඩොලර් 11.86 (රුපියල් 1,734)ක වෙළඳ ප්රචාරක ආදායමක් මූණු පොත විසින් උපයා ගෙන තිබේ. සමස්ත වශයෙන් දවසට විනාඩි 50ක් අයෙක් මුහුණු පොතේ ගත කරයි. එනම් අවදිව සිටින වේලාවෙන් 1/16ක් මුහුණු පොතට යොදයි. මේ අපේ අනාගතයේ පෙර නිමිතියි. මාධ්‍ය ප්‍රතිසංස්කරණ වාර්තාව විසින් ග්‍රහණය කර ගන්නට අසමත් වී ඇත්තේ ඒ අනාගතයයි.
පොදු ජන සේවා මාධ්‍ය ලෙස හැඳින්වෙන, රටේ බදු ගෙවන්නන් ගේ මුදලින් අරමුදල් සැපයෙන විසිවන සියවසේ මැද භාගයේ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මාධ්‍ය මෙවලම් වලට 21 වන සියවසේ යථාර්ථය තුල ඉඩක් නැත. නමුත්, අප ඒ පිළිබඳව කරදර විය යුතු නැත. මන්ද, මේ බොළඳ නිර්දේශ, තවමත් 16 වන සියවසේ සිටින අපේ දේශපාලකයින් විසින් ක්‍රියාත්මක නොකරනු ඇති බැවිනි.
