මහ බැංකුව කොට උඩ ! ඩොලරය පාලනයකින් තොරව ඉහළට !!

ශ්‍රී ලංකා රුපියල සහ ඇමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ විනිමය අතර සම්බන්ධය තීරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට මෙතෙක් තිබු හැකියාව අහිමි කරමින් මහ බැංකුවේ මිල නියමයන් නොතකා ඩොලරයේ අගය ඉහළ යමින් රුපියලේ අගය පහත වැටෙමින් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි.
මෙය වඩාත් කැපී පෙනෙන්නේ මහ බැංකුවේ උපදෙස් නොතකා ඩොලරය රුපියල් 220 – 225 මිල ගණන්වලට විකිණීමට වාණිජ බැංකු ක්‍රියා කිරීමත් සමග ය.
ඩොලරයට රුපියල් 202 ක් ලෙස මහා බැංකුව නියම කොට තිබු මිල 204.89 දක්වා වැඩි කිරීමට මහ බැංකුව අද පියවර ගත්ත ද එම මිලට ගනුදෙනු සිදු වුයේ නැත.
වාණිජ බැංකුවලින් තමන්ගේ ම මිලක් නියම කළ ද එම මිලට ද ඩොලර් ලබා ගැනීම අපහසු වී තිබේ. මෙම තත්ත්වය තුළ කොළඹ විවෘත වෙළෙඳ පොළේ ඩොලරය රුපියල් 250 -260 දක්වා මිල ගණන්වලට හුවමාරු වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා කියන්නේ මහ බැංකුවේ කිසිදු මෙවලමකින් හෝ නීතියකින් හෝ රුපියලේ අගය රැක ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව යි. එනම් මහ බැංකුව කිසිවක් කර කියාගත නොහැකි ලෙස අසරණව ඇති බවයි.
මහ බැංකුව දිගින් දිගට කරන මුදල් නෝට්ටු මුද්‍රණය මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බව ආර්ථික විශේෂඥයෝ කියති.
