ආණ්ඩුව ඩෙල්ටා සමග සටන් කිරීමට නිර්භීත තීරණයක් ගෙන ඇත. දැන් 150 -200 ක් සමුහ ආදාහනාගාරයක් ඉදිකළ යුතු කාලය යි – මහාචාර්ය සුනිත් අගම්පොඩි

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය සමග සටන් කිරීමට ආණ්ඩුව නිර්භීත තීරණයක් ගෙන ඇති බවත්, එහි ඊළඟ පියවර ලෙස එකවර මිනී 150 -200 ක් දහනය කළ හැකි සමුහ ආදාහනාගාරයක් ඉදිකළ යුතුව ඇති බවත්, රජරට විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි. තම මුහුණු පොත් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියයි.

” ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි සටන් කිරීමේ නිර්භීත  තීරණයක් ශ්‍රී ලංකා රජය ගෙන ඇත . එමතිරණයේ ඉදිරි පියවරක් ලෙස 150 – 200 ධාරිතාවයේ  සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇත.”

.තත්වය කෙතරම් දරුණු දැයි කීමට මීට වඩා සාක්ෂි සාධක අවශ්‍ය නොවේ. මෙහි සැක උපදවා ගැනීමට දෙයක් නැත. දිනෙන් දින මරණ සංඛ්‍යාව ඉහල යමින් පවතී. දිනෙන් දින ආසාදිතයින් ඉහල යමින් පවතී. දැඩි සත්කාර සේවා ධාරිතාව මේ මොහොත වන විටත් ඉක්මවා ගොස් අවසානය. ඔක්සිජන් ධාරිතාවය ඉක්මවා යෑමේ අවසාන නිමේෂයක පවතී. දිනෙන් දින ශීක්ෂණ රෝහල් ධාරිතාවයන් එකින් එක ඉක්මවා යමින් පවතී. දිනෙන් දින ජාතික සෞඛ්‍ය යාන්ත්‍රණය ( රාජ්‍ය හා පෞද්ගලික ) බිඳ වැටෙමින් පවතී. තවත් කුමක් නම් සැක කරන්න ද ? මෙය අප ඇස් පනාපිටම සත්‍යයක්ම වෙමින් පවතී.

සෞඛ්‍ය සේවයේ මුර දේවතාවන් බඳු විශේෂඥ වෛද්‍යවරුන්, අනෙකුන් වෛද්‍යවරුන්, සියලුම හෙද හෙදියන්, සෙසු සෞඛ්‍ය කාර්‍යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් ඇතුළු පරිවාර කාර්‍යමණ්ඩල, – පැය 24හි අඛණ්ඩ සේවය සපයමින් පවතී. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ සීඝ්‍රතාව අඛණ්ඩව ම පැය 24හිම උපරිමයෙන් සිදු වෙමින් පවතී.

එහෙත්..

ඒ සියල්ල අභිබවමින් ඉතා අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකික ප්‍රජාව සුවිසල් ඛේදවාචකයක් වෙත අනුක්‍රමණයෙන් තල්ලු වෙමින් පවතී..

ඔබගේ ජීවිතය ඔබට මෙන්ම ඔබගේ ආදරණීයන්ට ද එක ලෙසම වැදගත් බව සිහි තබාගන්න. එලෙසම ඔබට තවදුරටත් මෙහි බරපතල කම නොවැටහේ නම් හුස්ම නොගෙන තප්පර 10ක් සිටින්නට උත්සාහ දරන්න. එය ඔබට කොතරම් අමාරු ද ? මේ වන විට ඔබට අවශ්‍ය වූවත් ඔබට දෙන්නට දැඩි සත්කාර පහසුකම් නැත. ඔක්සිජන් පහසුකම් ප්‍රමාණවත් ව නැත. පවතින සීමිත සම්පත් සමඟ සෞඛ්‍ය කාර්‍යමණ්ඩල ඔබගේ අවසන් හුස්ම පොද රකින්නට මරුවා සමඟ මුහුණට මුහුණ ලා සටනකට අවතීර්ණ වී ඇත. එහෙයින් ඔබ වෙත ඇතැම් විට අවශ්‍ය ම මොහොතේ ඔක්සිජන් නොලැබුණොත් මියයාමට සිදුවන්නේ අවබෝධයෙන් මෙන්ම පියවි සිහියෙන් ඉතාමත් ම වේදනාත්මකව හුස්ම සිරවීමෙන් බව සිහි තබාගන්න. තප්පර 10ක් සිටින්නට අපහසු ඔබට ජීව්තේ අවසාන හුස්ම පොද හිර වී මියෙන්නට වුවහොත් එය කෙතරම් වේදනාකාරීතම මරණයක් වනු ඇතිදැයි නිතර සිහිපත් කරන්න.

.ඔබගේ ආරක්ෂාව ඔබ සතුය. මුව ආවරණයක් හෝ දෙකක් පළඳින්න. නිතර දෑත් සොදන්න. හැකි පළමු නිමේෂයේ ම ලැබෙන එන්නත කුමක් වූවත් එය ලබාගන්න. අනවශ්‍ය ගමන් වලකා ගනිමින් එක්රැස් වීම් නවත්වන්න. අත්‍යාවශ්‍ය කටයුතු වලදී පොදු සමාජය / ප්‍රජාව තුළ ඔබගේ සමාජ දුරස්ථ භාවය උපරිමයෙන් පවත්වා ගන්න. නැතිනම් මීළඟ දිනයේ ඔබ හුස්ම හිරවෙමින් මියයාමට දඟලනා අයුරු සිහිපත් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *