සියලු රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි ; දැඩි සත්කාර ඉඩ නැහැ ; සෞඛ්‍ය අංශ හදිසි ආපදා තත්ත්වයක් ඉල්ලයි !

මෙරට ප්‍රධාන රෝහල් සියල්ල ම මේ වනවිට කොවිඩ්  රෝගීන්ගෙන් පිරී යමින් පවතින අතර හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස සෞඛ්‍ය අංශවලින් රජයට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවත්, රජය තවමත් ඒ සඳහා අනුමැතිය දී නැති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ තතු දත් අංශ කියයි.

රෝහල්වල ධාරිතාවය ඉක්මවා රෝගීන් පැමිණීම නිසා කරාපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වල අධ්‍යක්ෂවරුන් ඊයේ සිට ම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට තිබේ. එමෙන් ම රාගම, දකුණු කොළඹ ( කළුබෝවිල) , අයි ඩී එච් , මහනුවර, තෙල්දෙණිය ඇතුළු බොහෝ රෝහල් කොවිඩ් රෝගීන් පිරී ඇති බව වාර්තා වෙයි. ඇතැම් රෝහල්වල වෙන්කර තිබු ඇඳන් සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක් රෝගීන් පැමිණීම නිසා බරපතළ තත්ත්වයක් උද්ගතව ඇත.

රෝහල් දැඩි සත්කාර ඒකක ද රෝගීන්ගෙන් පිරී පවතියි.

බොහෝ රෝහල්වලට තවත් රෝගීන් ඇතුළත් කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

මේ තත්ත්වය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ඉක්මන් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රමවේදයක් වහා ම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අංශවල ඉල්ලීම වී තිබේ.

කෙසේ වෙතත්, එබඳු බරපතළ තත්ත්වයක් නොමැති ලෙස හැසිරීම ආණ්ඩුවේ උපායමාර්ගය වී ඇති බව පෙනෙන්නට ඇතැයි සෞඛ්‍ය අංශවල අපේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *