ජනවාරියේ පළාත් පාලන මැතිවරණය සඳහා සජබය වහාම නාමයෝජනා කැඳවයි !

ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එම පක්ෂයෙහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

එසේම සජබට සහාය ලබාදීම පිළිබඳ චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ධුරවලින් ඉවත් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් 70 දෙනාට මෙම නාමයෝජනා වල දී ප්‍රමුඛත්වය ලබාදීමට ද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයට නැවත එක් වී සිටින පිරිසට ලබන වර නාම යෝජනා නොදෙන බව සහතික කිරීමත්, ඔවුන් වෙනුවට ගම් මට්ටමේ අලුත් පිරිසක් ගොඩ නගා ගැනීමත්, සඳහා මෙම තීරණය ගෙන තිබේ.

පක්ෂයේ තවමත් රැඳී සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පහළ මට්ටමින් එල්ලවන බලපෑම් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වූ බවත්, ඔවුන්ට ආධාර සැපයීමට නීතිඥවරුන් ඇතුළු පිරිසක් යෙදවීමට පියවර ගත බවත්, ඒ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

පසුගිය පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි මාසයේ පැවතී අතර එම ආයතන වල මැතිවරණ පැවැත්වීම ලබන වසර මුල දී සිදුවිය යුතුව ඇත. ඊට පෙර ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවත්, එසේ නොහැකි වුවහොත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩ ඇති බවත්, දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් පවතියි.

කෙසේ වෙතත්, සජබ තීන්දුව ගම් මට්ටමේ බලය සඳහා එම පක්ෂය සහ එජාපය අතර යලි ඇවිලී ඇති ගැටුමේ ප්‍රතිඵලයක් බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *