දයා ගමගේ ඉඩම් කොල්ලයකට සැරසේ !

රාජපක්ෂ පාලන සමයේ මංකොල්ල කෑ පානම ඉඩම් නැවත ඒවායේ හිමිකරුවන්ට ලබාදීමට වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබිය දී එය ක්‍රියාත්මක නොවීම පිටුපස ඇමති දයා ගමගේ ඇමතිවරයා සිටින බව යුක්තියට වාර්තා වේ.
රාජපක්ෂගේ පාලන සමයේ දී, ගෙවල්වලට ගිනිතබා ගම්මුන් පලවා හැර මේ ඉඩම් අත්පත්කර ගැනීමට එරෙහිව ඒවායේ හිමිකරුවෝ නඩුවක් පැවරූ හ. ඒ නඩුව එසේ තිබිය දී එම ඉඩම් ඒවායේ හිමිකරුවන්ට නැවත ලබාදීමට වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. නාවික හමුදාව ද මේ ඉඩම්වලින් කොටසක් අත්පත්කරගෙන තිබේ. නාවික කඳවුර සඳහා අක්කර 15ක් තබාගෙන ඉතිරි ඉඩම් ද එම ජනතාවට ලබාදෙන ලෙස පානම කළ සංචාරයක දී අගමැතිවරයා නාවික හමුදාවට ද දැනුම් දී ඇත.
මේ අතර උක්ත නඩුවේ තීන්දුව ද ප්‍රකාශයට පත්කර ඇති අතර එයින් තීරණය වී ඇත්තේ ඒ ඉඩම්වල හිමිකරුවන්ට නැවත ඒ ඉඩම් ලබාදෙන ලෙස ය. සංචාරක කර්මාන්තයට අගනා, වෙරළ තීරයට මායිම්ව තිබෙන මෙම ඉඩම්වලට දයා ගමගේ ඇමතිවරයා ලොල්බැඳ තිබිම තීන්දු ක්‍රියාත්මක නොවීම පිටුපස ඇති රහස බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් අපිට දැනගන්නට ඇත. මේ තීන්දු එකක්වත් ක්‍රියාත්මක නොවීමේ තත්ත්වය තුළ ඒවායේ හිමිකරුවන් මේ වන විට බලහත්කාරයෙන් ඉඩම්වලට ඇතුල් වී සිටින බව වාර්තාවේ. ඒ කෙසේ වෙතත් ඒ ඉඩම්වල හිමිකරුවන්ට එම ඉඩම් නිත්‍යානුකූලව පවරා නැති තත්ත්වයක් තුළ අනාගතයේ කුමන තත්ත්වයකට මුහුණපෑමට සිදුවේ ද යන දෙගිඩියාවකින් ඔවුන් පසුවන බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *