ෆොන්සේකාත් සජිත්ට එරෙහි වෙයි ! – සජබ අර්බුදය උග්‍ර අතට

 

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදයේ දී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව පෙනී සිටි ප්‍රබලයකු ලෙස වාර්තා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය දරුණු ලෙස විවවේචනය කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙයට  හේතු වී තිබෙන්නේ පක්ෂයේ අනෙක් නායකයින්ගේ අදහස් නොතකා ඔවුන්ට දැනුම් දීමකින් පවා තොරව සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ විරු සමරු උළෙලට සහභාගී වීමත්, ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රහස් සබඳතා පවත්වන බව හෙළි වීමත් බව කියති.  සජබයේ සිටින බොහෝ දෙනා විශ්වාස කරන්නේ තම ආණ්ඩුව විනාශ කිරීමට රාජපක්ෂලා සමග කුමන්ත්‍රනකාරී ලෙස ක්‍රියාත්මක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි සතුරෙකු වශයෙනි. එවැන්නකු සමග සජිත් ප්‍රේමදාස මහතා පවත්වන සබඳතා සරත් ෆොන්සේකා මහතා ඇතුළු බොහෝ දෙනාගේ කෝපයට හේතු වී තිබේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෑතක් වනතුරුම ක්‍රියා කළේ සජිත් ප්‍රේමදාස හිතවාදියකු වශයෙනි. සජබ ඇතැම් සාමාජිකයින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට යෑම විවේචනය කළ ඒ මහතා ප්‍රසිද්ධියේ ම කීවේ රනිල්ට යලි ඉඩක් නොදිය යුතු බව යි. ඔහු ඒ අවස්ථාවේ එම විවේචනය කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත බව කියති.

එලෙස සජිත් හිතවාදීව සිටි ෆොන්සේකා මහතා විරසක වීම සජබ තුළ සජිත්ගේ නායකත්වය බරපතළ ලෙස අභියෝගයට ලක්වීමක් බව කියති.

සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල කොවිඩ් ආසාදිතව නිරෝධයනයේ සිටින අතර තම නායකත්වය ප්‍රවර්ධනය සඳහා මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව ද, දැන ගන්නට ඇත. එම මාධ්‍ය මෙහෙයුමේ ලිපි ලේඛන ඉදිරි දිනවල විවිධ මාධ්‍ය ප්‍රකාශන වල පළවනු ඇත.

Image -Daily Mirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *