තව ප්‍රමාද කරන්න බැහැ ; කොවිඩ් යටතේ කළ හැකි ලෙස එජාප ප්‍රතිසංවිධානය පටන්ගන්න – රනිල් පක්ෂ ප්‍රධානීන්ට කියයි

රටේ වර්ධනය වෙමින් පවතින ආණ්ඩු විරෝධය හමුවේ,  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු,කොවිඩ් වසංගතය අවසන් වනතුරු නොසිට, වහා ම ආරම්භ කළ යුතුව ඇති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්‍රධානීන්ට් උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

ලබන මස සිට ම ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමටත් නිරෝධායන නීති අනුගමනය කරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන ලෙසත්, වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සකස් කොට ඇති ප්‍රතිසංවිධාන යෝජනා වහාම ක්‍රියාවට නැගීමටත්, ඒ සඳහා හැකිතාක් දුරට ඔන්ලයින් ක්‍රම අනුගමනය කිරීමටත් වැඩි දුරටත් තීරණය වී තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ නිවසේ දී පෙරේදා (18) සවස පැවතී පක්ෂයේ ප්‍රධානීන්ගේ රැස්වීමක දී මෙම උපදෙස් ලබාදීම සහ තීරණ ගැනීම සිදු වී තිබේ.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන , ලේකම් රංගේ බණ්ඩාර, සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

පක්ෂයට අයත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින් දිවුරුම් දිය යුතු බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා එහි දී ඉල්ලීමක් කර ඇති අතර ඒ පිලිබඳව තීරණයක් ගැනීම ලබන මස මැද සිදු කිරීමට එහි දී තීරණය වී ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *