කොවිඩ් පිට දමා විරෝධතා තහනම් කොට වරාය නගර පනත 5 දා එක දවසින් සම්මත කරන්න යයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සියලු උත්සව ,රැස්වීම් තහනම් කොට ඇති ආණ්ඩුව ඒ අස්සේ වරාය නගර පනත් කෙටුම් පත එක දවසකින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට තීරණය කොට තිබේ.
ලබන 5 දා මෙම පනත විවාදයට ගෙන එදින ම සම්මත කිරීමට ඊයේ පැවතී පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට තිබේ.
පනත විවාදය සඳහා අඩු තරමින් දින දෙකක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
කොවිඩ් 19 පැතිරීම නිසා සියලු උත්සව සහ වෙනත් අවස්ථා 3 දා සිට සති දෙකකට තහනම් කිරීමට රජය කටයුතු කොට ඇත. ඒ අනුව අඩු තරමින් පනත ගැන මාධ්‍ය සාකච්ඡාවක් හෝ පැවැත්වීමට ඉඩ නොලැබෙනු ඇතැයි විපක්ෂ ආරංචි මාර්ග කියයි.
මෙම පනතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනා විරෝධය ප්‍රකාශ කොට තිබිණි.
පනත පිළිබඳව අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් පිලිබඳ තීන්දුව කතානායක තුමා වෙත මේ සතියේ ලැබීමට නියමිත ය.
