බැසිල්ගේ උත්සාහය පොහොට්ටු සන්ධානයේ කුඩා පක්ෂ දිය කරන්නලු ! එකතු වී සටන් කරන්න පක්ෂ හවුලක් !

ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස එකතු වූ පක්ෂ අතර කුඩා පක්ෂ දියකර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තනි බලයක් ගොඩ නැගීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව එම පක්ෂවල තක්සේරුව වී ඇති බව වාර්තා වෙයි. බැසිල්ගේ මෙම උත්සාහයට එරෙහිව සටන් වැදීමට එම පක්ෂ එකොළහක් පසුගිය දා ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී රැස් වී තීරණය කොට තිබේ.
පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට උත්සාහ දැරීම මෙන් ම මැතිවරණයේ දී එක කොට්ටාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ද බැසිල්ගේ සැලැස්මේ කොටස් බව කියති. මෙයින් උත්සහ දරනුයේ පළාත් සභා මට්ටමින් පොහොට්ටුවේ බලය උපරිම ලෙස වර්ධනය කර ගැනීම බව කියති.
මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය ,ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, එක්සත් වාමාංශික පෙරමුණ, ඇතුළු අනෙක් පක්ෂ සන්ධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කොට ඇත.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මතය වී ඇත්තේ ආණ්ඩුවේ පාලනය ගෙන යාමට සුළු පක්ෂ විශාල බාධකයක් වී ඇති බවයි. එයින් මිදී වෙන ම ගමනක් ආරම්භ නොකළ හොත් ඉදිරි මැතිවරණවල පරාජය නියත බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මෙම ගැටුම දැන් ආණ්ඩුවේ නියත බෙදීමකට හේතු වී ඇති බව කියති.
