මෙගාවොට් 100 ක් විලි ලා 30 ක් වැදු මන්නාරමේ සුළං විදුලි බලාගාරය
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක් එකතු කරන බව කියමින් ඊයේ විවෘත කළ මන්නාරම සුළං විදුලි බලාගාරයේ මේ වනවිට ඇත්තේ මෙගාවොට් 30 ක ධාරිතාවක් පමණක් බව විදුලි බල ක්ෂේත්රයේ තතුදත් ආරංචි මාර්ග කියයි. බලාගාරය මෙලෙස විවෘත කොට ඇත්තේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර බොහෝ කටයුතු අතර මග කෙරෙමින් පවතිද්දී ය.
මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය එකක් 3.45MW බැගින් වූ කුලුනු 30 කින් යුක්ත වූවකි. සම්පූර්ණ ධාරිතාව 103MW කි. නමුත් මෙම විවෘත කිරීමේදී පද්ධතියට එකතු කර ඇත්තේ කුලුනු 9 ක් පමණි. එනම් මෙගාවොට් 30 ක් පමණ ධාරිතාවකි. අනෙක් කුලුනු 21 හි වැඩ අවසන්ව නැති අතර භූගත රැහැන් පවා තවම සම්බන්ධ කර නැත.
මෙම ව්‍යාපෘතියේ විදුලිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන නඩුකුඩා ග්‍රීඩ් උපපොළෙහි වැඩකටයුතු ද තවම අවසන් කොට නැත. එබැවින්, මෙහි බලශක්තිය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කිරීම දැන් සිදුකොට තිබෙන්නේ තාවකාලිකව අටවාගත් 33kV රැහැන් මාර්ගයක් මගින් කෙලින්ම බෙදාහැරීම් පද්ධතියට ලබාදීමක් වශයෙන් ය. නමුත් මෙය සම්බන්ධ විය යුත්තේ 220kV සම්ප්‍රේශණ රැහැන් මාර්ගයට ය. එය ද තවම ඉදිකොට නැත.
තවද මෙම බලාගාරයේ පද්ධති පාලන කාමරය හෙවත් control room තවම ඉදිවෙමින් පවතින නිසා මෙය පද්ධති පාලනයකින් තොරව නිදහසේ පවතී. ඒවා සතු ස්වයං පාලන ක්‍රම්වේද හැරුණුකොට ඉංජිනේරුමය වශයෙන් පාලනය සිදුකිරීමේ හැකියාවක් තවමත් නැත. එම පද්ධති පාලනය සඳහා අවශ්‍ය උපකරණ සවිකරන ගොඩනැගිල්ල පවා තවම ඉදිකොට අවසන් නැත.
මේ සියල්ල මෙසේ තිබිය දී මෙගාවොට් 100 ක් ගැන කියමින් මෙගාවොට් 30 ක් අනාරක්ෂිත ලෙස කඩිමුඩියේ විවෘත කිරීම ගැන විදුලි බල ක්ෂේත්රයේ ද පවතින්නේ විමතියකි.
ඇතැම් විචාරකයන් කියන්නේ රජයට වසරක් ගත වී ඇතත් කිසිවක් කර නැතැයි එල්ල වන විවේචන නිසා මෙලෙස මෙය යන්තම් අටවා ප්‍රචාරයක් සිදු කළ බවයි.
ව්‍යාපෘතිය විවෘත කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේ තමන් ආරම්භ කළ ව්‍යාපෘතිය විවෘත කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බව යි. එය සත්‍යයක් වුවද 2017 දී මෙයට මුදල් සපයා දී මෙය යථාර්ථයක් බවට පත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ යහපාලන ආණ්ඩුව විසිනි.
