මහජන උපයෝගීතා කොමිසම වහන්න ජනපතිට බලයක් නෑ ; සාමාජිකයන්ට ඉල්ලා අස්වන්නැයි ලේකම්ගෙන් බලපෑම්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කිත්සිරි ලියනගේ ඇතුළු සාමාජිකයන් පස්දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් අද (08) උදෑසන දැනුම්දී තිබේ.
2002 අංක 35 දරන මහජන උපයෝගීතා කොමිෂන් පනත මගින් ස්ථාපිත කරන ලද මෙම ආයතනය විසින් පාරිභෝගික ජනතාවට ජලය, විදුලිය සහ ඛනිජ තෙල් ලබාදීමේදී මිල පාලනය කිරීමට බලතල පැවරී තිබිණි. එසේම විදුලි බල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් මිලදී ගැනීමේදීත් අවම මිල ගණන් යටතේ ඒවා සිදු කිරීමට බලපෑම් කිරීමේ බලතලද කොමිසම සතුව තිබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් විසින් පසුගිය දෙසැම්බර් 01 මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුණේ මහජන උපයෝගීතා කොමිසම වසාදමා එහි සේවකයන් විදුලි බල මණ්ඩලයට සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව අනියුක්ත කරන ලෙසය. කොමිෂන් පනතේ බලතල අනුව එහි සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් හැර ඇමතිවරයාට ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැත. එසේම ජනාධිපතිවරයාගේ නියෝග අනුව මෙම කොමිසම අහෝසි කිරීමේ හැකියාවක් නොමැති අතර පනත අහෝසි කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසිනි.
මහජන උපයෝගීතා කොමිසමේ වර්තමාන සභාපතිවරයා වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ නියෝජිත චන්ද්‍රා ඒකනායක, ආචාර්ය නිශාන්ත ද මෙල් සහ නීතීඥ සඳුන් ගමගේ එහි සෙසු සාමාජිකයෝ වෙති.
LANKATRUTH
