ජනාධිපතිගේ ඒකාධිපති වියරුව මේ මොහොතේ ම මෙල්ල කළ යුතුයි – සංඝයා වහන්සේගෙන් පොහොට්ටු මන්ත්‍රීන්ට අනුශාසනා

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ඒකාධිපති වියරුව මේ අවස්ථාවේ දී ම මෙල්ල කරගත යුතු බවත්, ඔහු වැඩකරන ආකාරය අනුව ඔහුට තවත් බලය ලැබුන හොත් කිසිදු පාලනයක් නැතිවන බවත් , පොහොට්ටුවේ ජයග්‍රහණයට සහය දුන් ප්‍රබල භික්ෂුන් වහන්සේලා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අනුශාසනා කරමින් සිටින බව එම පක්ෂයේ තතු දත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකව සහ කණ්ඩායම් ලෙස හමුවෙමින් මෙම අනුශාසන කිරීම් සිදුවන බව කියති.
ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද , මැදගොඩ අභයතිස්ස , ස්වාමීන්වහන්සේලා මෙන් ම ගලගොදාත්තේ ඥානසාර හිමියන් ද වෙන් වෙන් වශයෙන් මෙම අනුශාසන සිදුකොට ඇති බව කියති.
එමෙන් ම , ආණ්ඩුවට සහය දුන් ජාතික සංවිධාන එකමුතුව සහ යුතුකම සංවිධානය ද මීට සමාන අදහස් දරන බව වාර්තා වෙයි.
ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය කේ එම් වසන්ත බණ්ඩාර මහතා පසුගිය දා රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධනය සකස් කළේ ගොටාභය රාජපක්ෂ මහතා නම් තත්ත්වය වඩාත් භයානක බව යි.
පසුගිය කාලයේ ජනාධිපති කළ ඇතැම් පත්වීම්වලට මෙම සංවිධාන විරුද්ධ වුව ද , එම විරෝධතා නොතකා එම පත්වීම් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේ ය.
සම්පුර්ණ බලයක් නැතිව ජනාධිපතිතුමා තමන්ට සලකන්නේ මෙහෙම නම් සම්පුර්ණ බලයක් දුන්නොත් කෙසේ වේදැයි එම සංවිධානවල ක්‍රියාකාරීන් ප්‍රකාශකරන බව කියති.
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුගිය අඟහරුවාදා ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පෞද්ගලිකව ඉල්ලා ඇත්තේ 20 වැනි සංශෝධනය කෙසේ හෝ පරාජය කරන ලෙස යි.
