කවුරුවත් මහ බැංකුව කැඩුවේත් නැහැ , හොරකමක් වෙලත් නැහැ , පාඩුවකුත් නෑ, ඔක්කොම බොරු – රනිල් වික්‍රමසිංහ

කිසිවකු මහ බැංකුව කඩා නැති බවත් , එහි සොරකමක් ද සිදු වී නැති බවත් ,පාඩු සිදුවීමක් ද නැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එහි දී පාඩුවක් සිදු වී නැති බවත් , මිලයන 600ක පාඩුවක් ගැන ජනාධිපති කොමිසම කීව ද , පර්පෙචුවල් ට්‍රේසරීස් සමාගමේ මුදල් බිලියන 12 ක් මහ බැංකුව රඳවාගෙන ඇති බවත් වික්‍රමසිංහ මහතා කියයි.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙන් ම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද තමන් හදුනන බවත් කියන වික්‍රමසිංහ මහතා අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා දෙන බවට ප්‍රකාශයක් තමා කිසිවිට කර නැති බව ද ප්‍රකාශ කරයි. එවැන්නක් කිය ඇත්නම් පෙන්වන ලෙස හිටපු අගමැතිවරයා අභියෝග කළේ ය.

මහ බැංකුවට පාඩුවක් සිදු වුවත් නැතත් වෙන්දේසියේ සංවේදී තොරතුරු කලින් ලබාදී ඇත්නම් එය වරදක් බව ද ඒ ගැන පරීක්ෂා කොට පියවර ගත යුතු බව ද පැවසු වික්‍රමසිංහ මහතා තමා අර්ජුන මහේන්ද්‍රන් පත් කළ නිසා කමිටුවක් පත් කොට පරීක්ෂණයක් කළ බවත් ඉන්පසු එම පරීක්ෂණය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට භාර දුන් බවත් එයට තමන් මැදිහත් නො වූ බවත් පැවසීය.

රජයේ ආයතනවල දුෂණ සොයන කෝප් කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි එක්සත් ජාතික  පක්ෂයට තබා ගැනීමේ හැකියාව තිබුණ ද එම කටයුත්ත වඩා හොදින් කරනු ඇතැයි සිතා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතාට තනතුර ලබාදුන් බවත් , ඔහුගේ සියලු වාර්තාවලට එකඟ නැතත් ඔහු එම තනතුරේ කටයුතු හොදින් කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය .

අන්තර්ජාලයේ SLVLOG අඩවියෙහි දර්ශන හඳුන්ගොඩ මාධ්‍යවේදියා සමග සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අගමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *