ශ්‍රීලනිපයේ අවසානයේ ඇරඹුම : බද්දේගම බලමණ්ඩලය විසුරුවා හැර සියල්ලන්ම පොහොට්ටුවට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසන බලමණ්ඩලය විසුරුවා හැරි බවත් තම සාමාජිකයින් සියලු දෙනාම පොහොට්ටුවට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රීලනිප උපලේකම් වරයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසනයේ බලමණ්ඩල තුන විසුරුවා හැරියා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ගාල්ල දිස්ත්‍රික්කයට ඇතුළත් කරගන්න බැරිවෙච්චි හින්දා. 

අපේ ජනතාවගේ ඉල්ලීම, වුවමනාව අනුව ඒ තීන්දුව ගත්තා අපි. අග්‍රාමාත්‍ය තුමාගෙන් අපි ඉල්ලීමක් කළා, බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් අපි ඉල්ලීමක් කළා, ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා අපේ ආසනයේ ජනතාව පොහොට්ටුවට බඳවා ගන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වෙන සියලු දෙනාම පොහොට්ටුවට බඳවාගන්න කියලා තමයි අපේ ඉල්ලීම, බලාපොරොත්තුව” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසුවේ ඊයේ (21) බද්දේගම දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි. 

මුතුහෙට්ටිගම මහතා මෙන්ම මහමැතිවරණ අපේක්ෂකත්වය නොලැබීමෙන් කළකිරීමට පත් සංවිධායකයින් ගණනාවක් ශ්‍රීලනිපයෙහි සිටින අතර ඔවුන් ද ආසන බලමණ්ඩල පිටින්ම විසුරුවා හරිමින් පොහොට්ටුවට එක්වීමට ගියහොත් එය ශ්‍රීලනිපයෙහි ගමනක අවසානය සනිටුහන් කරනු ඇත. 

RN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *