වෙනත් පක්ෂයකට ගිය අයගේ සාමාජිකත්වය අහෝසි කිරීමට වාරණය නිෂ්ප්‍රභ කරන්න – අකිල විරාජ් උසාවියට කරුණු ගොනු කරයි

සමඟි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම පාදක කර ගනිමින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වන වාරණයක් ඉල්ලා රංජිත් මද්දුම බණ්ඩාර මහතා එජාපයට එරෙහිව පැවරූ නඩුව විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් ඊයේ (12) ඉල්ලා සිටියේය.

අලියා ලකුණ හැර වෙනත් ලකුණකින් හෝ වෙනත් පක්ෂයකින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු තීරණයක් නොගත් බවත්, එජාප සාමාජිකයන් මහ මැතිවරණයට වෙනත් පක්ෂයකින් තරග කිරීම පක්ෂ සාමාජිකත්වය අහිමි වන විනය විරෝධී කටයුත්තක් බවත් පවසමින් ඔහු එම ඉල්ලීම කළේය.  ටෙලිෆෝනය ලකුණ යටතේ 2020 මහ මැතිවරණයට ඉදිරිපත්වීම පාදක කර ගනිමින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වන තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවරූ නඩුවට විරෝධතා ගොනු කරමින් අකිල වි‍රාජ් කාරියවසම් මහතා මේ ඉල්ලීම කළේය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් හා උප නායක රවි කරුණානායක මහත්වරු විත්තිකරුවන් කරමින් මේ නඩුව පවරා තිබිණි.

එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඉදිරි මහ මැතිවරණයට සන්ධානයක් යටතේ තරග කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී තීරණය කළ බවත් ඒ අනුව එම සන්ධානයේ නායකත්වය ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

විදාන පතිරණ නීතිඥ සමාගම මගින් සිය විරෝධතා ඉදිරිපත් කළ කාරියවසම් මහතා මෙසේද සඳහන් කර ඇත.

2020 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් යටතේ තරග කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේය. එම තීරණය පරිදි එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී ඉදිරි කටයුතු කිරීමට විධායක සභාව තීරණය කළේය.

එම කරුණු එසේ ‍තිබියදී සමඟි ජන බලවේගය සන්ධානය මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ කරුණු විකෘතිකර පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ඇත. එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවකදී වෙනත් පක්ෂයකින් තරග කිරීමට අනුමැතියක් ලබා දී නැත. එසේ වෙනත් පක්ෂයක් ස්ථාපිත කිරීම, ඊට ආධාර අනුබල දීම හෝ වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීම එජාප පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ සාමාජිකත්වය අහිමිවන විනය වරෝධී කටයුත්තක් වේ.

එක්සත් ජාතික පක්ෂ නායකවරයාගේ තීරණය අනුව එජාප සාමාජිකයන් සියලු දෙනාම එකමුතුව බෙදීමක් නොමැතිව 2020 මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තිබියදී මෙසේ වෙනත් පක්ෂයක් පිහිටුවා ගැනීම විනය විරෝධී කටයුත්තකි.

පැමිණිලිකාර මද්දුම බණ්ඩාර මහතා පවරා ඇති නඩුවේ බැලූ බැල්මට පෙනෙන නඩු නිමිත්තක් ⁣නොමැතිව, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 15, 16,40 සහ 46(2) වගන්තිවලට පටහැනිව ගොනු කෙරුණු පැමිණිල්ලක් බවද වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සිය විරෝධතා මගින් අධිකරණයට පෙන්වා දී ඇත.

2020/01/30 වැනි දින කෘත්‍යාධිකාරි මණ්ඩලය සන්ධානයකින් ලබන මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ අතර, එම සන්ධානයේ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස නම් කිරීමටද තීරණය වූ බවත්, මේ සන්ධානයේ ව්‍යවස්ථාව සහ සලකුණ පිළිබඳ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාකච්ඡා කෙරුණු බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සිය විරෝධතාවලින් කියා සිටී.

තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් මාර්තු 04 වැනිදා සමඟි ජනබලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කර එහි සභාපති ලෙසින් සජිත් ප්‍රේමදාස සහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කර ඇති බවට දැනුම් දී තිබූ බවද එජාප මහ ලේකම්වරයා අධිකරණයට පෙන්වා දී ඇත.

මේ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ කැඳවිය.

නඩුවේ වාචික දේශන ලබන සඳුදා ඉදිරිපත් කරන‍ ලෙසත්, වාරණ නියෝගය පිළිබඳ තීන්දුව එදිනට ඉදිරිපත් කරන බවත් ප්‍රධාන දිසා විනිසුරුවරිය එහිදී දන්වා සිටියාය.

රෝෂන් තුෂාර

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *