අධි ආරක්ෂාව කොළඹින් ගමට – දැන් රටම අනාරක්ෂිතයි

බස්නාහිර පලාතට හා පුත්තලම් දිස්ත්‍රික්කයට සීමා වී තිබු අධි ආරක්‍ෂිත ප්‍රදේශ හෙවත් රතු කලාප තත්ත්වය මේ වනවිට රට පුර ව්‍යාප්ත වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි .

මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ නිවාඩු ලබා නිවෙස් බලා ගොස් හිතමිතුරන් හා සමාජයේ ගැවසුණු නාවික හමුදා සෙබළුන් 79 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග ය. මේ නිසා රටපුරා ගම් සිය ගණනක් හුදෙකලා කිරීමටත් මෙම සෙබළුන් ඇසුරු කළ දහස් ගණන් දෙනා සොයා මෙහෙයුම් කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්ට හා හමුදාවට සිදුව තිබේ .

කොවිඩ් රෝගය පාලනය කළ බවට සෞඛ්‍ය අංශවල තිබු විශ්වාසය ද මේ වනවිට ගිලිහී ගොස් ඇත .

රෝගය පාලනය කළ බව තවමත් විශ්වාස කරන්නේදැයි පෞද්ගලික රුපවාහිනී නාලිකාවකින් ඊයේ කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා කීවේ වැලිසර කඳවුරේ හා කොළඹ රෝගය පාලනය කොට ඇති නමුත් නාවික භටයන් මගින් රෝගය කොතෙක් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි තවමත් කිව නොහැකි බවයි. රෝගයේ පාලනය තවමත් තිබෙන බව කීමට හැකියාවක් නැති බව ඒ මහතා කීය.

පසුගිය කාලයේ රෝගීන් හමු නොවූ ප්‍රදේශ රාශියක් මේ නිසා අනතුරට ලක්ව ඇත. ඇඳිරි නීතිය ඉවත් කර තිබු ප්‍රදේශවල ජනයා ද දැඩි භීතියෙන් සිටි බවත් ගමන් බිමන් සීමාකොට තිබු බවත් වාර්තා වීය.

අනුරාධපුරය , නොච්චියාගම , තඹුත්තේගම , වවුනියාව ඇතුළු නගර රැසක කඩ සාප්පු ද වසා දමා තිබිණි.

රජය ලිහිල් කළ ඇඳිරි නීතිය යලි පනවන ලද්දේ ද මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. රට පුරා කොවිඩ් රෝගී පොකුරු බිහිවීම පාලනය කිරීම මෙහි අරමුණ බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *