කොරෝනාවට කොර නොවී මුහුණ දීමට – නිශාන්ත කමලදාස
කොරෝනා අර්බුදය විකාශනය වූ ආකාරය විමසන්නේ නම් හා විශේෂයෙන් ම ශ්‍රී ලංකාව තුළ එය මෙතෙක් පැමිණි මාවත විමසන්නේ නම්, අපට ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී වඩාත් නිවැරදි වැඩ පිළිවෙලකට යා හැකි ය.
මේ අර්බුදය අප කාටත් අලුත් එකකි. එය ලෝකයට ද නව අත්දැකීමක් ම විය. එහෙත් අපේ වාසනාවට චීනයේ සහ කලින් මේ වසංගතය පැතිර ගිය රටවල අත්දැකීම් අප සතු වූයේ ය. අප ඒවායින් ඇතැම් පාඩම් ද ගත්තෙමු. ඒ අනුව මෙය වසංගතයක් ලෙස පැතිර යනු වැළැක්වීමට ආණ්ඩුව මුලින් ම ගත් පියවර අතර නිරෝධායනය ප්‍රධාන විය. තවදුරටත් පැතිරෙන විට රජය එය වැළැක්වීමට කළේ නිවාඩු දීම ය.
නිරෝධායනයෙන් මග හැරීමට ඇතැම් අය කටයුතු කළ අතර නිවාඩුව භාවිතා වුනේ විනෝද චාරිකාව වලට හා ප්‍රීති උත්සව පැවැත්වීමට ය. දහස් ගණන් එක් වී සිරිපාදේ වන්දනා කළ අතර සිරිපාද වන්දනාව නතර කිරීමට විරෝධය පළ වූයේ එහි නායක හිමි පාණන්ගෙන් ම ය. අවදානමක් ගැන දැන සිටිය ද ෆන් එක නිසා තමන් සිරිපාදේ ආ බව ඇතැම්හු මාධ්‍ය වලට කියා සිටියහ.
ඒ නිවාඩුව අතරතුර ජාතිය ඇමතූ ජනපති තුමන් කියා සිටියේ තමන් බිග්මැච් පවත්වන්නට එපා කී බවත් ඒ උවදෙස් තුට්ටුවකට ගණන් ගත්තේ නැති බවත් ය. සිරිපාද වන්දනාවේ යෑමේ අනතුර ද එතුමෝ එම කතාවෙන් පෙන්වා දුන්නෝ ය. එහෙත් නිශ්චිත තහනම් නියෝගයක් ආණ්ඩුව පැත්තෙන් පල වුනේ නැත. මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබූ සන්දර්භය ද එයට හේතු වන්නට ඇත.
ඉදිරියේ මිනිසුන්ට මුහුණ දීමට සිදු විය හැකි දුෂ්කරතා සළකා ජනාධිපති තුමා මිනිසුන්ට සහනයක් ලෙස පරිප්පු හා සැමන් වලට පාලන මිලක් ඇති කරන බව ද එම කතාවෙන් ම කීවේ ය. එයිනුදු නොනැවතී එය ක්‍රියාත්මක වන තැනට කටයුතු කරන්නට නිලධාරීන් ද මෙහෙය වූ නමුදු ඒ මිලට විශේෂයෙන් මුල් කාලයේ ගත හැකි වූයේ සතොස වෙළඳ සැල් වලින් පමණ ය.
යහපත් පරමාර්ථ වලින් ඇති කළ අනපේක්ෂිත නරක ප්‍රතිවිපාක
පරිප්පු සැමන් අඩු කිරීම භූමරංගයක් වූ අතර එය සෞඛ්‍ය අංශ අපේක්ෂා නොකළ දෙයම ඇති කළේ ය. ඒ ජනයා ඒ රාශී වීමේ පාලනය කළ නොහැකි අවකාෂයක් ඇති කිරීම ය.
වෙනත් ආගමික ආයතන ද හරි හරියට මැදිහත් වී කළේ මිනිසුන් ඒකරාශී වන වැඩසටහන් කොරෝනාවෙන් බේරීමේ ධජය යටතේ ම පැවැත්වීමට ය. ජනාධිපති තුමා ජාතිය ඇමතූ දවසේ ම කොළඹ එක් ප්‍රසිද්ධ පන්සලක විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රතන සූත්‍ර දේශනාවක් සිදු විය. එ් ආගමික වැඩසටහන් අතර යාපනයේ පැවති දේව මෙහෙය ද මහනුවර පැවති ලක්ෂ්මී පූජාව ද ප්‍රධාන විය. යාපනයේ දේව මෙහෙය කළ දේවගැති වරයාට වෛරසය වැළඳී තිබී ඇති අතර ඔහුගේ සිප ගැනීම නිසා තව බොහෝ දෙනෙකුට එය බෝ වෙන්නට ඇතැයි සැක කෙරෙන්නේ ය.
නිවාඩු දීමෙන් ප්රශ්නය තවත් ඔඩු දුවන බවත් රජයේ ක්‍රියාමාර්ගයන් නුහුරට සිටින බවත් දුටු සෞඛ්‍ය අංශ ආණ්ඩුවට නැවතත් අනතුරු අඟවා සිටියේ ය.
ආණ්ඩුවට කළ හැකි වූයේ ඇඳිරි නීතිය දැමීම ය. කියන දේ නාහන මිනිසුන්ට පැන විය යුත්තේ දණ්ඩනය යන්න එහි අරුත විය. එය තව අර්බුදයක් ඇති කළේ ය. ඒ මිනිසුන්ට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ වීම ය. ඒවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දුන් ජීවනෝපායන් අහිමිව යෑම ය. ඒ නිසා ඇඳිරි නීතියට ප්‍රථම මිනිස්සු විශාල ලෙස නැවතත් ඒකරාශී වූහ. ඔවුහු රාක්ක හිස් කරමින් බඩු රැස් කළහ. පමා වූ අයට ගැනීමට බඩු කඩවල තිබුනේ නැත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැතිව මිනිසුන්ට දිගින් දිගට ජීවත් විය නොහැකි නිසා දින කීපයකට පසු ආණ්ඩුව පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කළේ ය. එයින් ද සිදු වූයේ තවදුරටත් ජනයා ඒකරාශි වීමේ ඉඩකඩ තව වටයකින් ආරම්භ වීම ය. ඒ ඇඳිරි නීතියට බය වූ ඉතිරි අය ද බඩු එක් රැස් කිරීමට කටයුතු කිරිම නිසා ය.
තෝරා ගැනීම බඩගින්නේ මිය යෑම ද වෛරසයෙන් මිය යෑම ද?
ඔබට මිය යෑම සඳහා තෝරා ගැනීම් දෙකක් ඇත. එකක් කොරෝනා වෛරසයෙන් මිය යෑම ය. අනෙක බඩ ගින්නේ මිය යෑම ය. ඔබ ඉන් තෝරාගනු ඇත්තේ කුමක් ද? මිනිසුන් මුහුණ දුන්නේ ඒ ප්‍රශ්නයට ය.
මංකොල්ල කෑමට හා හිඟා කෑමට අකමැති බොහෝ දෙනෙකු ඇඳිරි නීතිය ඉවත් කළ පසු තෝරා ගත්තේ කොරෝනා වෛරසයෙන් මිය යෑම බඩගින්නේ මිය යෑමට වඩා හොඳ බව ය. ඔවුන් නැවතත් කඩ පීරා ගියේ ඒ නිසා ය. මුල දී පැවති මීටරයේ පරතරය පසුව නැති ව ගියේත් ඒ නිසා ම ය. සැමන් හා පරිප්පු ලාබ කළ විට සතොසේ ඒවා මිල දී ගත්තේ ද එසේ සිතූ මිනිසුන් ය.
අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලඟට මිනිසුන්ට ප්රශ්නය වූයේ මුදල් ය. ඇඳිරි නීතිය දිගින් දිගට දීර්ඝ කරන තත්වය යටතේ ජීවනෝපායක් ද කරගන්නට බැරි වන හෙයින් ඔවුන් කණකර උගස් තැබීමට උගස් භාණ්ඩ මධ්‍යස්ථාන ද ආක්‍රමණය කළේ පොකුරු පිටිනි.
ඊළග ප්රශ්නය වූයේ බෙහෙත් ය. මිනිසුන් ඊළගට වැඩිපුරම ගැවසුනේ ඔසු සල් අසල ය.
ඊළග තරඟය ගම් බිම් බලා යෑම ය. ඒ ඇතැම් විට කොළඹ නැති ගැලවීමක් ගමෙන් අපේක්ෂා කළ නිසා ය. මීටර පරතරය පැත්තකින් තබා එකිනෙකා තෙරපී ගම් බිම් බලා යෑමට බොහෝ දෙනෙකු හිත හදා ගත්තේ ය. ඒ සමග ඔවුන් සිය ගම් බිම් වලට ද වෛරසය රැගෙන යන්නට ඇත.
සෞඛ්‍ය අංශ මේ සිදු වෙමින් පවතින දේ ගැන නැවත වතාවක් අනතුරු ඇඟවූයේ ය. ඒ මේ යන විදිහට මෙය පාලනය කර ගත නොහැකි මට්ටමකට පත් වෙතැයි යන්න ය.
ජනතාව හා ආණ්ඩුවේ එකිනෙකාට ප්‍රතිචාරය
ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ ඊළඟ වටයේ ඇඳිරි නීතිය දින නියමයක් නැතිව ම දීර්ඝ කිරීම ය. දැන් අප ඉන්නේ දින නියමයක් නැති ඒ ඇඳිරි නීතිය යටතේ ය. ඒ අතරේ අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ගැනීමට පමණක් ඔසුසල් විවෘත කිරීමට ආණ්ඩුව විසින් අවසර දී තිබේ. ඇඳිරි නීති බලපත්‍රය වෙනුවට වෛද්‍යවරයාගේ බෙහෙත් තුණ්ඩුව ඒ සඳහා භාවිතා කළ හැකි ය.
ඉතිරි ඇතැම් කාරණා සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ අවධානය දැන් යොමුව තිබේ. ඉන් පළමුවැන්න අතවශ්‍ය භාණ්ඩ සැපයීම ගැන ය. ඒ සඳහා රජය විසින් පියවර ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර ඩිලිවරි ට්‍රක් රථ සඳහා ඇඳිරි නීතිය බල නොපවත්වන බව ප්‍රකාශ කිරීම එකකි. ප්‍රාදේශීය සභා සහ වෙනත් ප්‍රාදේශීය ආයතන වලින් ද මිනිසුන්ට සාධාරණ මිලකට බඩු මලු ලබා දෙන බව කියවේ. එහෙත් ඒවා හැම තැනම නැත. මේ පියවරේ සාර්ථකත්වය ගැන තවම කියන්නට බැරි එය තවමත් හරියට ආරම්භ වී නැති නිසා ය.
මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සාර්ථකව බෙදාහැරීම ආණ්ඩුවේ වගකීමක් වන්නේ භාණ්ඩ ලැබෙන තැනැත්තාගෙන් පැත්තෙන් පමණක් නොවේ. නිශ්පාදකයාගේ ද පැත්තෙන් ය. මේ බෙදා හැරීමේ වැඩ පිළිවෙල හරිහැටි නොවුනහොත් සිදු වන්නේ ඇතැම් කර්මාන්ත සදහටම වැසී යෑම ය. උදාහරණ ලෙස කිරි හා ආශ්රිත නිශ්පාදන මස් හා බිත්තර වැනි ආශ්රිත නිශ්පාදන එළවලු ආදිය ගත හැකි ය. මිනිසුන්ට පරිප්පු සමග බත් කා ජීවත් විය හැකි වුව ද මේ නිශ්පාදකයන්ට යන එන මං නැති වීමෙන් ඒ ඇතැම් කර්මාන්ත මුළුමණින් ම වැසී යෑමේ තර්ජනය තිබේ. ඒ නිසා ද අනුක්රමයෙන් බෙදා හැරීමේ කටයුතු පුළුල් කිරිම අවශ්‍ය ය.
පාරිභෝගික හඩට අමතරව නිශ්පාදකයාගේ හඩ
සතොසට හෝ හමුදාවට පමණක් මේ කාර්යය කළ නොහැකි ය. මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා බෙදා හැරිම පිළිබඳ අත්දැකිම් ඇති තැපැල් සේවය ද ග්‍රාමනිලධාරී ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් ද කොතෙක් දුරට හවුල් කර ගත හැකි දැයි බැලිය යුතු ය.
ඒ සඳහා පුද්ගලික අංශයේ සහය ද අවශ්‍ය ය. එහෙත් පරිප්පු හා සැමන් හිටිහැටියේ ලාබ කිරීමෙන් ආණ්ඩුව දී ඇති ආදර්ශය පුද්ගලික අංශය තුළ මෙවැනි ආයෝජනයන් සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කිරීමට අසමත් විය හැකි ද යන්න සොයා බැලිය යුතු ය. සැක සංකා තුරන් කිරීමට එවැනි ආයෝජනයන් සම්බන්ධයෙන් ඔවුන්ට යම් සහතිකයක් ලබා දිය හැකි ය.
පුද්ගලික අංශය නොඑන තැනක, විශේෂයෙන් ආදායම් මාර්ග අහිමි වී ඇති අය උදෙසා කරන පරිත්‍යාග සඳහා, රජය මැදිහත් විය යුතු ය.
ඇතැම් අය කියන්නේ අස්සයා පැන ගොස් ඉවර බව ය. දැන් ඉස්තාලය වහලා වැඩක් නැති බව ය. ලියුම් කරු එවැනි මතයක නැත. එහෙත් ඉදිරිය දෙස බලන්නට නම් අපට වැරදුනේ කෙසේ, කොතැනක, දැයි බැලිය යුතු ය.
වැරදි කළෝ කවුරුන් ද? මුලින් ජනතාව ය. ඒ දුන් නිවාඩුව හෑල්ලුවට ලක් කිරීම හරහා ය. ඊළගට වැරැද්ද කළේ ආණ්ඩුව ය. එ්වාට ක්ෂණික ප්‍රතිචාර කරන්නට ගොස් අවුල් කර මගින් ය. ඒ ඇඳිරි නීතිය දිගු කාලයකට දමා ජනජීවිතය අවහිර කිරීම හරහා ය. එයට ජනතාවගේ ප්‍රතිචාරය වූයේ නැවතත් උපදෙස් නොතකා ඒක රාශී වීම ය. ඊළගට ආණ්ඩුවට සිදු වූයේ ඇඳිරි නීතිය දිගටම පවත්වා ගෙන යන බව ප්‍රකාශ කිරීම ය. මෙය චක්‍රකාර සම්බන්ධයකි.
අපට බොහෝ තැන් වල වැරදී ඇති බව ඇත්ත ය. එයට ද හේතුවක් තිබේ. මේ අප කිසිදු අත්දැකීමක් ලබා නැති අර්බුදයක් නිසා ය. ඒ නිසා ම කළ වැරදි සම්බන්ධයෙන් ආණ්ඩුවට හෝ ජනතාවට දොස් නගමින් කාලය ගත කිරීමේ තේරුමක් නැත.
අප කළ යුත්තේ වැරදි වලින් පාඩම් උගෙන අනාගතයට එකාවන් ව මුහුණ දීම ය.
අප ඉක්මණින් ක්‍රියා නොකළහොත් ඊළගට පැමිණිය හැක්කේ බඩගිනි වූ මිනිසුන් එය නිවා ගැනීම උදෙසා අසල්වාසීන්ගේ දේ කොල්ල කන සමයක් වුව විය හැකි ය. ඒ නිසා මාස කීපයකට අඩුම කුඩුම එක් රැස් කර ගත් අයට ද මෙයින් ගැලවීමක් ලැබිය නොහැකි කලක් ඉක්මණින් උදා වීමට නියමිත ය.
විෂම චක්‍රය කැඩීම
ඒ නිසා මේ චක්‍රය කැඩීමට ආණ්ඩුව නිශ්චිත වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් කළ යුතු ය. එදිනෙදා සිද්ධි පාලනය කරනු වෙනුවට දිගු කාලීන සැලැස්මකට අනුව වැඩ කිරීමේ ප්රාගුණ්යය පල කළ යුතු ය. ජනතාවට මේ වැඩ පිළිවෙල නිසා බඩගින්නේ මැරෙන්නට සිදු නොවනු ඇතැයි යන්න පිළිබඳ විශ්වාසය ඇති වන ලෙස කටයුතු කළ යුතු ය. ඒ සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමේ ජාලය නිසි ලෙස පණ ගැන්විය යුතු ය. වචනයෙන් නොව ක්‍රියාවෙන් පණ ගැන්විය යුතු ය.
ජනතා විශ්වාසය නැවත ඇති කිරීමට වචනයෙන් කියන දේ ක්‍රියාවෙන් ප්‍රකට විය යුතුවාට අමතරව මිනිසුන් ව්‍යාකූලත්වයට පත් නොකිරීම ද අවශ්‍ය ය. සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් කියන දෙය හමුදාවෙන් හා පොලීසියෙන් කියන දේ අතර පරස්පරයක් ඇති වුනොත් බිඳෙන්නේ ද පොදුවේ රජය ගැන ඇති විශ්වාසය ය. මුහුණු ආවරණ සම්බන්ධයෙන් මේ දෙඅංශය දරන්නේ වෙනස් අදහස් ය. එය මිනිසුන් ව්‍යාකූලත්වයට පත් කරන අතර පිළිගත යුත්තේ කුමක් දැයි නොදැන අතරමං කරන්නේ ය.
විශ්වාසය ගොඩ නගා ගනිමින් මේ විෂම චක්‍රය කැඩීම අංක එකේ කාර්ය ය. එහෙත් දිගු කාලීන වැඩ පිළිවෙලකට අවශ්‍ය තවත් පියවර ගත හකි ය. ඉන් එකක් වන්නේ අන්තර්ජාල පහසුකම් ප්‍රචලිත කිරීම ය. ඒවා පහසු මිලකට සැපයීම ය. බොහෝ ගනුදෙනු ඒ හරහා කරන්නට හැකි වෙතොත් ආර්ථිකයට ඉන් විශාල උත්තේජනයක් ලැබෙනු ඇති නිසා ය.
දෙවැන්න මෙවැනි සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම අවශ්‍ය වන තව අවස්ථා අනාගතයේ තවත් ඇති වීමට ඉඩ ඇති බව දැන ඒ සඳහා දැන් සිටම අප කරන කටයුතු ප්‍රතිසංවිධානය කර ගැනීම ය. භාණ්ඩ නිශ්පාදනයේ ද බෙදා හැරීමේ දී ද සේවා සැපයීමේ ද අදට වඩා වෙනස් ව දුරස්ථව ඒවා කළ හැකි ආකාර විමසීම ය. අනෙත් අතට ඒ මේ වෛරසය ම සමග අපට තව දිගු කලක් ජීවත් වීමට සිදු විය හැකි ද නිසා ය. අද ප්‍රශ්නයට විසඳුම් සොයන අතරේ හෙට ප්රශ්නය ගැන ද සංවේදී වීම නුවණක්කාර විය හැකි නිසා ය.
නිශාන්ත කමලදාස
