රටපුරා රෝහල්වල බෙහෙත් නෑ. වියත් මග SPC සභාපති දිනපතා චැනලින් සේවයේ !
පිළිකා, වකුගඩු රෝග, ශ්වසන රෝග, හෘද රෝග ඇතුළු බරපතළ රෝගී තත්වයන්ට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළත් ඖෂධ වර්ග 310ක හිඟයක් දිවයින පුරා රෝහල්වල පවතිද්දීත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර් කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් බරපතළ අර්බුදකාරී තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.
මෙම ඖෂධ ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා, ඒවා විවෘත කර, ඇගයීම් කටයුතු අවසන් කර ඇතත් ටෙන්ඩර් පිරිනැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති වීම මීට බලපා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මේ අතර ඉහත සඳහන් ඖෂධ වර්ග 310 හදිසි මිලදී ගැනීම් වශයෙන් ගෙන්වීම සඳහා රජයේ ඖෂධ සැපයුම් අංශය ද ටෙන්ඩර් කැඳවා ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇතත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති තත්වයක් තුළ ඖෂධ මෙරටට ගෙන්වීම සඳහා තවත් මාස 3ක පමණ කාලයක් ගතවීම වැළැක්වීමට නොහැකි වනු ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පැවසීය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පෞද්ගලික චැනලින් වෛද්‍ය සේවයෙහි නිරත වන විශේෂඥ වෛද්‍යවරයකු බැවින් ඔහු අතිශයින් කාර්යබහුල වීම ද මෙම ටෙන්ඩර් ප්‍රමාදයට හේතුවී ඇති බවට ද ක්ෂේත්රය තුළ චෝදනාවක් එල්ල වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ වියත්මග සංවිධානය නියෝජනය කරන, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාය.
ප්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන ඒ මහතා සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම උදෑසන 07.00 සිට පූර්ණ කාලීනව ලංකා හොස්පිට්ල්ස් පෞද්ගලික රෝහලේත්, සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල දහවල් 12.45 සිට කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේත්, සෑම සෙනසුරාදාවකම උදෑසන 06.45 සිට ලංකා හොස්පිට්ල්ස් පෞද්ගලික රෝහලේත් චැනලින් සේවයෙහි නිරත වන බව doc.lk වෙබ් අඩවියෙහි දැක්වේ.



වියත්මග සංවිධානය නියෝජනය කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කෙරුණු වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සම්බන්ධයෙන් ද මෙම චෝදනාවම එල්ල වී පවතින අතර ඒ මහත්මිය ද සතියට දින 6ක් උදෑසන සහ දහවල් කාලයෙහි හේමාස් පෞද්ගලික රෝහලෙහි වත්තල සහ තලවතුගොඩ ශාඛාවන්හි චැනලින් සේවයෙහි නිරත වන බව අන්තර්ජාලයෙහි දැක්වේ.
විද්වතුන් දේශපාලනයට සම්බන්ධ කරගැනීම සහ ඔවුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම හොඳ දෙයක් වන නමුත් එය කොතෙක් දුරට සාර්ථක සංකල්පයක් වන්නේද යන ප්රශ්නය මෙහිදී යළි යළිත් මතුවේ. තනතුරු සඳහා අදාළ වරප්‍රසාද ඔවුන් ගත්තද නොගත්තද, ගරු සේවයක් වශයෙන් කළද, ඊට අදාළ කාලය සම්පූර්ණයෙන් යෙදවිය නොහැකි නම් අවසානයේ වන්දි ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවටය. මිනිසෙකුගේ ජීවිත කාලය තීරණය කෙරෙන ඖෂධ වැනි ක්ෂේත්රයකදී මේ තත්වය ඉතාම බරපතළය.
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පුද්ගලිකව ඉතාම යහපත් අයෙකු බව අපත් දන්නා අතර මෙය වෛද්‍ය සේවය සහ පරිපාලනය සම්බන්ධයෙන් වන වෙනම මානයක ප්රශ්නයකි. සෞඛ්‍ය ක්ෂේත්රය තුළින් එල්ල වන මේ චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට ඒ මහතාට අවශ්‍ය නම් ලංකා නිව්ස් වෙබ් අපේ අවකාශය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් විවෘතය.
LANKANEWSWEB
