තනිව තරග කිරීමේ යෝජනාව නිසා පොහොට්ටුවේ කුඩා පක්ෂ නොසන්සුන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනි පක්ෂයක් ලෙසත් ඊට අනුබද්ධ කුඩා පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමත් මහමැතිවරණයට තරගවැදී, පසුව එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව නිසා එම කුඩා පක්ෂ මේ වනවිට දැඩි කැළඹීමකින් පසුවන බව වාර්තා වේ.
ඒ, එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා වාසිදායක එකක් වශයෙන් කරුණු ඉදිරිපත් වෙමින් පවතින නිසාත් එම යෝජනාවේ පළමු පියවර වන ශ්රීලනිපය හැළීම සඳහා මෙකී කුඩා පක්ෂවල ද පිටුබලය ලැබී තිබුණු හෙයින් මෙය ඔවුන්ගේම යෝජනාවක් අතේ පත්තුවීමක් වැනි තත්වයක් නිසාත් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට නොමැති ජනබලයක් පෙන්වා සන්ධානය තුළ 30%ක නාමයෝජනා සහ ඉදිරි ආණ්ඩුවේ ඉහළ කැබිනට් තනතුරු ලබාගැනීමට වෑයම් කරන හෙයින් ඔවුන් සමඟ ජනාධිපතිවරණයට පෙර අත්සන් තැබූ ගිවිසුම අවලංගු කළ යුතු බවට යෝජනාවක් මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඉස්මතුව තිබුණු අතර පොහොට්ටුව සමඟ සිටින කුඩා පක්ෂ ද ඊට අනුබල දී තිබුණේ ශ්‍රීලනිපයට 30%ක නාමයෝජනා කෝටාවක් ලබාදීම අසාධාරණ බවත් එයින් කොටසක් තමන්ටත් ලැබිය යුතු බවත් පවසමිනි.
මේ යෝජනාව පිළිබඳ සංවාදය දුරදිග යද්දී පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයින් වූ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වා දී ඇත්තේ ශ්රීලනිපය කරන්නට උත්සාහ දරණ දෙයම පොහොට්ටුවේ කුඩා පක්ෂ විසින් ද කරමින් සිටින බවයි. එනම්, සැබැවින්ම ඡන්ද පදනමක් නොමැති කුඩා පක්ෂ මව් පක්ෂයේ ඡන්දවලින් වැඩි මනාප ලබාගෙන පෙන්වා වැඩි ඇමතිකම් සංඛ්‍යාවක් ලබාගැනීමට උත්සාහ දරණ බවයි. එමෙන්ම ඔවුන් ජනප්‍රිය නළුවන්, ගායකයින් වැනි සිල්ලර චරිතවලට නාමයෝජනා ලබාදී පොහොට්ටුවේ ඡන්දවලින් වැඩි මනාප ගෙන පොහොට්ටුවේ දේශපාලනය වෙනුවෙන් කැපවුණු දේශපාලනඥයින්ගේ අවස්ථාව අහිමි කිරීමටත් සූදානමින් සිටින බව ද එම මැති ඇමතිවරුන් පෙන්වා දී ඇත.

පක්ෂය වෙනුවෙන් දිස්ත්‍රික්කවල සහ ආසනවල කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් වෙහෙසෙන්නේ ප්‍රධාන පක්ෂය වුවත් කිසිදු වියදමක් නොදරා, ජනමාධ්‍ය තුළින් පමණක් දේශපාලනයෙහි යෙදෙන කුඩා පක්ෂ මැතිවරණයේදී මෙසේ වැඩි අවස්ථා ලබාගැනීම තුළින් තමන්ට අසාධාරණයක් වන බව ද ඔවුන් පවසා තිබේ.
ඒ අනුව ශ්රීලනිපය පමණක් නොව කුඩා පක්ෂවලට ද වෙනම තරග වදින්නැයි පැවසිය යුතු බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එසේ වෙනම තරග වදින්නේ නම් පසුව එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 48 දක්වා ද නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 45 දක්වා ද ඉහළ නංවා ගැනීමට හැකි බව ද පෙන්වා දී ඇති ඔවුහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය අතිශයින්ම ඉහළින් ඇති මේ මොහොතේදී තමන්ට තනි පක්ෂයක් ලෙස මන්ත්‍රී ධුර 113ක් ලබාගෙන වාර්තාවක් පිහිටුවීමට ද හැකිබව පෙන්වා දී ඇත. මන්දයත් පසුගිය දශක ගණනාවකදීම තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ 113ක නියෝජනයක් ලබාගැනීමට අසමත්ව ඇති බැවිනි. විශේෂයෙන් පොහොට්ටු සන්ධානයකට ආසන 150ක් ලබාගැනීමට හැකි බව පිළිගන්නේ නම් එයින් 113ක් තනි පොහොට්ටු පක්ෂයට අනිවාර්යයෙන්ම දිනාගත හැකි බවත් ඔවුන් අවධාරණය කර ඇත.
මීට අමතරව දැනට පොහොට්ටුවේ නාමයෝජනා ලබාදීම ද ගැටළු සහගත වී ඇති බැවින් මෙසේ වෙන්ව තරග වදින්නේ නම් ජනාධිපතිවරයාගේ වියත් මග සංවිධානයට වැඩි නාමයෝජනා ප්‍රමාණයක් ද ලබාදිය හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැත්තෙන් බලන කල ඉතාම ආකර්ෂණීය එකක් වන නිසාම පොහොට්ටුවට සම්බන්ධ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂ මේ ගැන මහත් කලබලයට පත්ව සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
LANKANEWSWEB
