දුම්රිය හරි පීල්ලට දා ගන්නට නම් – ජේෂ්ඨ කථිකාචාර්ය ටී . ලලිතසිරි ගුණරුවන්
පසුගිය ජනාධිපතිවරණයේ දී පෙර සිටි ආණ්ඩුවට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ වරාය, ගුවන් තොටුපොළ, මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඇතුළු මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලදී මහජන මුදල් අයථා පරිහරණයයි. එහිදී චෝදනාව වූයේ මෙම ව්‍යාපෘති විදේශීය ද්වීපාර්ශ්වික ණය මත සිදු කිරීමත්, එම නිසා ඒවාට තරගකාරී ලෙස ඉල්ලූම් ලබාගැනීමට නොහැකි වීම මෙන්ම දේශීය වශයෙන් අගය එකතු කිරීම උපරිම ලෙස සිදු කළ නොහැකි වීමත්ය. එම කොන්ත්‍රාත්තු ණය ලබාදෙන රටවල සමාගම්වලට ලබාදීමට සිදු වීම නිසා ¥ෂණයට, ආර්ථික විනාශයට හා පාඩු විඳීමට සිදුවිය. විවිධ සැපයුම්කරුවන්ගෙන් ලැබෙන මිල ගණන් සසඳා වඩා හොඳ දේ මිලදී ගැනීමේ හැකියාව ඇති තරගකාරී මිලදී ගැනීමේ ක්‍රමවේදයකින් මිලදී ගන්නට ලැබෙන වාසිය උසස් පෙළ පන්තියක ආර්ථික විද්‍යාව හා වානිජ විෂයය හදාරන සිසුවකුව වුවද පහසුවෙන් තේරුම්ගත හැකිය. අවාසනාවකට මෙන් ආර්ථික විද්‍යාවේ හා යහපාලනයේ ගැඹුරු හා සංකීර්ණ මූලධර්ම පසෙක තිබියදී ඉහත කී මූලික තර්කය පවා මහා පරිමාණ ව්‍යාපෘති සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාවට නැඟුවේ නැත. මෙය 2005 මහින්ද චින්තනයේ පොරොන්දුවලට ද පටහැනිය. එමනිසා ජාතික ආර්ථික සංවර්ධනය අපේක්ෂා කළ වෘත්තිකයෝ ද රජයෙන් ඉවත් වූහ. මෙය එම ආණ්ඩුව සිදු කළ එක් උපාය මාර්ගික වරදකි. එමගින් 2015 ජනවාරියේ දී එම ආණ්ඩුවේ විනාශයට මඟ පෑදුවා පමණක් නොව, ආර්ථිකයේ විදේශ ණයගැතිභාවය ද බරපතළ ලෙස වැඩි විය. මෙම ක්‍රියාවල බරපතළම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන්නේ ඉදිරි කාලයේදීය.
එම ආණ්ඩුව එබඳු වැරදි කළ ක්ෂේත්රයක් ලෙස දුම්රිය ව්‍යාපෘති හඳුනාගත හැකිය. දකුණු දුම්රිය මාර්ගය මාතරින් ඔබ්බට දිගු කිරීමේදීත්, උතුරු දුම්රිය මාර්ගය යාපනය හා තලෙයිමන්නාරම දක්වා ඉදිකිරීමේදීත් දේශීය හැකියා හා ශ්‍රී ලාංකික ඉංජිනේරු ශක්තිය යොදා ගැනීමට වෘත්තීය උපදේශන හා අමාත්‍යාංශ මට්ටමේ පැවැති දේශපාලන වුවමනාවට එරෙහිව ප්‍රතිපත්ති සම්පාදකයෝ කටයුතු කළහ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයේ උතුරු මිතුරු ව්‍යාපෘතිය යටතේ දේශීය ශක්තියෙන් උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සැලසුම් 2004 දී ප්‍රවාහන විශේෂඥයන් විසින් සකස් කරනු ලැබීය. ශ්‍රී ලාංකික දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ හා දේශීය ව්‍යවසායකයන්ට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීම සාර්ථකව කළ හැකිය යන විශ්වාසය ගොඩනැඟීමට හේතු වූයේ සුනාමියෙන් විනාශ වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය රුපියල් මිලියන 450කට අඩු වියදමකින් දින 56කදී ඉදිකිරීමට 2005 දී හැකිවීමෙන් විය හැකිය. මෙහිදී ඇමතිවරයා ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය පැහැදිලි වූයේ මෙය ඉරාන සමාගමක් මගින් ඉදිකිරීමට ඉරාන රජයේ ණය ලබා දීමේ අදහස නිහතමානී ලෙස ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ නොහැකි රේල් පීලි වැනි භාණ්ඩ ලබා ගැනීම සඳහා පමණක් ණය ඉල්ලා සිටීම මගිනි. උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමට ආධාර කරන ලෙස අලහප්පෙරුම ඇමැතිවරයා දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කළේය. මෙරට සිටි හා විදේශගත ශ්‍රී ලාංකිකයෝ රාශියක් එයට යහපත් ප්‍රතිචාර දැක්වූහ. කනගාටුවකට මෙන් මෙම සියලූ උත්සාහයන් නොතකා හැර ව්‍යාපෘතිය ඉන්දියානු කොන්ත්‍රාත්කරුවන්ට භාරදෙනු ලැබීය. උතුරු මිතුරු ව්‍යාපෘතිය ද අවසන් කර දමන ලද්දේ ඩලස් අලහප්පෙරුම මහතාට ප්‍රවාහන අමාත්‍යාංශය ද අහිමි කරමිනි.
උතුරේ මෙන්ම දකුණේ ද දුම්රිය මාර්ග හා සංඥා පද්ධතිය ද දේශීය වශයෙන් ඉදිකිරීමට 2010 දී ද තවත් උත්සාහයක් දරනු ලැබීය. ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් එම කටයුතු සඳහා හැකියාව නැවත වරක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයට හැකිවිය. පලෙයි සිට කන්කසන්තුරේ දක්වා කොටස ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් ඉදිකිරීමට සැලසුම් කළේ කිලෝ මීටරයකට ඇමෙරිකානු ඩොලර් මිලියනයටත් අඩු වියදමකිනි. 2010 ජුනි 10 දා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ඉන්දියානු අගමැතිවරයා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වූයේද අමුද්‍රව්‍ය ආනයනය සඳහා ඉන්දියානු ණය ආධාර ලබාදෙන අතර මෙම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් ක්‍රියාත්මක කරනු ඇති බවටය. එසේ වුවද එම උත්සාහය ද ව්‍යර්ථ විය. ව්‍යාපෘතිය සැලසුම් කිරීම හා ඉදිකිරීම ඉන්දියානු සමාගමකට භාර දෙන ලද්දේ එය දේශීය වශයෙන් ඉදිකිරීමට අවශ්‍ය රේල්පීලි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඇණවුම් කොට ඒ වන විටත් නැව් ගත කර තිබියදීය.
මෙලෙස ශ්‍රී ලංකාව දුම්රිය යටිතල පහසුකම් ඉදිකිරීම විදේශිකයන්ට ලබාදීමෙන් රටේ තාක්ෂණික සංවර්ධනයත්, ජාතික වශයෙන් වටිනාකම් එක්කිරීම වර්ධනයත් අඩපණ වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දියානු කොන්ත්‍රාත්කරුවන් විසින් ක්‍රියාත්මක කළ උතුරේ දුම්රිය මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවල දුම්රිය මාර්ග කිලෝමීටරයක් සඳහා වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට වැඩිය. ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට, ව්‍යවසායකයන්ට සහ සේවකයන්ට තම නිපුණතා සහ විශ්වාසය වර්ධනය කර ගැනීමට තැබූ අනගි අවස්ථාවක් අහිමි විය. පලෙයි කන්කසන්තුරේ දුම්රිය මාර්ගය දේශීය වශයෙන් ඉදිකිරීම සඳහා 2010දී ශ්‍රී ලංකා දුම්රිය සේවය කළ ගණන් බැලීම් අනුව සසඳා බලනවිට මැදවච්චිය සිට තලෙයි මන්නාරම දක්වාත් ඕමන්තයි සිට කන්කසන්තුරේ දක්වාත් වූ කිලෝ මීටර් 250ක් පමණ කොටස ඉදිකිරීමේ දී ආර්ථිකයට වැඩිපුර දරන්නට සිදු වූ ප්‍රාග්ධන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් (නොහොත් රුපියල් බිලියන 30ක්* පමණ වෙයි. මෙලෙස අනවශ්‍ය ලෙස කළ ප්‍රාග්ධන වියදම අනවශ්‍ය විදේශීය ණයක් ලෙස ද ආර්ථිකයට එකතු වෙයි. තාන්ඩිකුලම් සිට ඕමන්තය දක්වා කිලෝමීටර් 10ක දුම්රිය මාර්ග කොටස ඉදිකිරීමට 2010 දී ශ්‍රී ලංකා දුම්රිය සේවයට වැය වූ කිලෝමීටරයකට ඩොලර් මිලියනයකින් තුනෙන් එකක් තරම් මුදල හා සසඳා බැලීමේදී මෙම ‘‘ආර්ථික හානිය’’ මීට වඩා විශාල බව පෙනී යයි. එම කොටසේ දී ද දුම්රියකට පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඇත.
තරගකාරී ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව චීන කොන්ත්‍රාත්කරුවකුට පවරන ලද දකුණු දුම්රිය මඟ දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ ද විශාල වැඩි ප්‍රාග්ධන වියදමක් සිදුවන බව පෙනී යන්නේ කිලෝමීටරයකට ඩොලර් මිලියන 10ක් පමණ වැය වන හෙයිනි. එම කොටසේ දී බිම් ගෙවල්, පාලම් හා වගුරු බිම්, කැපීමට හා පිරවීමට ස්ථාන ඇති නිසා උතුරු මාර්ගය ඉදිකිරීම සමඟ සැසඳිය නොහැකි බව කෙනකුට කිව හැකි වුවද මෙම මුදල ඉතා ඉහළ බව පෙනෙන්නට ඇත. කළුතර සිට මාතර දක්වා මුහුදබඩ දුම්රිය මාර්ගය සංවර්ධනයට ද්වීපාර්ශ්වික ණය යටතේ තරගකාරී වෙන්දේසි ක්‍රමයකින් තොරව කිලෝමීටර 130ක් ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 89ක් විශාල ප්‍රාග්ධන වියදමක් දැරීමෙන් බලාපොරොත්තු තරම් ප්‍රතිලාභයක් ලැබී ඇතිද යන්න ගැන ද සොයා බැලීම වැදගත්ය. සුනාමි ව්‍යසනයෙන් පසුව දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම මගින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවකයන් පැහැදිලිවම පෙන්නුම් කොට ඇත්තේ එම මුදලට වඩා ඉතා අඩු වියදමකින් එම කාර්යය ඉටු කිරීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවයි. අවසනාවකට මෙන් ප්‍රාග්ධන වියදම් පාලනය ගැන එබඳු පරිස්සමකින් දක්නට නොලැබුණි. එහි ප්‍රතිඵලය නම් අපේ ආර්ථිකය අනවශ්‍ය ලෙස විදේශ ණය බරට යටවීමයි. එයට පොලී සමඟ ගෙවන්නට සිදුවන්නේ අනාගත පරපුරටයි.
කතාව එතැනින් අවසන් වන්නේ නැත. ගැනුම්කරුට තරගකාරී තෝරා ගැනීමකට ඉඩ නොලැබෙන නිසා, සැපයුම්කරුවන් අතර තරගකාරීත්වය නොමැති වීමේ ප්‍රතිඵලය වන්නේ ඉදිකිරීම් ගුණාත්මකභාවයේ ප්‍රශ්න ඇති වීමයි. ගුණාත්මකභාවය අඩු වූ විට එම ලබාගත් නැතහොත්් ඉදිකළ දේපළහි ප්‍රයෝජනය ද අඩුවෙයි. මෑතක දී ආනයනය කළ ඞීසල් එන්ජින්වල විවිධාකාර ගුණාත්මක ප්‍රශ්න පිළිබඳව වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ප්‍රශ්න මතුකිරීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස එම මිලදී ගැනීම්වලට අවසන් ගෙවීම් කිරීමට පෙර එබඳු ප්‍රශ්න විසඳා ගැනීමට හැකි වන පරිදි විශේෂඥ කණ්ඩායමකින් තත්ත්ව පරීක්ෂණයක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයාට සිදුවීමත්, පිටුපස ඇති ප්රශ්නය ද මෙය විය හැකිය. ඒ ආකාරයෙන්ම තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව ද්වීපාර්ශ්වික ගිවිසුම් යටතේ මෑතක දී ක්‍රියාත්මක කළ දුම්රිය මාර්ග හා සංඥා පද්ධති සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ප්‍රියාල් ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයට සිදුවිය. ගුණාත්මකභාවයේ ප්‍රශ්න, ලබාගත් තාක්ෂණයේ අනුචිත බව, ක්‍රියාමාර්ගයේ දුර්වලතා, අධික මිල සහ ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මෙහෙයුම් ප්‍රශ්න පිළිබඳව කමිටුව වාර්තා කොට ඇත. ඉතාම වැදගත් වන්නේ තරගකාරී මිලදී ගැනීමේ ක්‍රමවේදයකින් තොර වීම නිසා මිල අධික වීම හා ගුණාත්මක බව ප්‍රමාණවත් නොවීම යන අවාසි දෙකම සිදුවන ආකාරය මෙම කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබීමයි. උදාහරණ වශයෙන් උතුරු දුම්රිය මඟ සඳහා ලබාගත් සංඥා ක්‍රමය ‘‘යල් පැන ගිය’’ එකක් බවත් එම මාර්ගයේ ඇතැම් දුම්රිය ස්ථාන ඉදිකිරීම කොන්ත්‍රාත් ගිවිසුමෙන් කළ ගෙවීමෙන් සියයට දහයක තරම් මිලකට උප කොන්ත්‍රාත්කරුවන් ලවා ඉදිකරවාගෙන ඇති බවත් පෙන්වා දී ඇත. තරගකාරී මිල ගණන් කැඳවීමක දී එබඳු උප කොන්ත්‍රාත්කරුවන්ට ද මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව දිය හැකි අතර එමගින් අවශ්‍ය තාක්ෂණය සඳහා ඉතා අඩු ප්‍රාග්ධන වියදමක් දැරීමට අවස්ථාව සලසා ගත හැකි වෙයි. අලූතින් දැමූ කොන්ක්‍රීට් සිල්පර ඇතැම් තැන්වල ඉරිතලා ඇති බවත්, පාලම් ආසන්නයේ දී ගිලී ඇති බවත්, පාලම් ගණනාවක් උපදේශකවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් මෙම වාර්තාවේ සඳහන්ය. දුම්රිය ස්ථානවල වේදිකා දිග අනුචිත ලෙස සැලසුම් කොට ඇති බවත්, විශේෂයෙන්ම කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ මැදිරි 16ක් 17කට වඩා දිග දුම්රියක් නැවත්විය නොහැකි බවත් එමගින් දුම්රිය මෙහෙයුම් කටයුතු සීමාවන බවත් පෙන්වා තිබේ. ඇතැම් සිවිල් ඉදිකිරීම් කටයුතු හෝ දේශීය සමාගම්වලට ලබාදීම මගින් ප්‍රාග්ධන වියදම් අඩුකර ගැනීමේත් වටිනාකම වැඩිකර ගැනීමේත් හැකියාව නොතකා හැර ඇත. මෙබඳු වැදගත් සොයා ගැනීම් හා නිර්දේශ අඩංගු වාර්තාව අවශ්‍ය බලධාරීන් වෙත භාර දී ඇත්තේ නිවැරැුදි කිරීමට පියවර ගැනීමටත් වගකීම ගැන සොයා බැලීමටත්ය. එසේ වුවද වඩාත් වැදගත් වන්නේ අනාගතයේ එබඳු වැරදි සිදුවීම වළකා ගැනීමයි. මෙම ලිපියෙහි ද පරමාර්ථය වන්නේ එයයි.
ප්‍රියාල් ද සිල්වා කමිටුවේ ඉතාම පැහැදිලි නිර්දේශයක් වන්නේ දුම්රිය සේවයේ මිලදී ගැනීමේ හා යටිතල පහසුකම් සංවර්ධනයේ අනාගත අවශ්‍යතාවලදී එම කටයුතු දෙපාර්තමේන්තුව මගින්ම සිදු කළ නොහැකි අවස්ථාවලදී තරගකාරී ටෙන්ඩර් කැඳවීම සිදු කළ යුතු බවයි. ඉන්දියානු හෝ චීන හෝ වෙනත් රටකින් හෝ ලැබුණු ද්වීපාර්ශ්වික ණය මත පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ‘‘සාකච්ඡුා’’ මගින් තීරණය කළ ව්‍යාපෘතිවල දී මෙම තත්ත්වය කිසිසේත් දක්නට ලැබෙන්නේ නැත. මේවා ‘‘ණය’’ මිස ‘‘ආධාර’’ නොවන බැවිනුත්, ශ්‍රී ලංකාව එය ලබාගන්නා රට වීමත්, තමන්ගේ ජාතික වුවමනාත් වෙනුවෙන් කටයුතු කරමින් එබඳු ණය මුදල් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව සඳහා යොදා ගැනීමට මෙරටට නිදහස තිබිය යුතුය. ඕනෑම ණය දෙන ආයතනයකින් ඉදිරිපත් කරන අසාධාරණ කොන්දේසිවලට විරුද්ධ වීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කොඳු ඇට ශක්තිමත් විය යුතුය. අඩුම තරමින්, ණය ලබා දෙන රටේ, සැපයුම් කළ හැකි සමාගම්වලින් එක් තරගකාරී මිල ගණන් කැඳවීමට ණය ලබා ගන්නා ආණ්ඩුවට හා එරටෙහි ආයතනවලට ඉඩ ලබා දිය යුතුය. චීන රජයේ ආධාර ලබන එක්සිම් බැංකුවෙන් ලබාගන්නා ණය සම්බන්ධයෙන් එබඳු ඉතා පැහැදිලි මඟපෙන්වීමේ නීති ඉන්දියානු ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කොට ඇත. මිලදී ගැනීමේ විනිවිදභාවය පිළිබඳවත් එම මිලදී ගැනීම් තරගකාරී මිල කැඳවීම්වලට විවෘත කිරීමත් එමගින් අවධාරණය කොට තිබේ. එබැවින් මිලදී ගැනීම් සිදුවන්නේ ආණ්ඩු දෙකක් අතර ඇතිවන ණය ගනුදෙනුවක් මත බව හා එම නිසා එම මිලදී ගැනීම් ‘‘අපේක්ෂා නොකළ’’ ලෙස නොසැලකිය හැකිය යන ප්‍රකාශයට මුවාවී තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව මිලදී ගැනීම් සාධාරණීකරණය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නිලධාරීන්ට ඉඩ නොදිය යුතුය. ඇත්තෙන්ම ඔවුන් කටයුතු කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. ජාතියට උපරිම ආර්ථික ප්රතිලාභ හිමිවන ආකාරයෙන් සුදුසු හැම විටෙකම ව්‍යාපෘති දේශීය වශයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. දේශීය වශයෙන් මිලදී ගැනීම කළ නොහැකි විට තරගකාරී ටෙන්ඩර් ක්‍රමවේද යොදාගත යුතුව ඇත්තේ එමගින් අඩුම ප්‍රාග්ධන යෙදවුමක් මගින් උපරිම තාක්ෂණය හා මෙහෙයුම් ප්රතිලාභ අත්කර ගැනීම සඳහාය. මේවා සැලකෙන්නේ මිත්‍ර රටවලින් තව මිත්‍ර රටක සංවර්ධනය සඳහා ලබාදෙන ණය ආධාර වශයෙනි. එසේ නම් එම ආධාර තමන්ගේම නිෂ්පාදන හා සේවා තරගකාරී නොවන මිල ගණන් යටතේ විකුණමින්, සම්පත් හිඟයෙන් පෙළෙන මිතුරන් සූරාකෑමේ ආත්මාර්තකාමී අභිලාෂයෙන් නොවිය යුතුය. එමෙන්ම තම රටේ සැපයුම්කරුවන්ගේ හා කොන්ත්‍රාත්කරුවන්ගේ තරගකාරී මිල ගණන් පිළිබඳව මුදල් ලබා දෙන රටවලට විශ්වාසයක් ඇත්නම් ඔවුන් බිය විය යුතු නැත. මුදල් ලබාගන්නා රටවල් තරගකාරී ජාත්‍යන්තර මිල ගණන් කැඳවීමට ඔවුන් විරුද්ධ නොවිය යුතුය. එබඳු මිල ගණන් ඉදිරිපත් කිරීමකදී එය ඉදිරිපත් කරන රටෙන්ම ණය ලබා ගැනීමේ හැකියාවද පවතියි.
දින සියයේ ආණ්ඩුව පැවති කාලයේදී අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය දුම්රිය සේවය හා ප්‍රවාහන සම්බන්ධ සංවර්ධන ක්‍රියාවලදී තහවුරු කළ මඟපෙන්වීමේ රාමුව වූයේ හරියටම මෙයයි. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අමාත්‍යාංශය තල තුනකින් යුතු උපායමාර්ගික රාමුවක් ක්‍රියාත්මක කළේය. එනම් (අ* දේශීය ඉංජිනේරුවන් සහ ව්‍යාපාරික ආයතන උපරිම වශයෙන් යොදා ගැනීමෙන් ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම මගින් ජාතික වශයෙන් උපරිම වටිනාකම් එකතු කිරීමෙන් ලබාගැනීම (ආ* විදේශයන්ගෙන් මිලදී ගැනීම කළ යුතුම වූ විට තරගකාරී අන්තර්ජාතික මිල ගණන් කැඳවීම සහ (ඇ* ශ්‍රී ලංකාවට ප්රාග්ධනය සපයා ගැනීමට නොහැකි වූ හා බහුපාර්ශ්වික සැහැල්ලූ ණය ලබාගැනීමේ හැකියාවක් නැති අවස්ථාවල දී සැපයුම්කාර රටවල ද්වීපාර්ශ්වික ණය ලබාදීමේ කොන්දේසි යටතේ මිල ගණන් කැඳවීමයි. කිලෝ මීටරයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 0.4 ක වියදමකින් මහවxවවුනියාව දුම්රිය මාර්ගය දේශීය වශයෙන් සංවර්ධනය කිරීමේ යෝජනාවක් දුම්රිය සේවය සඳහා නව යන්ත්‍ර හා මැදිරි මිලදී ගැනීමේ යෝජනාවක් ආණ්ඩුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද්දේ මෙම මූලධර්ම යටතේය. මෙම නව ක්‍රියා මාර්ගයෙහි අරමුණ වූයේ පසුගිය වසර කිහිපයේ දී සිදු වූ වැරදි සිදු නොවන ලෙස ‘‘යහ පාලනය’’ කි‍්‍රයාවට නැඟීමයි. ඇත්ත වශයෙන්ම මෙම ප්‍රතිපත්ති ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වික ණය දෙන ආයතන මගින් වර්ධනය කරන මිලදී ගැනීමේ සම්මත ක්‍රමවේද තහවුරු කරයි. එම ආයතනය ද ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධන ව්‍යාපෘති සඳහා සැහැල්ලූ ණය ලබාදෙමින් ආධාර කිරීමට එම ආයතනද දැන් අලූත් උනන්දුවක් පෙන්නුම් කරයි.
වර්තමාන ආණ්ඩුවේ ‘‘යහපාලන’’ න්‍යාය පත්‍රය ආර්ථික අංශයේදී සාර්ථක කර ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී තරගකාරී මිලදී ගැනීම සහ ජාතික වශයෙන් වටිනාකම් එක්කිරීම උපරිම කිරීමේ මෙම උපාය මාර්ගයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් නැත. තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව ද්වීපාර්ශ්වික ණය යටතේ ‘‘සාකච්ඡුා කළ ව්‍යාපෘති’’ ක්‍රමයට එය නැවත තල්ලූවිය යුතු නැත. ‘‘ආණ්ඩු දෙක අතර’’ යන පාඨය යටතේ මිල ගණන් කැඳවීමකින් තොරව ක්‍රියාකිරීමට ගියහොත් එමගින් සිදුවන්නේ පසුගිය රජය ? වැටුණු ආර්ථික හා දේශපාලන වළේ මේ රජය දවල් වැටීම පමණක් නොවේ. එකල විපක්ෂයේ සිටි වත්මන් පාලනය එම ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කල දුෂණ චෝදනා මත ගොඩ නැගුණු මූලධර්ම ද උල්ලංඝනය වීම එමගින් සිදුවෙයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය ටී . ලලිතසිරි ගුණරුවන්
