මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් බිහි කිරීමට මේ ජනාධිපතිවරණය යොදා ගන්න – සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

මා මීට පෙර බොහෝ වර යාපනයට පැමිණ තිබුණත්, අද පැමිණියේ, බොහෝම සතුටින් විශේෂ ගමනක්. ඒකට හේතුවක් තියෙනවා. මේ ගමන කිසි ම ආකාරයකින් පෞද්ගලික අරමුණු ඇතිව ආව එකක් නොවෙයි. අපි සියලු දෙනාගේ ම ජීවිත සතුටින් තියන්න පුළුවන් වෙනස් අරමුණක් වෙනුවෙන් අද ආවේ. ඒ පොදු හැඟීම නිසා අපේ හදවත් අද සතුටින් පිරිලා තියෙන්නේ.

යුද්ධය දෙදහස් නවය අවුරුද්දේ දී කිසියම් කෙළවරකට පැමිණි බව අපි දන්නවා. ලංකාවේ දකුණුකරයේ මිනිස්සු බොහෝ විට උතුරුකරයට එන්න පටන් ගත්තේ විනෝද ගමනක් විදියට. මම ඒ එක ම විනෝද ගමනක්වත් ආවේ නැහැ. එහෙම එන විනෝද ගමන්වල බරපතළ අමානුෂිකකමක් තියෙන බවයි මට හැඟෙන්නේ. මරණය, මරණ භය දේශපාලනිකව පතුරුවා තිබූ ප්‍රදේශයක විනෝද වෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම යාපනයට ආවේ දෙදහස් දොළහේ දී. අපේ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික ආදායමෙන් සියයට හයක් වෙන් කරන්න බල කරමින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සටන් කළ බව ඔබට මතක ඇති. ඒ සටනේ දී යාපනයේ පා ගමනකට හා උද්ඝෝෂණ රැළියකට තමයි, මම මුලින් ම ආවේ.

එදා යාපනයට ආව ගමන් මම කළේ ගිනි තබා විනාශ කර තිබූ ඔබේ ආදරණීය පුස්තකාලයට පොත් තොගයක් පරිත්‍යාග කිරීම. ඒ මහා පුස්තකාලය ඔබට තිබුණු එක ම හා ප්‍රබලම ඥාන මාර්ගයයි. ප්‍රබල ම දැනුම් මාර්ගයයි. අදටත් මගේ ෆේස්බුක් එකේ වසර හතක් පුරා ඒ ආ ගමනේ සටහන් තිබෙනවා. ඉතා ම වටිනා පොත් අනූහත් දාහක් ගිනිබත් කළ සිද්ධිය යාපනයේ ඔබේ ම ආදර සොමිධරන් සහෝදරයා කෙටි චිත්‍රපටයකින් ප්‍රතිනිර්මාණය කළා. ‘බර්නි මෙරේස්’ කියලා චිත්‍රපටය නම් කරලා තිබුණා. ඒ චිත්‍රපටයේ අන්තර්ගත කරලා තියෙන්නේ, පුස්තකාලය ඔවුන්ගේ ජීවිතවලට බැඳී තිබුණු ආකාරය. ඔබේ ප්‍රදේශයෙන් බිහි වූ මහාචාර්ය කේ. සිවතම්බි ඉතා විශිෂ්ට බුද්ධිමතෙක්. ඔහුගේ පියා ඔහුට කීවේ පුස්තකාලය ශ්‍රේෂ්ඨතම මාර්ගය කියලා. ඔහු අහනවා, දැන් මම මගේ පුතාට කියන්නේ මොකක් ද කියලා.

අප අතරේ භාෂා බාධකය විශාල වශයෙන් තිබෙන බව ඔබ දන්නවා. මේ භාෂාව නමැති බාධකය ඉවත් නොකර තිබෙනා තුරු අපට බොහෝ කරදරවලට මුහුණ දෙන්න වෙනවා. අතීතයේ ඔබට තිබූ ගැටලුවලටත්, තවත් ගැටලු රැසකටත් විසැඳුම් දෙන්න පුළුවන් තැනක් දැන් අපට හමු වෙලා තියෙනවා. මේ පණිවිඩය අරගෙනයි අප මෙහි ආවේ. සරල උදාහරණයකින් කියනවා නම්, මේ භාෂා බාධකය ජය ගන්න විසැඳුම් අප සකස් කර තිබෙනවා. ඉන්දියාවේ විශිෂ්ට දේශපාලනඥයකු වූ ආචාර්ය අම්බෙඞ්කාර් ඉන්දියාවට ලබා දුන් ඒ විසැඳුම අපටත් ආදර්ශයක්. අම්බෙඞ්කාර්ගේ භාෂා ප්‍රතිපත්තිය මම ඉතා ම අගය කොට සලකනවා. අප අතරේ තිබෙන භාෂා ගැටලුව විසඳා ගන්නත් ඒක ආදර්ශයක්. ඔහු මූලික කරුණු තුනක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

1. සියලු ම දෙනා තම තමන්ගේ මවු භාෂාව ඉගෙන ගත යුතුයි.

2. සියලු ම දෙනා තවත් ප්‍රධාන භාෂාවක්  ඉගෙන ගත යුතුයි.

3. ඒ සියලු ම දෙනා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි.

මේ භාෂා ප්‍රතිපත්තිය පදනම් කරගෙන ජාතික ජන බලවේගය ඔබට අපට භාෂා ප්‍රතිපත්තියක් සකස් කර තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් ම කියවන්න පුළුවන්. ඔබ සියලු ම දෙනා ඒ භාෂා ප්‍රතිපත්තිය සොයාගෙන කියවන්න කියලා මම ආරාධනා කරනවා. අපට මේ වාගේ භාෂා බාධක එක්ක තව දුරටත් වැඩ කරන්න බැහැ.

ආදරණීය මිතුරු මිතුරියනි, භාෂාව කියන්නේ, කෙනකු හිතන මතන, දැනුම් පරිමාව තීරණය කරන සාධකයක්. සංහිඳියාව කියන වචනය ඔබ අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. නමුත්, මේ පාලකයෝ සියලු දෙනා බලය ගැනීම සඳහා අපව රවට්ටන විට සිංහල, දෙමළ භේදයක් තිබුණේ නැහැ. සංහිඳියාව නමින් මේ පාලකයන් ඔබව කොපමණ රවට්ටා තිබෙනවා ද? එසේ නොකරන රටක්, එසේ නොකරන නායකයෙක් අපි අපේ දරුවන්ට දායාද කරන්න ඕනෑ. නැවත යුද්ධයක් ඇති වෙන්න තියෙන හේතු ස්ථිර වශයෙන් ම සමාජයෙන් ඉවත් කරන්න ඕනෑ. එහෙම වුණොත්, ඉස්සර තිබුණු වටිනා, සශ්‍රීක යාපනයක් නැවත අපට දකින්නට ලැබෙයි.

විශ්වවිද්‍යාලයේ මගේ විෂයය සිනමාව. යාපනය තරම් චිත්‍රපට ශාලා තිබූ නගරයක් ලංකාවේ වෙනත් තැනක නොතිබුණු තරම්. එක්දහස් නවසිය හැත්තෑහතරේ යාපනය විශ්වවිද්‍යාල මණ්ඩපය විවෘත කරන කොට සිනකමා සමාජයක් පිහිටුවාගෙන තිබුණා. ආචාර්ය ධර්මසේන පතිරාජ හැදූ ‘පොන්මණි’ වගේ චිත්‍රපටයක් සමහර විට අද තරුණ පරපුර දැකලාවත් නැතිව ඇති. ඒ තරමට මේ සමාජ සංස්කෘතික ජීවිතය බිඳවැටිලා.

මෙවර ජනාධිපතිවරණයේ දී සංස්කෘතික ප්‍රාග්ධනය කියන කාරණය උපරිමයට ගෙනැවිත් තිබුණු යාපනය නැවත වරක් බිහි කරන්න අවස්ථාව ලැබී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *