සජිත්ගේ අපේක්ෂකත්වය ස්ථීරයි – නවින් දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම අනුමත කර ගැනීමේ  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(26) පස්වරු 03ට රැස්වීමට නියමිත බව අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. 

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව සිදුකෙරෙන අතර අනතුරුව එම යෝජනාව එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවකින් පසුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්දේසි කිහිපයකට යටත්ව පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම යෝජනා කර තිබෙන අතර ඊට සියලු දෙනාම එකඟතාව පල කර තිබුණි.

කෙසේවෙතත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(25) සඳහනක් කළේ කිසිදු කොන්දේසියකට යටත් නොවන බවයි. 

මෙහිදී ජනතාව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, “සජිත් ප්‍රේමදාස වනාහි කාගේවත් රූකඩයක් හෝ පඹයෙක් නොවන බවයි“.

කොන්දේසි සහිත දේශපාලන ගමනකට සජිත් ප්‍රේමදාස කිසි දිනක සුදානම් නැතැයි පැවසු ඒ මහතා, කවුරුන් හෝ තමාව රූකඩයකට ගන්න සුදානම් වන්නේ නම් එය අවසන් වී ඇතැයි ද පැවසීය.

රටේ ප්‍රජාතින්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වරට කිසිදු කොන්දේසියකට යටත් නොවී රට ගොඩ නැඟීමට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා තමා බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එවැනි පසුබිමක ඊයේ රැස්වු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය සහ පක්ෂ නායකත්වය දැරීම ඇතුළු පක්ෂයේ අනෙකුත් තනතුරුවලට කිසිදු වෙනසක් නොකරන කෙන්දේසිවලට යටත්ව පමණක් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවයි. 

එම යෝජනාව අද පස්වරු 3ට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගැනීමෙන් පසුව සවස 5ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී අදාළ යෝජනාව අනුමත කර ගැනීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව පෙරේදා දිනයේ දී ඉදිරිපත් වු කොන්දේසි වන මාස 6කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හා බලය බෙදීම සඳහා වන යෝජනා ඉදිරියට අදාළ නොවෙනු ඇත.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *