ආගමන විගමන-පුරවැසි නීති කැඩුවැයි ගෝඨාභයට එරෙහි පැමිණිල්ලට විමර්ශන ඇරැඹුවා – සීඅයිඩීය අධිකරණයට දන්වයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමන විගමන නීතිය මෙන්ම පුරවැසි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට ලද පැමිණිල්ල අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව රහස් පොලීසිය ඊයේ (23) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ සඳහන් කළේය.
වර්ෂ 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අමෙරිකානු පුරවැසියකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය දී ලංකාවට පැමිණ මැතිවරණ නීති උල්ලංණය කර ඇත්ද ? එම මැතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දදායකයකු වශයෙන් ලියාපදිංචි වී සිටීම නීත්‍යානුකූල ද ? ඔහු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය නීතයානුකූල නොවන ආකාරයෙන් ලබාගෙන තිබේද ? ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් නව ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන තිබේන්නේ නීතයානුකූලව ද ? හා අදාළ පුරවැසි වාර්තා හා ගමන් වාර්තා පිළිබඳ බරපතළ සැකසංකා තිබිය දී රහස් පොලීසිය හෝ වෙනත් අංශයකට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන් ශ්‍රී ලංකාවේ කිසියම් නීතියක් උල්ලංඝනය කර තිබේ ද ? යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවට රහස් පොලීසිය අධිකරණයට කීය.
ආගමන විගමන පනත, පුරවැසි පනත,1980 අංක 44 ඡන්ද හිමියන් ලියාපදිංචි පනත,1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත,1981 අංක 15 ජනාධිපතිවරයා තෝරාපත්කිරීමේ පනත ,1988 අංක 2 දරණ පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තියක් ඔහු උල්ලංඝනය කර ඇත් ද ?යන්න සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශනය කරන බව රහස් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
නීල් ගාමිණි වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර යන දෙදෙනා සිදු කළ පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.
මෙහි විමර්ශන අනුව පැමිණිලිකරුවන්ගේ ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඩේලි ෆිට් පුවත්පතේ කතුවරයාගේ ප්‍රකාශයක් ද ලබා ගත් බවට රහස් පොලීසිය අධිකරණය වෙත වාර්තා කර තිබිණි.
අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ම අත නොහැර පුර්ණ ශ්‍රී ලාංකිකයකු වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමත් එසේ කිරීමට අමෙරිකානු පුරවැසිභාවය අතහැරිය බවට වන සහතිකය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු වුවත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම වාර්තාව ඔහු ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව පසුගිය මැයි මස 7වන දිනයේ ඔහු ලබාගත් විදේශ ගමන් බලපත්‍රය නීතයානුකූල නොවන බවත් 2005 ජනාධිපතිවරණයේ දි ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වි ඇති බවත් ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණ ඇත්තේ අමෙරිකානු පුරවැසියකු වශයෙන් ගුවන් තොටුපළේ දී ලබා ගත් තාවකාලික විසා බලපත්‍රයකින් බවත් එවැනි විසා නිකුත් කරනු ලබන්නේ රටේ සංචාරය කිරීමට පමණක් බවත්, එයින් රටේ දේශපාලන කටයුතු සඳහා සම්බන්ධවීම නොවන බවටත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
නමුත් ඒ තුළින් රටේ දේශපාලන කටයුතු සිදු කිරිම තුළින් මේ රටේ ආගමනවිගමන නීතියත්, පුරවැසි නීතියත් උල්ලංඝනය කර ඇති බවත් පසුගිය මැයි මස ලබා ගත් ජාතික හැදුනුම්පත ලබාගැනීමට ඔහු ඉදිරිපත් කර ඇත්තේ නව ජාතික හැදුනුම්පතක් බවත් විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉදිරිපත් කර ඇත්තේ නව ජාතික හැදුනුම්පත බවත් නව ජාතික හැදුනුම්පත ලබා ගැනීම සදහා පැරණි ජාතික හැදුනුම්පත සම්බන්ධයෙන් විස්තර සඳහන් කර නොමැති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබූ බවට පැමිණිල්ලේ සඳහන්ය.
මෙම නව හැදුනුම්පත අක්‍රමවත් ලෙස ලබාගෙන ඇති බවට හා 2005 ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් ද සැක සහිත බවට පැමිණිල්ලේ සඳහන්ය. තවද 2015/11/21 වන දින ද්විත්ව පුරවැසිභව ලබා ගැනිමේ දී කැබිනට් මණ්ඩලය ද පත් කර නොතිබු බවට එය අනුමත කර ගත් ආකාරය ද සැක සහිත බවට පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා විමල් විරවංශ මහතා ඉකුත් 21 වන දින මාධ්‍ය වෙත කළ ප්‍රකාශ අනුව ඔවුන් සිදු කළ ප්‍රකාශවල සංස්කරණය නොකළ දර්ශන රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය මාධ්‍ය ආයතන තුනක කළමණාකරුවන් වෙත නියෝගයක් ද නිකුත් කෙළේය.
සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා
දිනමිණ
