එජාප අපේක්ෂක තේරීම ඔක්තෝබර් මස මුල දී

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තෝරාගැනීම ඔක්තෝබර් මස මුල් සතියේ පවත්වන කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් නිල වශයෙන් සිදු කරනු ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි. මේ වන විට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය මහතාගේ නම් මේ සඳහා යෝජනා වී ඇත. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා දැඩි සටනක් කරන අතර කරු ජයසූරිය මහතා කියා ඇත්තේ, තමන් සටන් කර අපේක්ෂකත්වය ගැනීමට උත්සාහ නොකරන බවයි. පක්ෂයේ සියලු දෙනාගේ එකගත්වයෙන් යෝජනා සම්මත කරන්නේ නම් පමණක් තමා ඉදිරිපත්වන බව ජයසූරිය මහතා කියයි.

දින හතකින් අපේක්ෂකත්වයට සජිත් තෝරා නොගතහොත් මහ සටනක් කරන බව කී සජිත් පාර්ශ්වය එය දින දහය දක්වා දික් කළේය. නමුත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ කිසිවක් මායිම් කළේ නැත. පසුගියදා වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් කැඳවා කීවේ පක්ෂයේ නායකයා හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායකයා ලෙස තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි. ඒසේ වුවද ඒම ප්‍රකාශය මගින් පමණක් ඒ මහතාගේ අපේක්ෂකත්වය ස්ථිර නොවන අතර එය පක්ෂයේකෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සාකච්ඡාකොට තීරණය කළ යුතුව ඇත.

මේ අතර රනිල් සජිත් දෙදෙනා හමු වී සාකච්ඡාකොට එකඟත්වයක් ඇතිකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වුවද එය මේ දක්වා සාර්ථක වී නැත.  

සජිත් පාර්ශවය මේ වනවිට කියන්නේ පක්ෂ නායකත්වය හා විධායක අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතා තබාගෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සිදුකළ යුත්තේ ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුවය. මේ මස 30දා හෝ ආසන්න දිනකදී ඒම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්වන බව දනගන්නට ඇත. එසේ වුවහොත් ඊළඟ සතියේම ජනාධිපති අපේක්ෂයා තෝරා ගැනීමට පක්ෂය කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *