අයවැයේ යටිපෙළ – සී ජේ අමරතුංග

අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ ජනමාධ්‍ය වාර්තා කළේ මෙම අය වැයෙන් බඩුමිල අඩුකළ බවයි. නැතහොත් ජීවන බර අඩුකළ බවයි. වාර්ෂික අයවැය ලේඛනයක් ඉදිරිපත් වනවිට මහජනයා බලාසිටින්නේද බඩුමිල වැඩිවීම හා අඩුවීම ගැන දැනගන්නටය. එය සාමාන්‍ය ජනයාගේ වුවමනාවයි. එබැවින්ම කැපී පෙනෙන ප‍්‍රවෘත්ති බවට පත්වූයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවකට පාලන මිලක් නියම කිරීමෙන් හා ඇතැම් බදු අඩුකිරීමෙන් මිල අඩුකිරීමයි. වාහන දුම් සහතික ගාස්තු වැඩිකිරීම, ජාතිය ගොඩනැගීමේ බද්ද නැතහොත් වැට් බද්ද නිසා ජල ගාස්තු විදුලිය ගාස්තු ආදිය වැඩිවන්නේද යන්න ආදී කාරණා  ගැන දෙවන වටයේදී සාකච්ඡුාවට ලක්වීය.

ඊළඟට බොහෝ දෙනාගේ අවධානය යොමුවුණේ පොහොර සහනාධාර නවතා මුදල්මය දීමනාවක් ලබාදීම, පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීම ආදී කාරණා පිළිබඳවයි. බොහෝ දෙනාට පෙනී ගියේ මේවා තාක්‍ෂණික වෙනස්කම් වශයෙනි. එසේවුවද සහනාධාර ලබාදීමේ පිළිවෙතත් වෙනසකට මුලපුරා ඇති බවත් මෙමගින් පෙනෙන්නට තිබිණි.

අර්ථ සාධකය හා භාරකාර අරමුදල

වැඩ කරන ජනයාට බලපාන ප‍්‍රශ්න  ගණනාවක් පිළිබඳවද අය වැය මගින් නව යෝජනා ඉදිරිපත් කොට තිබිණි. සේවක අර්ථ සාධකය හා භාරකාර අරමුදල එකතුකොට විශ‍්‍රාම පරිතෝෂික අරමුදලක් ගොඩනැඟීම අයවැයට පෙර සිට ඉදිරිපත් කළ අදහසකි. එයට වෘත්තීය සමිතිවලින් විරුද්ධත්වයක් පැන නැඟීම නිසා රජය පියවරක් පිටුපසට ගත් බවත් පෙනෙන්නට ඇත. දැන් කියන්නේ වෘත්තීය සමිතිවල අනුමැතියකින් තොරව මෙම යෝජනාව ක‍්‍රියාත්මක නොකරන බවයි.

රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන්ද නව ක‍්‍රමයක් යෝජිතය.  එය නම් වත්මන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය නවතා දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදීමය. එයට රජයේ සේවකයන්ගේ විරෝධය එල්ලවන්නට ඉඩ ඇති බව දන්නා ආණ්ඩුව එම ක‍්‍රමය අලූතින් බැඳෙන සේවකයන්ට සීමා කිරීමට තීරණය කළ බව පෙනෙන්ට ඇත. අනෙක් අතට එය ක‍්‍රියාත්මක කළ හැකි වන්නේද නව සේවකයන්ටය. හේතුව නම් එවිට විශ‍්‍රාම වැටුප ගෙවන්නේ සේවකයාගේ වැටුපෙන් හා රජයෙන් නීතිපතා ලබාදෙන දායක මුදලින් ගොඩ නඟන අරමුදලක් මගින් වීමය.

දැන් විශ‍්‍රාම වැටුප් ගෙවන්නේ එබදු ගොඩ නඟාගත් අරමුදලක් නැතිවය. ඒ නිසාම සෑම වසරකම විශාල මුදලක් මේ සඳහා වෙන් කළ යුතුව ඇත. දැන් එය අයවැය ලේඛනය වෙත ඇති විශාල බරකි. ආණ්ඩුවේ වැඩ පිළිවෙළ නම් අනාගතයේදී මෙය අර්බුදයක් වීම වැළැක්වීමය. එහි ප‍්‍රතිඵල ලබාගත් හැක්කේ දශක ගණනකට පසුවය. එසේවුවද සේවක පක්‍ෂය මෙය කුමන ආකාරයෙන් තේරුම් ගන්නේද යන්න තවමත් පැහැදිලි නැත.

ජීවනබර හෑල්ලූවීම

අය වැය ගැන කතාකරන බොහෝ දෙනා වැඩිපුර  කතා කරන්නේ මහජනයාට ක්ෂණිකව ලැබෙන ලාභ අලාභ හා ජීවනබර හෑල්ලූවීම ආදිය පිළිබඳවයි. එක අතකින් එය නිවැරැුදිය. බොහෝ දෙනාට තමන් දැනට මුහුණ දී සිටින පීඩා ආදියෙන් නිදහස් වීම අවශ්‍යය.
එසේ වුවද අය වැය ලේඛනයක් තේරුම් ගත යුත්තේ එයින් රටේ සංවර්ධනයට සිදුවන දායකත්වය සැලකිල්ලට ගනිමිනි. එයද මහජනයාගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට සම්බන්ධය. අනාගතයේදී රටේ සමස්ත ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය හැක්කේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමෙනි. ආර්ථික සංවර්ධනය වේගවත්වන තරමට මහජනයාගේ ජීවන මට්ටම ඉහළ යාම ද වේගවත් වනු ඇත. එබැවින් ඒ අනුව වඩා වැදගත්වන්නේ රටේ සංවර්ධනයට අයවැයෙහි සිදුකොට තිබෙන දායකත්වයයි.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කොට ගතවී තිබෙන්නේ දින කීපයකි. අනෙක් අතට අය වැය කතාවද පැය හතර හමාරක් තිස්සේ සිදුවිය. එහෙම කතාව ඉවරකරගත්තේද බොහෝ කොටස් කතාවේදී නොකියවා සභාගත කරමින්ය. ඒ කොටස්වල තිබුදේ සොයාගෙන කියවා තේරුම් ගැනීම දැවැන්ත කාර්යයකි. පෙනෙන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් සහ විද්වතුන් පවා අයවැය ලේඛනය හා එහි බලපෑම තේරුම් ගැනීමට තවමත් උත්සාහ දරමින් සිටින බවයි. ඒ සඳහා කාට කාටත් විශාල වෙහෙසක් දරන්නට සිදුවන බව පෙනේනට තිබේ.

අය වැය ලේඛනය කියවා අවසන් නැහැ

පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේ දී දයාසිරි ජයසේකර ඇමැතිවරයා කී කතාවද අමතක කළයුතු නැත. ඒ මහතා කීවේ මැති ඇමැතිවරුන් තවමත් අය වැය ලේඛනය කියවා අවසන් නැති බවයි. ඇතැම් විට මැති ඇමැතිවරුන් කිසිවකු අය වැය සම්පූර්ණයෙන් නොකියවන්නට ඉඩ ඇත. බොහෝ දෙනා කියවන්නේ තමන්ට අවශ්‍ය කොටස් පමණකි. කවුරුන් කොහොම කතා කළත් ඇත්ත තත්ත්වය ඒකය.
මෙම අයවැය ලේඛනයෙන් ආර්ථිකයට වන බලපෑම ගැන නිගමනයකට පැමිණිය හැකිවන්නේ ඒ පිළිබඳව කෙරෙන ගැඹුරු සමාලෝචනයකින් පසුවය. එයට විද්වතුන්ගේ දායකත්වය ද අවශ්‍යය. එම සංවාදය තවමත් ආරම්භ වුණා පමණකි.

එසේ වුවද සමස්තයක් ලෙස අය වැය පිළිබඳව තේරුම් ගැනීම එතරම්ම අපහසු නැත. ඒ සඳහා අය වැයෙහි ප‍්‍රධාන ප‍්‍රවණතා හඳුනා ගැනීම ප‍්‍රමාණවත්ය. එමෙන්ම එය පිළිබඳව කෙරෙන විවේචන ද මෙහිදී සැලකිල්ලට ගත හැකිය.

පක්‍ෂවල බල අරගලය

මුලින්ම පෙනී යන්නේ මෙම අය වැය පිළිබඳ විවාදය ද දේශපාලන පක්‍ෂවල බල අරගලය සමඟ ගැටගැසි ඇති බවකි. අය වැයට පක්ෂ වන්නේත්, විරුද්ධ වන්නේත් දේශපාලන වුවමනා එපාකම් අනුවය. එහිදී කවුරු කවුරුත් අල්ලා ගන්නේ තමන්ට අවශ්‍ය කාරණාය.
මෙම ලියුම්කරුට අයවැය ගැන අසන්නට ලැබුණු සංවාදයකදී එක් අයකු තවෙකකුට කීවේ කෙළියා නේද දුම් සහතිකයටත්? යනුවෙනි. හොඳින් බලන විට ඒකී තැනැත්තා සතුව මෝටර් රථයක් තබා යතුරුපැදියක්වත් නැත. ගමන් බිමන් යන්නේ බස් රථයෙනි. මෙම අදහස නැතහොත් විවේචනය එන්නේ කොහෙන්ද? එහි අරමුණ කුමටද? යන්න ඒ අනුව තේරුම් ගත යුතු වෙයි.

විපක්ෂය කීවේ මෙය මෙලෝරහක් නැති අය වැයක් බවයි. ඒ කතාව මුලින්ම කීවේද හිටපු ජනාධිපති හා හිටපු මුදල් ඇමැතිද වන මෙන්ම අය වැය ගණනාවක් රටට ඉදිරිපත් කළ මහින්ද රාජපක්ෂ මහතාය. එතුමා නම් එසේ කියන්නට ඇත්තේ අයවැයෙන් අල්ලා ගන්නට තරම් හොඳක් හෝ නරකක් සොයා ගත නොහැකි නිසා විය හැකිය.

මෙය ඇස් බැන්දුම් අයවැයක් බවත් බඩු මිල අඩුකිරීමට කල් පවතින්නක් නොවන බවත් විපක්‍ෂය කරන තවත් චෝදනාවකි. එසේ වුවද තාවකාලිකව හෝ ලබාදුන් සහන ගැන වරදක් කියන්නට විපක්ෂයට නොහැකිවී ඇති බව පෙනෙන්නට තිබේ.

වඩාත් දේශපාලනමය ආකාරයකින් අය වැය විවේචනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව පෙනෙන්නට ඇත. ඔවුන් කියන්නේ මෙය කලා වැවේ බැම්ම කැඩුවාසේ සියල්ල විනාශකරන අයවැයක් බවයි. ඔවුන්ගේ විවේචනය තුළ තිබෙන්නේ ජාතික ආර්ථිකය ලෙස ඔවුන් කියන දෙයට මෙය බරපතළ අභියෝගයක් වන බවයි. සැබෑ දේශපාලනය තිබෙන්නේ එතැනය.

මෙම අය වැය ලේඛනය මගින් ආර්ථිකයේ ඇතැම් අංශ විවෘත කොට ඇත. එක අතකින් සිදුකොට තිබෙන්නේ විදේශීය ආයෝජකයන් සඳහා තබා ඇති තහංචි ඉවත් කිරීමයි. විශේෂයෙන්ම තම ව්‍යාපාර සඳහා ඉඩම් ලබාගැනීමේදී ආයෝජකයන්ට තිබූ තහංචි ඉවත්කිරීම වැදගත් ඉදිරි පියවරකි. රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අවශ්‍ය බව පිළිගන්නේ නම් ඒ සඳහා මෙබදු ක‍්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවද පිළිගත යුතුය.

ජාතික ආර්ථිකය විනාශ කිරීමක්!

අනෙක් අතට මෙරට ආර්ථිකයේ මෙතෙක් ආරක්‍ෂා කළ අංශ ගණනාවක් විදේශීය වෙළෙඳපොළේ තරගයට විවෘත කොට ඇත. ඉන් වැදගත් අංශයක් නම් සෙරමික් නිෂ්පාදිත අංශයයි. එය මේ රටේ මෑත කාලයේ ක‍්‍රියාත්මක වූයේ සමාගම් කිහිපයක ආයතනය යටතේ තිබූ වෙළෙඳ පොළක් වශයෙනි. බදු හා තහංචි මගින් එම නිෂ්පාදන ආරක්ෂා කොට තිබුණි. මේ අය වැයෙන් එම අංශය විවෘත කොට ඇත. එමෙන්ම එම නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ ආයෝජනයට විදේශීය සමාගම්වලටද ඉඩ ලබාදී තිබේ.

මෙය වාමාංශිකයන් කියාගන්නා ඇතැමුන්ට පෙනෙනු ඇත්තේ ජාතික ආර්ථිකය විනාශ කිරීමක් වශයෙනි. එසේවුවද ආර්ථික විද්‍යාඥයන්ගේ මතය නම් මෙබඳු නිෂ්පාදන ක්‍ෂේත‍්‍රවල කාර්යක්‍ෂමතව ඉහළ නැංවිය හැක්කේ විදේශීය වෙළෙඳපොළට විවෘත කිරීමෙන් බවයි. එවිට ඇතැම් නිෂ්පාදන ආයතන විනාශ වනු ඇත. එහෙත් ඒ වෙනුවට වඩාත් තරඟකාරී හා කාර්යක්‍ෂම නිෂ්පාදන අංශ වර්ධනයවනු ඇත. එවිට එම විනාශය හඳුන්වනු ලබන්නේ නිර්මාණාත්මක විනාශය යනුවෙනි.

මෙසේ කියනවිට ඇතැමුන් අවි අමෝරාගෙන සටන් බිමට පැමිණෙනු ඇත්තේ මෙය නම් නව ලිබරල් වාදයයි, එය නම් විනාශයේ මාර්ගයයි කියමිනි. එසේ වුවද සොයා බැලිය යුත්තේ අතීත ලෝකයේ සිදුවනදේ පිළිබඳවය.

හැත්තෑ හතේ ආදර්ශය

නව සිය හැත්තෑ හතේ ආර්ථිකය විවෘත කළ අවස්ථාවේ සිදුවීම් මෙයට උදාහරණ හා පාඩම් ගත හැකිය. එකල ටයර් හැදුවේ ටයර් සංස්ථාවේය. පිටරටින් ටයර් ගෙන්වීමට තිබූ බදු අඩුකළ විට කර්මාන්තය තර්ජනයට ලක්විය. එය විකුණා දමනු ලැබීය. එසේ වුවද දැන් ශ්‍රී ලංකාව ලොවේ වඩාත්ම තරඟකාරී හා කාර්යක්‍ෂම ලෙස ටයර් හා රබර් භාණ්ඩ නිෂ්පාදනය කරන රටකි.

රෙදිපිළි කර්මාන්තය සම්බන්ධයෙන්ද සිදුවූයේ එවැන්නකි. එදා තිබූ රෙදිපිළිකර්මාන්ත ශාලා වැසී ගියේය. ප‍්‍රතිඵලය වූයේ අප රට රෙදි නැති රටක් වීම නොවේ. දැන් අපගේ ප‍්‍රධාන නිෂ්පාදන වන්නේ ඇඟළුම්ය.

ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම ගැන දැන් බොහෝ දෙනා කතාකරති. එසේ වුවද ඒ සඳහා ගත යුතු පියවර ගැනීමට පැකිළෙති. මෙම ක‍්‍රමය අවසන් කළ යුතුව ඇත. අපට ලෝක වෙළෙඳ පොළ ජයගත හැකිවන්නේ ඒ ආකාරයෙන් පමණකි.

පිටරටින් රබර් ගෙන්වීමට තිබූ සිමාකිරීම් ද අයවැයෙන් තවත් ලිහිල් කොට ඇත. එයට ද දෝෂාරෝපණයක් එනු ඇත. එසේ වුවද ඇත්ත තත්ත්වය නම් දැනටමත් රබර් යම් ප‍්‍රමාණයක් අප රටට ආනයනය කරන බවයි. එමෙන්ම මෙරට දැන් නිෂ්පාදනය කරන රබර් නිෂ්පාදන සියල්ල මෙරට රබර් වලින්ම කරන්නට ගියහොත් අපට රබර් හිඟයක් ඇතිවිය හැකි බවයි.

අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ  අයවැයේ  තිබෙනවා ද ?

ආණ්ඩුව කලින් කීවේ තෙවන වටයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ මෙම අයවැයෙන් ආරම්භ කරන බවයි. ඉහත කී පියවර තුළින් පෙනෙන්නේ ඒ සඳහා ආරම්භයක් දක්නට ලැබෙන බවයි. එසේ වුවද ඇත්ත ප‍්‍රශ්නය නම් ආර්ථිකයේ වේගවත් වර්ධනයකට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ මෙම අයවැයේ ඉදිරිපත් කොට තිබෙනවා ද යන්නයි.

අනෙක් අතින් අපට පෙනෙන්නට තිබෙන්නේ සංවෘත ආර්ථිකයක ක‍්‍රියාත්මක කරන හා කළ ඇතැම් ප‍්‍රතිපත්තිද මෙම අයවැයෙහි අඩංගු බවයි. එයට හොඳම උදාහරණය නම් භාණ්ඩ මිල නියම කිරීමට මිලපාලන ක‍්‍රමවේදය යොදා ගැනීමයි. එයින් පෙනෙන්නේ සියලූ ආර්ථික සිද්ධාන්තවලට විරුද්ධ දිසාවකට ගමන් කිරීමය.

මේ පිළිබඳව මෑතකාලයේ එක් විවේචනයක් කර තිබුණේ ආචාර්ය සිරිමල් අබේරත්න මහතාය. ආප්පයේ මිල පාලනය කිරීම ගැන ඒ මහතා ලිපියක් ලියා තිබිණි. ඔහු පෙන්වාදී තිබුණේ හොඳ ආප්පයක් හදන්නට නම් හාල් පිටි හා පොල්කිරි අවශ්‍ය බවයි. ආප්පයේ මිල පාලනය කළ විට එම පාලන මිලටද ඔබට ආප්ප ලබාගත හැකිය. එසේ වුවද එම ආප්ප නිෂ්පාදනය වන්නේ පාන්පිටි හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් භාවිතයෙනි. නැතහොත් අඩුවැඩි වශයෙන් ඒවා යොදා ගනිමිනි. මිල පාලනයෙන් අපට ලැබෙන්නේ එබඳු ප‍්‍රතිඵලයි.

දේශපාලනයේ අවශ්‍යතා

මෙබඳු යෝජනා අයවැයට අඩංගුවන්නේ ඒවා හදන උදවිය මේ ආර්ථික විද්‍යාව නොදන්නා නිසා නොවේ. එය සිදුවන්නේ දේශපාලනයේ අවශ්‍යතා සඳහාය. නැතහොත් මහජන මතයේ බලපෑම නිසාය. එමෙන්ම ආණ්ඩුවේ සංයුතියද මෙයට බලපා තිබෙනවා විය හැකිය.
එලෙස අපට පෙනී යන්නේ මේ අයවැයේ බොහෝ දේ ඇති බවයි. එමෙන්ම ඇතැම් ප‍්‍රතිපත්ති එකකට එකක් නොගැළපෙන බවයි. කකුල් දෙකෙන් දෙපැත්තට යන්නට හදන බවත්ද ඇතැම් විට පෙනීයාහැකිය.

සමස්තයක් ලෙස ගත්විට මෙම අයවැයෙහි බොහෝ දේ අඩංගු බව පෙනෙන්ට තිබේ. විවිධ අංශ ගැන විවිධ ආකාරයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග යෝජනා කොට ඇතිබව පෙනී යයි. මෙම අයවැයේ නැත්තේ එක දෙයකි. එනම් ඒකාග‍්‍රවූ දැක්මකි. ඒකාග‍්‍ර දර්ශනයකි. ඒ අනුව පෙනෙන්නේ මෙය හැමතැනින්ම බොහෝදේ ඇහිඳගෙන සකස් කළ සාර සංග‍්‍රහවාදී අයවැයක් බවය. ඒ ගැන කිව හැක්කේ තිබුණට වඩා හොඳ බව පමණකි. ප‍්‍රාර්ථනා කළ යුතුවන්නේ ඒකාග‍්‍ර දැක්මකින් ඉදිරියට යාමට සමගි සන්ධාන ආණ්ඩුවකට හැකියාව ලැබේවා කියාය.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *