මම ශ්‍රීලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් – ඔබේ නඩුව නවත්වන්න- ගෝඨාභය ඇමරිකානු අධිකරණයට කියයි

තමන් ශ්‍රීලංකාවේ ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු නිසා ඇමරිකානු අධිකරණයේ නඩු ඇසීම නවත්වන ලෙස ගොටාභය රාජපක්ෂ මහතා තම නීතිඥයන් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමරිකාවේ කැලිෆෝනියාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයෙන් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම කර ඇත. ඒ සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිංසා වික්‍රමතුංග පවරා ඇති නඩුව සම්බන්ධයෙනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ඇමරිකානු අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම නඩුව විභාග කිරීම ශ්‍රීලංකාවේ ජනාධිපතිවරණයට බලපෑමක් විය හැකි බැවින් එම විභාගය නවතා දමන ලෙසයි.එමෙන්ම එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ශ්‍රීලංකාවේ ජනාධිපති වුවහොත් මෙම නඩුව ඉවත දැමීමට ඇමරිකා අධිකරණයට සිදුවන බවයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ විදේශ රටක රාජ්‍ය නායකයෙකුට එරෙහිව නඩුවක් විභාග කිරීමට ඇමරිකානු අධිකරණයට බලයක් නොමැති බවය.
අගෝස්තු වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ඉදිරිපත් කල මෙම ඉල්ලීමට අහිම්සා වික්‍රමරත්නගේ නීතිඥයින් සැප්තැම්බර් 02 දා පිළිතුරු බැඳ ඇත.
අහිම්සගේ නීතිඥයින් පෙන්වාදී ඇත්තේ තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදී නොමැති බවත් ඔහුගේ නාමයෝජනා වලට නීතිමය අභියෝග එල්ලවිය හැකි බවය.ඇමරිකානු පුරවැසිභාවය පිලිබඳ ප්රශ්නය, මෙරට නීති උල්ලංඝනය කිරීම පිළිබද මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සහ ඒ ගැන කරන විමර්ශන ආදී ප්‍රශ්න රාශියක් මෙම අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැනනගින බව එම නීතිඥයින් විසින් පෙන්වා දෙනු ලබා ඇත.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ශ්‍රීලංකාවේ නඩු කටයුතු රාශියක් ක්‍රියාත්මක වන බවත් ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වූ නිසා මෙම නඩු කටයුතු නවතා නැති බවත් අහිම්සගේ නීතිඥයින් අධිකරණයට පෙන්වා දී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට අවහිරතා රාශියක් ඇති බවත් කඩුලු රාශියක් පනින්නට ඇති බවත් පෙන්වා දී ඇති නීතිඥයින් ඔහුට දණ්ඩ මුක්තියෙන් හිමිවීමක් ගැන කිසිවක් මේ අවස්ථාවේදී සලකාබැලිය නොහැකි බවද පෙන්වා දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේදී මෙම නඩුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ ප්‍රකාශකයින් කියා ඇත්තේ එය එතරම් බලපෑමක් නැති සිදුවීමක් බවයි.එලෙස සුළු සිදුවීමක් ලෙස සලකා නඩු කටයුත්ත ජනාධිපතිවරණයට විශාල බලපෑමක් කරන බව කියමින් නඩු විභාගය නැවත්වීමට ඉල්ලීම ගැනද නීතිඥයින් ප්‍රශ්නකොට ඇත.
මෙම නඩු කටයුත්ත ප්‍රමාද කිරීම අහිම්සා වික්රමතුංගට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමක් බවට නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා ඇත.
