සහතික වශයෙන් මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා – අනුර කුමාර දිසානායක

“ගම-රට කොළඹට” ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුව ඊයේ (01.09.2019) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක කතාකරමින් පහත අදහස් දැක්වීය.

මේ වනවිට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවිධ පාර්ශව නූල් සූත්තර කරමින් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරනවා. කුමන ආකාරයේ නූල් සූත්තර දැම්මත් සහතික වශයෙන් මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා. පසුගිය පළාත්පාලන මැතිවරණය පවත්වා මේ වනවිට වසර එකහමාරක් ගතවී තිබෙනවා. එම පළාත්පාලන මැතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයින්ට ඡන්දය ලබා දුන්නා ජනතාවගේ ඡන්දයේ වටිනාකමත්, ගෞරවයත් අප පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කොට තිබෙනවා. ජනතා ඡන්දයට ගෞරවයක් ලබාදුන් ජනතා නියෝජිතයින් ලෙස තමයි අපි ඉදිරියේදීත් මැතිවරණවලට ඉදිරිපත් වෙන්නේ.

ජාතික දේශාපාලනය නියෝජනය වන එක් ස්ථානයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. පාර්ලිමේන්තු කාර්යභාරයේදී අපි අනෙක් පක්ෂ අභිබවා කටයුතු කරනවා. මැයි දින සැමරුමේදීත් අපි අනෙකුත් දේශපාලන පක්‍ෂවලට වඩා ඉහළින් සිටිනවා. රූපවාහිනී විවාද සංවාදවලදීත් බොහෝ විට අපේ සහෝදර සහෝදරියන් අදහස්වලින්, කරුණු ඉදිරිපත් කිරීම්වලින් අනෙකුත් අය අභිබවා සිටිනවා. පසුගිය 18වැනිදා පවත්වපු ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා හඳුන්වා දීමේ රැලියත් අනෙක් අයට වඩා ගවු ගණනක් ඉහළින් තිබෙනවා. සියලු ජාතික කටයුතුවලදී අපි ඉහළින් සිටියත් අපට තිබෙන ගැටලුව වී තිබෙන්නේ ගම් මට්ටමේදී අපිට එම ජයග්‍රහණය දිනා ගැනීමට නොහැකි වීමයි.

අපි ගම දිනාගන්නේ කෙසේද? එහි විශාල පංගුවක් තිබෙන්නේ පළාත්පාලන නියෝජිතයින්ටයි. සහතික වශයෙන් එය වෙනස් කරගන්නේ නම් අපිට දේශපාලන ජයග්‍රහණයන් අත්පත් කරගන්න පුළුවන්. අපි අපේ සාමාජිකයින්, ක්‍රියාකාරීන්, හිතවතුන් සමඟ හොඳ දේශපාලන සංවාදයක් තිබෙනවා. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. එම සාකච්ඡාවෙන් ඔබ්බට ගොස් එජාප, ශ්‍රීලනිප, පොපෙ සහ අනෙකුත් පක්‍ෂවල සාමාජිකයින් සමඟ ඉතා හොඳ දේශපාලන සංවාදයක් නොකරන්නේ නම් අපේ රට සංවර්ධනය කිරීමේ කාර්යභාරය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. එක්සත් ජාතික පාක්‍ෂිකයින් එම පක්‍ෂයට ඡන්දය දෙන විට මහ බැංකුව කඩන්න, ජනතාවට අසීමිතව බදුබර පටවන්න, මහජන දේපළ හොරකම් කරන්න, රට ණය උගුලක හිර කරන්න කියලා ඡන්දය දෙන්නේ නැහැ. එජාප පාක්‍ෂිකයිනුත් බලාපොරොත්තු වන්නේ රට සංවර්ධනය කර ගැනීමයි. නීතියේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමයි. තරුණ තරුණියන්ගේ හැකියාවට රැකියාවක් ලබා ගැනීමයි. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා දියුණුකර ගැනීමයි. නමුත් එජාප සාමාජිකයින්ගේ සහ නායකයින්ගේ අපේක්‍ෂාවන් පරස්පරයි. මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන කඳවුරේ පාක්‍ෂිකයන්ගේ  බලාපොරොත්තුවත් යහපත් ආණ්ඩුකරණයයි. නමුත් පාක්‍ෂිකයින්ගේ සහ එම කඳවුරේ නායකයින්ගේ අපේක්‍ෂාවන් පරස්පරයි. අද ඔවුන්ට පොදුජනයා ඉදිරියේ ආඩම්බරයෙන් ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ගැන සාකච්ඡාවක් කරන්න පුළුවන්ද?

අදූෂිත දේශපාලනයට එරෙහි කොඩිය ශිෂ්ඨ සම්පන්න දේශපාලන භූමියක් නිර්මාණය කිරීමේ කොඩිය ගමට ගෙන යා හැක්කේ ඔබට සහ අපට පමණයි. කළු ව්‍යාපාරයක් වී තිබෙන දේශපාලනය සුදු දේශපාලනයක් බවට පත්කරන්නේ කොහොමද කියන සාකච්ඡාව ගමට ගෙනියන්න පුළුවන් ඔබට සහ අපිට පමණයි. අපේ රටේ එදිනෙදා සිදුවීම් දෙස දේශපාලන සංවේදීතාවයෙන් බලන බොහෝ පිරිසක් අපේ රටට අත්වී තිබෙන ඉරණම ගැන වේදනාවෙන් පසුවෙනවා. අපේ රටට සිදුකර තිබෙන විනාශය ගැන ඔවුන්ට කෝපයක් තිබෙනවා. එනිසා රට ගොඩනගන දේශපාලන බලවේගයක් පිළිබඳව ජනතාවට යහපත් බලාපොරොත්තුවක් තිබෙනවා.  ජනතාවගේ අනාගතය ස්ථාවර කරන රට ගොඩනගන වැඩ පිළිවෙළක් අපිට අවශ්‍යයයි. ගාටමින් තිබෙන ආර්ථිකය වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. අපරාධ සමාජයක් වෙනුවට යහපත් සමාජයක් නිර්මාණය කරන වැඩපිළිවෙළක් අවශ්‍යයයි.

අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන ක්‍රමයක් නිර්මාණය වී තිබෙනවා. ගෙදර ඉන්න ලෙඩා බරක් වෙලා. ගෙදරට ගත්ත වාහනය බරක් වෙලා. උපයන මුදලින් විශාල කොටසක් අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවාහනය වෙනුවෙන් වැය කරන්න සිදුවෙලා. එනිසා මහා පරිවර්තන යුගයක් අපේ රටට අවශ්‍යයි. නව සොයාගැනීම් මගින් අපේ රට ලෝකය ඉදිරියට ගෙන යාමට අවශ්‍යයි. ලෝකය සමග අත්වැල් බැඳගැනීමට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. එවැනි වැඩපිළිවෙළක් සමග ඔබ ගම ආමන්ත්‍රණය කළ යුතුයි. අපේ රටට හිතකර පරිසර පද්ධතියක් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන සේවා දියුණුවට පත් කරමින් කෘෂි, ධීවර, පශු සම්පත් සංවර්ධනය දියුණු කරමින් නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සාධාරණ මිලක් නියම කරන ක්‍රමවේදයක් අවශ්‍යයි. අපේ රට ලෝකයේ දියුණුතම රාජ්‍යයක් දක්වා ගෙන ඒමටත් අපේ රටේ ජනතාවට උසස් සමාජ ජීවිතයක් බලාපොරොත්තු විය හැකි වැඩපිළිවෙළක් සමග ඔබ ගම ආමන්ත්‍රණය කළ යුතුයි.

ඒ වගේම එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා බලවේගයන් නිර්මාණය කළ යුතුයි. අදූෂිත දේශපානයක් සහිත හැකියාවන්, දක්‍ෂතාවයන්, කැපකිරීම් සහිත වෘත්තීයවේදීන් සහ වැඩ කරන ජනතාව සමග පමණයි මේ රට ගොඩනැගිය හැක්කේ. එය තමයි ජාතික ජනබලවේගය නියෝජනය කරන්නේ. එය තමයි ජාතික ජන බලවේගයේ මහා දේශපාලන පෞරුෂය වී තිබෙන්නේ. ජාතික ජන බලවේගයේ එවැනි බර අවි සමග අනෙකුත් පක්‍ෂවල සුළු අවිවලට තරඟ කරන්න හැකියාවක් නැහැ. ජනතාවගේ වුවමනාවන්, බලාපොරොත්තු නියෝජනය කරන, රට ගොඩනැගිය හැකි වෙනස් බලවේගයකට රට බාර දිය යුතුව තිබෙනවා. එනිසා මෙවර ජනාධිපතිවරණයට අපි දැන් වැඩ ආරම්භ කොට තිබෙනවා. අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහොදරයා කියූ පරිදිම අපි වේලාසනින් අවදි වී වේලාසනින් වැඩකටයුතු ආරම්භ කොට තිබෙනවා.

දේශපාන මගමානවක සංස්කෘතියක් නැවත අපේ රටට හඳුන්වා දිය යුතුයි.

මෙම සභාව අමතා වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අදහස් දකවමින් මෙසේ පැවසීය.

මේ වනවිට ජනතාවට දේශාපලනය සම්බන්ධයෙන් අතෘප්තියක් තිබෙනවා. පොදුවේ කතාබහක් තිබෙනවා, සියලු දේශපානඥයන් වැඩක් නැහැ කියලා. නමුත් ඒ කතා බහ ජවිපෙ මන්ත්‍රීවරුන්ට අදාල නැහැ. ඒ කතාබහ ඇති වෙන්න කරුණු දෙකක් බලපාලා තිබෙනවා. ජනතාවගේ ඡන්දයෙන් බලයට ආපු පිරිස් අපේ රට ගොඩනැගීමට අසමත් වෙලා තිබෙනවා. දේශාපලන, ආර්ථික, සමාජයීය වශයෙන් රට සංවර්ධනය කරන්න පහුගිය වසර 71 තුළම පාලකයින් අසමත් වුණා. 1948 ඉඳලා මාරුවෙන් මාරුවට ඔවුන් රට පාලනය කළත් රට ගොඩනගන්න අසමත් වුණා. වසර 71ක් කියන්නේ රට හදනවා නම් ඇති කරම් කාලයක්. වසර 71ක් මදි නම් තවත් කොයි තරම් කාලයක් ඕනෑද අපේ රට හදන්න? ඒ වගේම මැතිවරණවලදී පොරොන්දු දුන්නට ජනතාවගේ බලාපොරොත්තු කිසිවක් ඉටු කරන්න මහජන නියෝජිතයෝ කටයුතු නොකිරීමත් මේ කළකිරීමට හේතු වෙලා තිබෙනවා.

පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු මහජන නියෝජිතයෝ දිවුරුම් දීලා වැඩ පටන් අරගෙන දැන් වසර එක හමාරක් පමණ ගතවෙලා තිබෙනවා. නමුත් මේ වසර එක හමාර ඇතුළත ඔවුන් පිළිබඳව මාධ්‍ය තුළ කතාබහට ලක්වුණේ ගම සංවර්ධනය කිරීම හෝ ජනතාවගේ බදු මුදලින් ජනතාවට සේවය කිරීම නෙවෙයි. මාධ්‍යවල වාර්තා වුණේ ඒ ජනතා නියෝජිතයින්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයි. ජනතාවගේ කළකිරීම සාධාරණයි.

එජාපය කිව්වා, තමන්ට ආණ්ඩු බලය තිබෙන නිසා ගම සංවර්ධනය කරන්න පුළුවන්, ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ඒ ගොල්ලන්ට දෙන්න කියලා. මහින්ද රජපක්‍ෂලා කිව්වේ, ගම සංවර්ධනය කරන කතාවක් නෙවෙයි. මහින්ද අගමැති කරන්න ඡන්දය දෙන්න කිව්වා. නමුත් ජවිපෙ අපි හැම කොට්ඨාසයකටම, හැම සභාවකටම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ අනුව පහුගිය මැතිවරණයෙක්දී ජවිපෙට ඉතිහාසයේ ලැබුණු වැඩිම පළාත් පාලන ආයතන ප්‍රමාණයක් ලබාදෙන්න ජනතාව කටයුතු කළා.

පහුගිය කාලයේ එජාපයේ සහ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ පළාත් පාලන නියෝජිතයෝ වැඩ කළේ කොහොමද? කුඩු ජාවාරමට සම්බන්ධ පොදුජන පෙරමුණේ මන්ත්‍රී අත් අඩංගුවට, පොදුජන පෙරමුණේ මන්ත්‍රී හෙරොයින් සමඟ අත් අඩංගුවට; එම මන්ත්‍රීවරයා දිගන ජාතිවාදී ප්‍රහාරවලටත් සම්බන්ධයි. ජනතාව ඡන්දය දීලා පත්කරපු මන්ත්‍රීවරු කුඩු ජාවාරම් කාරයෝ. ඒ විතරක් නෙවෙයි මන්ත්‍රී බලය පාවිච්චි කරලා මැරකම් කරනවා. පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගිණි අවි සමග අත්අඩංගුවට. පොදුජන පෙරමුණේ කුරුණෑගල නගරාධිපති ගිණි අවි ළඟ තබාගැනීම නිසා අත්අඩංගුවට. ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වතුර පොම්පයක් හොරකම් කරලා. රජයේ වාහන අමතර කොටස් හොරා කෑ මන්ත්‍රී  අත්අඩංගුවට. කාන්තාවකට ලිංගික අතවර කළ උදය ගම්මන්පිල පක්‍ෂයේ මන්ත්‍රී අත් අඩංගුවට. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර විතරක් නෙවෙයි බූරුවා ගහලත් අත් අඩංගුවට ගත් මන්ත්‍රීවරුත් හිටියා. පොලිස් රාජකාරියට බාධා කළ එජාප මන්ත්‍රීවරිය අත්අඩංගුවට. මේව තමයි මාධ්‍යවල වාර්තා වුණේ. ජනතාව දේශපාලනය ගැන කළකිරීම සාධාරණයි. පහුගිය කාලය පුරාවටම සදාචාරසම්පන්න මන්ත්‍රීවරු බිහිකළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ අපේ මන්ත්‍රී කණ්ඩායම එවැනි කිසිදු චෝදනාවකට ලක්වුණේ නැහැ. ජනතාව ලබාදුන් ඡන්දයේ ගෞරවය ආඩම්බරයෙන් ආරක්‍ෂා කළා. එවැනි පිරිසකට විතරයි අපේ  රට ගොඩනැගීමේ කාර්යභාරය අතට ගන්න  පුළුවන්. ජාතික ජන බලවේගය ලෙස ජනතා විමුක්ති පෙරමුණත් තවත් පාර්ශ්ව ගණනාවක් එක්ව අපේ රට ගොඩනැගීමේ කාර්යභාරයට උරදී සිටිනවා. එහිදී ජවිපෙ පළාත් පාලන නියෝජිත නියෝජිතවරියන්ට පැවරෙන විශාල කාර්යභාරයක් තිබෙනවා. දේශපාන මගමානවක සංස්කෘතියක් නැවත අපේ රටට හඳුන්වා දිය යුතුයි. අපි මේ ආරම්භ කරන සටන දේශපාලන ජයග්‍රහණයකින් කෙළවර කළ යුතුව තිබෙනවා.

මෙම අවස්ථාවට ජවිපෙ පළාත්පාලන නියෝජිතයින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික සමන්මලී ගුණසිංහ යන අයද සහභාගි විය.

මනෝජ් රූපසිංහ

ස්තූතිය ජනතා විමුක්ති පෙරමු – මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *