ප්‍රජපෙ සන්ධාන ගිවිසුම අස්සන් කරන දිනය හෙට ප්‍රකාශ කරනවා – ජනපති අපේක්ෂකයාත් එදිනම – අමාත්‍ය කබීර් හෂීම්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සමන්විත සන්ධානයේ ගිවිසුම අස්සන් කරන දිනය හා ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන දිනය බොහෝ විට සෙනසුරාදා දිනයේ දී ප්‍රකාශ කළ හැකි වනු ඇති බව මහාමාර්ග , මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ජනමතයට ගරු කරමින් පොදු ජනතාව අපේක්ෂා කරන සුදුසුම පුද්ගලයා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) බත්තරමුල්ල මග නැඟුම මහ මැදුර ශ්‍රවණාගාරයේ දී තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගුවන් ගත චුම්භක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දීය.

ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

සන්ධානගත වීම කල් ගියේ එහි ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්න කිහිපයක් තිබූ නිසායි. මීට දින දෙකකට පෙර අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පක්ෂ නායකයින් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී අපි සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළා. ඉන් එක සංශෝධනයක් පිළිබඳ නැවත සාකච්ඡා කළ යුතුයි.

මේ සතියේ සෙනසුරාදා පක්ෂ නායකයන් හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නියෝජිතයන් හමුවීමට නියමිතයි. අපේ සංශෝධන පිළිබඳ එකඟතාවකට පැමිණිය හැකි වේ යැයි අපි විශ්වාස කරනවා. එකඟතාවකට පැමිණීමෙන් පසුව සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දිනය හා ගිවිසුම අත්සන් කරන දිනයේම අපේ අපේක්ෂකයා නම් කිරීම සිදු කිරීම යෝජනා කරන්නට අපි අපේක්ෂා කරනවා. සෙනසුරාදා වන විට මේ සියල්ල අනාවරණය කළ හැකි වේ යැයි විශ්වාස කරනවා. කෙසේ වුවත් ජනමතයට ගරු කරමින් ඔවුන් අපේක්ෂා කරන සුදුසුම පුද්ගලයා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා යැයි ද පැවසීය.

ක්‍රිසන්ති විතාරණ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *