කනෙන් රිංගන රාජපක්ෂලා – සම්පත් අමරසිංහ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2019.08.11 දින ඉදිරිපත් කරන්නට යෙදුනි. ඔහුගේ නම ඒ ආකාරයට ඉදිරිපත් කරනු ලැබුවේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඒ මහතාට නොහැකි බව දැන දැනමය. එසේ ඉදිරිපත් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි වීමට හේතුව ඒ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය ය. ද්විත්ව පුරවැසියෙකුට මෙරට මැතිවරණවලට ඉදිරිපත් වීමට හෝ මන්ත්‍රි ධුර, ජනාධිපති ධුර දැරීමට හෝ නොහැකි බව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැහැදිලි ලෙසට දක්වා තිබේ. ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි වීමට බල පෑ හේතුව වන්නේ ද ඇයගේ ද්විත්ව පුරවැසි භාවයයි. ද්විත්ව පුරවැසි භාවය දරන්නකුට මෙරට පාර්ලිමේන්තුවේ වාඩිවිය නොහැකි බව තීරණය කරනු ලැබුණේ අධිකරණය විසිනි.
පසුගිය දිනවල රාජපක්ෂ හිතවාදින් විසින් සමාජගත කරන්නට උත්සාහ ගත් එක් මතයක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය මේ වන විටත් ඉවත් කරගෙන ඇති බවයි. ඒ සඳහා වෙනස් කළ ලියැවිල්ලක් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීමේ උත්සාහයක ද රාජපක්ෂවාදින් නියැලුණු නමුත් එකී උත්සාහය ලත් තැනම ලොප් වී ගියේ එහි දිනවකවානු ආදිය සාවද්‍ය බව ඔප්පුවීම හේතුවෙනි.
ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගත් බවට ගෝඨාභය මහතා ඉදිරිපත් කළ ලියැවිලි සාවද්‍ය ඒවා බව හෙළිදරව් වූ පසුව රාජපක්ෂ පාර්ශවය කියන්නට යෙදුණේ සමාජගත වූ ලියැවිල්ල වැරැදි එකක් වන නමුත් නිවැරදි ලියැවිල්ලක් තමන් සතුව ඇති බවයි. එසේ නම් එම ලියැවිල්ල ඉදිරිපත් කරන්නැයි යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ද ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන්නට යෙදුණි. එහෙත් මේ වනතෙක්ම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව ඔප්පු කළ හැකි නීත්‍යානුකූල ලියැවිල්ලක් ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට ඒ මහතා කර තිබුණේ තමන්ට හිතවාදි එක්තරා සමාගමක් මගින් ප්‍රකාශයට පත්කරන සිංහල හා ඉංග්‍රිසි පුවත්පත් දෙකකට විදෙස් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීමය. ඇමරිකානු පුරවැසි භාවය තවමත් පවතී ද නැද්ද යන්න ඔප්පු කිරීමට විදෙස් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම එක් අතකින් ජනතාව නැවතත් නොමග යැවීමට ගත් උත්සායහකි. අනෙක් අතර තමන්ගේ ද්විත්ව පුරවැසි භාවය අහෝසි වී ඇති බව ඔප්පු කළ හැකි නීත්‍යානුකූල ලියැවිල්ලක් ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව නැති බව නැවත හෙළිදරව් වීමකි.
රාජපක්ෂවරුන් යනු ජනතාව රැවටීමේ ශිල්පයේ කෙළ පැමිණි තැනැත්තන් බව ඔප්පු කරන්නට යෙදුණේ දසවසරක් වු ඔවුන්ගේ පාලන කාලයේය. එකී කාරණයේ දී ප්‍රධාන වන්නේ සිය පාලන කාලයේ මහා ඇමරිකන් විරෝධින් වශයෙන් හැසිරැණු ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තමන්ගේ ඇමරිකන් පුරවැසිභාවය අවලංගු කරගන්නට කුඩාම හෝ උත්සාහයක් ගනු නොලැබීමය. එපමණක් නොවේ 2015 මැතිවරණ පරාජයෙන් පසුව ඔවුන් වහාම පසුබැස ගියේ ද ඇමරිකාවටමය. දැන් නැවත වතාවක් ඇමරිකානු පුරවැසි භාවයේ හිදිමින්ම ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් වෙමින් රාජපක්ෂ දෙබෑයන් ජනතාව ගොනාට ඇන්ද වීමට සූදානම් වනු පෙනේ.
රාජපක්ෂවරුන්ගේ ක්‍රියාකලාපය අනුව පෙනෙන්නේ ඔවුන් දේශපාලන සදාචාරයට පමණක් නොව රටේ සාමාන්‍ය නීතියට පවා ගරු නොකරන පිරිසක් බවයි. නිදර්ශනයක් වශයෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ජනමාධ්‍ය වලට ඉදිරිපත් කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රය පවා සකසා ගෙන ඇත්තේ සටකපට ආකාරයෙනි. එහිදි ඒ සඳහා ගෝඨාභය මහතා ඉදිරිපත්කර ඇත්තේ ද ව්‍යාජ හැඳුණුම් පතක් බව මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ. අදාළ විදේශ ගමන් බලපත්‍රයේ ගෝඨාභය මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සටහන් නොවීමට හේතුව ද වෙනත් හැදුනුම්පත් අංකයක් ඉදිරිපත් කර තිබීම බව ද හෙළිදරව් වී තිබේ. හැදුණුම්පත් විදේස් ගමන්බලපත් වංචා රාජපක්ෂ වරුන්ගේත් ඔවුන්ගේ ගෝලබාලයන් ගේත් සාමාන්‍ය චර්යාවක් ද යන සැකය මතු වන්නේ විමල් වීරවංශට, ඔහුගේ බිරිඳටද එකී චෝදනාවම එල්ල වී පවතින නිසාය.
පොදුජන පෙරමුණෙහි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. මහින්ද රාජපක්ෂ මහතා එසේ එසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරන්නට යෙදුණේ පොදුජන පෙරමුණෙහි නායකයා වශයෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ අසුන්ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙහි මන්ත්‍රිවරයෙකු වශයෙනි. එහෙත් පොහොට්ටු පක්ෂය පිහිට වු මොහොතේ පටන්ම මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ නොනිල නායකයා වශයෙන් කටයුතු කළා පමණක් නොව ඔක්තෝම්බර් කුමන්ත්රණයෙන් පසුව පොහොට්ටුපක්ෂයේ සාමාජිකත්වය ද ලබා ගත්තේය. එහෙත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ මන්ත්‍රිධුරය අත්හැරියේ නැත. එපමණක් නොවේ, පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා තිබිය දී ම එවැන්නක් සිදු නොවු ආකාරයට පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රි බලයට මුවා වී විපක්නායක ධුරයේ ද කටයුතු කළේය. පොදුජන පෙරමුණේ නායකයා වශයෙන් සුගතදාස ක්‍රිඩාංගනයේ සමුළුව අමතන මොහොතේ පවා මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක වරයා විය. දේශපාලන සදාචාරයක්, ආත්ම ගරුත්වයක්, ජනද දායකයාගේ අයිතියට ගරුකිරීමක් මහින්ද රාජපක්ෂ මහතාට ඇත්නම්, ඔහු කළ යුතුව තිබුණේ නියම මහත්මයෙකුගේ ස්වරූපයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් වී පොදුජන පෙරමුණෙහි වේදිකාවට ගොඩවීමය. පුදුමයට කරුණක් වන්නේ මෙකී දේවල් ගැන එක්සත් ජාතික පක්ෂයෙන් ද කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු නොවීමය.
සම්පත් අමරසිංහ
