ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ බවට සාක්ෂි ප්‍රමාණවත් : සිරුර මුහුදේ ගිල්වා දමලා – නීතිපති
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින හමුදා සාමාජිකයින් විසින් ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.
ගිරිතලේ යුධ හමුදා බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළ ශම්මි අර්ජුන් කුමාරරත්න, අර්.එම්.පී.කේ. රජපක්ෂ නොහොත් නාදන්, ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන නොහොත් සුරේෂ්, රවින්ද්‍ර රූපසේන නොහොත් රංජි, චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන සැකකරුවන් 9 දෙනාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා 17ක් ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි පවතින බව ඇය ප්‍රකාශ කරයි.
මෙම සැකකරුවන් විසින් මෙම අපරාධය ඉතාම සංවිධානාත්මකව සහ සූක්ෂමව සැලසුම් කර ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
2010 ජනවාරි 24 වනදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමට ලක්වූ අතර ඔහුව ගිරිතලේ යුධ හමුදා බුද්ධි ඒකකයට රැගෙන ගොස් ඝාතනය කර සිරුර මඩවගුරක ගිල්වා, පසුව යළිත් එම සිරුර ගොඩගෙන මුහුදේ ගිල්වා දමා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
RN
LNW
