මහින්දට මන්ත්‍රීකමත් නැතිවෙයි? : මෛත්‍රී යලි ගේමකට සැරසෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පක්ෂ සම්මේලනයේදී එහි නායකයත්වය බාරගතහොත් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ සැලැසුමක් ඇතැයි වාර්තා වේ.

මහින්ද මහතා පොහොට්ටුවේ නායකත්වය ලබාගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී යා හැකි බැවින් මේ තීන්දුව ගැනීමට ශ්‍රීලනිප නායක හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම්වන බවද පැවසේ.

මහින්ද, ඇතුළුව එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති මන්ත්‍රී කණ්ඩායමේ සියලුදෙනාගේ මන්ත්‍රී ධූර අහෝසි කර ඒ වෙනුවට නව මන්ත්‍රීවරු පිරිසක් පත් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේ සිදු කිරීමෙන් පසුව ජනපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය කැඳවීමට ද ජනපතිවරයාගේ අදහසක් ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කරනු ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තාකර තිබේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හා නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාගේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි සිය නිල නිවසට කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්චාවක් කර ඇති බව පැවසේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයට අනුව පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය බදාදා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී යෝජනාවක්ද සම්මතකරගෙන තිබිණි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *