වන්දනීය ධුරාවලිය – නිශාන්ත කමලදාස

ධුරාවලිය අපේ සමාජය තුළ මුල් බැසගෙන ඇති සංසිද්ධියකි. එයින් කියවෙන්නේ ඉහළක් හා පහළක් සමාජය තුළ තිබෙන බව ය. පහළ, ඉහළට යටත් විය යුතු බව ය. ගරු කළ යුතු බව ය. වන්දනා කළ යුතු බව ය. ඉහළ කවරකු හෝ එන විට හුනස්නෙන් නැගිටිය යුතු බව ය. ඉහළ අවසරයකින් තොරව, ඉහළින් ලැබෙන ආශිර්වාදයකින් තොරව, පහළ කිසිවක් නොකළ යුතු බව ය. ඉහළට දඬුවම් දීමේ බලය ඇතුළු අතිමහත් බලතල ලැබිය යුතු බව ය. ගෑනියෙක් පිරිමියෙක් කිරීම හැරුණුකොට ඉතිරි සියලු බලතල තිබිය යුතු බව ය. ඉහළ අය විසින් කරන වැරදි පවා පහළ අය විසින් උපේක්ෂාවෙන් දරා සිටිය යුතු බව ය.
එය බොහෝ රටවල අතීතයේ සමාජය සකස් වී තිබුණු ආකාරය ය. ඇතැම් රටවල එම ධුරාවලියට තිබෙන වැදගත්කම මේ වන විට අඩුව තිබේ. එහෙත් එය කිසිම රටක තුරන් වී ඇතැයි කිව නොහැකි ය. එය බොහෝ රටවල අදට තුනී වී යන පොදු සංසිද්ධියක් වුව ද අපේ රට තුළ එය තවමත් දැඩිව ක්‍රියාත්මක වන්නේ ය. යටපත් කරන්නට හදන සෑම උත්සාහයක දී ම එය නැවතත් දරන ගසා නැගිට පුප්පන්නේ ය.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ රාජපක්ෂ පවුලේ අය විසින් වීම හා එහි දී ඒ සම්බන්ධයෙන් මුල් තැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ලැබීම ඒ අනුව පුදුම විය යුතු කරුණක් නොවේ. එය කුමාර වෙල්ගම ඇරුණු කොට පොදු ජන පෙරමුණේ කිසිවකු විසින් ප්‍රශ්න කරනු නො ලබන්නේ ද ඒ නිසා ය. බොහෝ දෙනකු ඒ සම්බන්ධයෙන් දරන මතය නම් මහින්ද රාජපක්ෂ විසින් නිසි තීන්දුව ගනිතැයි යන්න පිළිබඳ තමන්ට දැඩි විශ්වාසයක් ඇති බව ය.
විධායක ජනාධිපති කෙනකු බොහෝ දෙනකු විසින් ඉල්ලා සිටින කාරණය ද ඒ තැනැත්තා මිනිසුන් බිය ගැන්විය හැකි දැඩි විනයධාරියකු විය යුතු යන සිතිවිල්ල ද මේ පොදු පිළිගැනීම නිසා විය හැකි ය. පදවිය අහෝසි කිරිම නොකෙරෙන වෙදකමක් වී ඇත්තේ ද එම පිළිගැනීම නිසා විය හැකි ය. සර්ව බලධාරී දෙවි කෙනකු පමණක් අපට මදි ය. සර්ව බලධාරී නායකයකු ද, ශක්තිමත් නායකයෙකු ද, අපට අවශ්‍ය ය.
. ආගම්වලට ද ජාතිවලට ද තව ධුරාවලියක් ඇත්තේ ය. බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් සුවිශේෂ තැනක් උරුම කර දීමට සිදු ව ඇත්තේ ඒ ධුරාවලිය නීතිගත කිරීමට ය. ආරම්භයේ දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව වන්නේ ඒ අනුව ය. දෙමළ බසින් ජාතික ගීය ගායනා කළ විට ඩෝං යන්නේ ඒ අනුව ය.
ආයතනික ධුරාවලිය හා සමාජ ධුරාවලිය
තනතුරුවලට ද ධුරාවලියක් ඇත්තේ ය. ඒ අනුව හෙදිය, වෛද්‍ය නිලධාරියාට පහළය. සාත්තු සේවිකාව ඊටත් පහළ ය. මේ ධුරාවලිය අර්බුදයකට යතැයි යම් හෝ හෝඩුවාවක් ඇතිවුන තැන එය තහවුරු කර ගැනීම සඳහා මේ සේවා අතර කප්පරක් ගැටුම් ඇති වුණේ ඒ අනුව ය. මෙය සෞඛ්‍ය සේවය තුළ එළිපිට ප්‍රදර්ශනය වූයේ ඔවුන් සතුව ඇති වර්ජනය කිරීමෙන් රටට රිදවීමේ හැකියාව නිසා ය. සෙසු සේවා අතරත් උඩින් හා යටින් මේ ධුරාවලියේ තැන ගැනීමට නිරන්තර ගැටුම් ඇති වේ. මේ ධුරාවලියට ගරු කරන තාක් කෙනකුට පැවතිය හැකි ය. සාමයට පැවතිය හැකි ය. එසේ නොවෙතොත් වැඩේ හබක් ය. වෙන කුමකටවත් කටක් නාරින උදවිය පවා ආයුධ අමෝරාගෙන රෙදි කරට අරගෙන එන්නේ මේ “සම්මත“ ධුරාවලිය අර්බුදයට ගිය විට ය.
සමාජ ධුරාවලිය තුළ ඉහළින් ඉන්නා බව පෙනෙන්නේ පූජකයන් ය. එහෙත් හැබෑ ලෙස ඉහළින් ඉන්නේ බලය තිබෙන දේශපාලනඥයින් ය. මැති ඇමතිවරු ය. ඇතැම් ස්වාමීන් වහන්සේලා දේශපාලනඥයින්ට නැගිට ආචාර කරන්නේ ඒ අනුව ය. සමාජ ධුරාවලිය තුළ නිලධාරීන් ඉන්නේ මේ දෙගොල්ලන්නට ම පහළින් ය.නමුත් මේ තුන් ගොල්ලන් මේ පරතරය තියාගෙන ම එකිනෙකා සමග හවුල්ව ඉන්නේ බලය තනියෙන් දරනවාට වඩා පහසුවෙන් මේ තුන් කට්ටුවට එකට එක් වී දැරිය හැකි නිසා ය.
ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහස තහවුරු කර තිබියදී ද ස්වාමීන් වහන්සේ කෙනකුගේ ජීවිතය අළලා ලියන ලද කෙටි කතාවක් හේතුවෙන් ලේඛකයකු අත් අඩංගුවට පත්වන්නේ ඒ අනුව ය. ඒ ගැන මේ තුන්කට්ටුව ම නිහඩතාවය රකින්නේ ද ඒ අනුව ය. බල ධුරාවලියේ ඉහළ ඉන්නා අය ගැන ලියන ලේඛකයන් එක්කෝ මෙසේ නිල ලෙස දඬුවම් ලබන්නේ ය. නැතිනම් නොනිල ලෙස දඬුවම් ලබන්නේ ය. ඒ මැරයකුගේ පහරකට ලක් වීමෙන්, නැත්නම් එයින් ම මරණයට පත්වීමෙන් හෝ ඒත් නැතිනම් සේයාවක් සොයාගත නොහැකි ලෙස අතුරුදහන් කරනු ලැබීමෙන් ය. මේ ගැන කප්පරක් උදාහරන පසු ගිය පාලන සමයෙන් අපට සොයාගත හැකි ය. ඒවා සම්බන්ධයෙන් කිසිවකු අදට ද දඬුවම් නො ලබන්නේ මේ තුන් කට්ටුවේ ම නොමඳ අනුග්‍රහය යටතේ ම ය.
සමාජ ධුරාවලියේ ඊළග බලය හිමිවන්නේ මාධ්‍යකරුවන්ට ය. ඒ, මේ කියන තුන් කට්ටුව ඇති කරන්නට ද නැති කරන්නට ද ප්‍රමාණවත් බලයක් ඔවුන්ට හිමි ව ඇති නිසා ය. එහෙම කිව්වාට මාධ්‍යකරුවන්ට වැඩිපුර කළ හැක්කේ මේ අය ඇති කිරීම ය. නැතිකරන්නට යන එකේ අතුරු ඵල අප ලේඛකයන් සම්බන්ධයෙන් කියූ කතාවට ම සමාන ය. ඊට අමතරව මාධ්‍ය අයිතිකාරයින් ද එවැනි කැරලිකාරයින්ට පිට වන දොර පෙන්වීමට නියමිත ය. ඇත්තටම කියනවා මේ අය අප කලින් කී රජතුන් කට්ටුවට බොහෝ ළංව ක්‍රියාකිරීමට ඒ නිසා වග බලා ගනිති. ප්‍රශ්නයක් ඇහැව්වත් ලිස්සලා යන පාරක් ද ඔවුන්ට පාදා දීමට වග බලා ගනිති. දේශපාලනඥයන්ට තර්ජනයක් නොවන, ඔවුන් ඉදිරියේ හුරතල් වන, මාධ්‍යවේදින් පමණක් බොහෝ තැනක අප දකින්නේ ඒ අනුව ය.
මාධ්‍යකාරයින් හා මැරයන්
ඊළග බලය මැරයන්ට ය. චණ්ඩින්ට ය. පාතාලයට ය. මේ අය ද එළිපිට නොවෙතත් හොර රහසේ අප කී තුන් කට්ටුව සමගම මාධ්‍යකරුවන් තරමට හෝ ඊට වැඩියෙන් හාදකම් පවත්වන්නෝ ය. මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ සාදවල පොලීසියේ පමණක් නොව, බන්ධනාගාරයේ නිලධාරීන් ද දේශපාලනඥයන් ද දකින්නට ලැබෙන්නේ ඒ අනුව ය. බොහෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ආගමික සිද්ධස්ථානවල ප්‍රධාන දායකයන් වී ඉන්නේ ද ඒ අනුව ය. ඔවුන් තමන්ගේ වැඩ කර ගන්නා අතර මේ රජතුන් කට්ටුවට ද අවශ්‍ය සේවා සපයා දීමෙන්, දිවි රැක ගන්නා බව පෙනේ. චණ්ඩි දේශපාලනඥයන් වන දේශපාලනඥයන් චණ්ඩි වන අවස්ථා අප දකින්නේ පාතාලය හා මැරයන් තව දුරටත් සිවිල් සමාජයෙන් බැහැරව නොපවතින නිසා ය. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු අපට කියා සිටින්නේ මේ කතාවේ තවත් එක් පැතිකඩක් ගැන ය.
විදුහල්පතිවරු, ගුරුවරු ඉන්නේ මේ සියල්ලට වඩා පහතිනි. ඒ, ඔවුන් ද නිලධාරීන් වුවත්, ඔවුන්ට තම බල පරාක්‍රමය පෙන්විය හැක්කේ කුඩා ළමුන්ට පමණක් නිසා ය. කලාතුරකින් ඒ හරහා මාපියන්ට ද රිදවන්නට ඔවුන්ට පුළුවන් බව ඇත්ත ය. ඒත් ඒ අවශේස මාපියන්ට ය. මේ ඉම පැන්නුවහම සිදුවන්නේ දණ ගහලා වැඳ සමාව ගන්නට ය. ගුටි කන්නට ය. සහරාවට මාරු වෙන්නට ය.
ඇතැම් තැනක ප්‍රධානත්වය නැන්දම්මාට සහ මාමණ්ඩියට ය. කසාදයක් කරගෙන ආ පුතා එන්නේ ඊළගට ය. ඔහු ස්වාමි පුරුෂයා ය. නමේ ම හැටියට බිරිඳට වඩා ඉහළ ය. ගෙදර ගෘහණියට අවවාද අනුශාසනා ගැනීමට නැන්දම්මා මාමාට අමතරව ස්වාමිපුරුෂයා ද සිටින්නේ ය. ළමුන් එන්නේ ඊටත් පස්සේ ය. ඔවුන්ට මේ සියල්ලන්ට ම යටත් වීමට සිදු වේ.
මේ සෑම ධුරාවලියකට ම සුජාතභාවය ලැබෙන්නේ ආගමෙනි. ඒ ආගමික අනුශාසනා තුළ ධුරාවලියේ වැදගත්කම ගැන කප්පරක් කතා ඇතුළත් කිරීම හරහා ය. ඒ වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා ද ඉහළට ඔසවා තැබෙන්නේ ය.
ඒ දහමට අනුව තාත්තා නම් ප්‍රතිරූපකය කුමක් කළත් ඒ තාත්තා ලෙස ගත යුතු ය. ස්වාමීන් වහන්සේ නම් ප්‍රතිරූපකය කුමක් කළත් ඒ ස්වාමීන් වහන්සේ කෙනකු හැටියට සලකා කටයුතු කළ යුතු ය. සිවුර ඇතුළේ කුමන ජරාවක් තිබුණත් සිවුරට වැඳිය යුත්තේ යැයි කියන්නේ ඒ නිසා ය.
මෙසේ ධුරාවලියේ උඩ ඉන්නා අය කරන්නේ එකිනෙකාගේ පිට කසා ගැනීම ය. එකිනෙකා පුම්බා ගැනීම ය.
විනය කියන්නේ මේ ධුරාවලියට යටත් වීමට ය. එය විනය ලෙස අර්ථ ගන්වා තිබේ. විනයට යටත් විය යුත්තේ පහළ ස්ථරයන් ය. ඒ නිසා බණ දෙසුම් ඔවුන්ට ය. නිති රීති ඔවුන්ට ය. අච්චු කිරිමට ලක් වන්නේ ඔවුන් ව ය. උඩ ඉන්නා අයට තියෙන්නේ පහළ අය විනයානුකූලව හැසිරෙනවා ද නැද්ද යන්න ගැන තීන්දු තීරණ ගැනීමට ය. ඔවුන් එසේ නොහැසිරෙන්නේ නම් දඬුවම් කිරීමට ය. නිල හෝ නොනිල ලෙස දඬුවම් කිරිමට ය. මොන ක්‍රමයකින් හෝ ඔවුන් හික්මවා ගැනීමට ය.
නවක වදය නම් අපූරු මෙවලම ක්‍රියාත්මක වන්නේ මේ ධුරාවලිය පිළිබඳ සියලු පැතිකඩ නිරාවරණය කරමින් ය. මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 15 දෙනකු ඒ වෙනුවෙන් දිවි පුදා තිබේ. අවසන් බිල්ල ශිෂ්‍යාවන් ඉදිරියේ නිරුවත් කරනු ලැබීමට ලක් විම නිසා ලජ්ජාවට පත් ව දිවි පිදූ මොරටු සරසවි ශිෂ්‍යයා ය. ශිෂ්‍යයාගේ දුර්වල පෞර්ෂය කියන මලඉලව්ව පිට දමා එයින් හිත නිදහස් කරගත හැකි ය. ඒ එක ද බිල්ලක්වත් මේ තත්වය නැවත විමසීමට යොදා ගැනෙන එකක් නැත.
ධුරාවලිය හා විනය
මේ ධුරාවලියට අනුව වැරදි කරන තරමක් කෙරෙන්නේ පහළ ය. අල්ලස් ගන්නේ පුංචි මිනිසුන් ය. ලොකු අල්ලස් අහු කර ගැනීම අමාරු ය. මිනීමරන්නේ පුංචි මිනිසුන් ය. ලොකු මිනිසුන් විසින් කවරෙකු හෝ මරා දමනු ලැබ විට මරපු කෙනෙක් සොයා ගැනීමට නොහැකි වන තරමට සාක්කි දුර්වල වන්නේ ය. සාක්කි පවා බියෙන් සැඟවෙන්නේ ය.
විනය තිබුණේ යැයි කියවෙන පසු ගිය පාලන සමය තුළ මාධ්‍යවේදීන්ට තැලූ, උන් තුවාල කළ, මැරූ සහ අතුරුදන් කළ එක ද මිනිසකුවත් නීතියේ රැහැනට අසු කර ගැනීමට බැරි වූයේය නම් වූ විහිළුවට අපි දැන් මුහුණ දී සිටින්නෙමු. උත්සහයන් දැරුවේ යැයි කියන්නේ වුව ද එය අදට ද එසේ ම ය. එක්කෝ මේ කියන විනයට එසේ පහර දීම හෝ අතුරුදහන් කිරීම හෝ මරා දැමීම ප්‍රශ්නයක් වන්නේ නැත. ඒ ඇතැම් විට එසේ පහර කෑ මරා දමනු ලැබූ අය මිනිසුන් නොවන නිසා ද විය හැකි ය. ඒ කියන්නේ විනය කඩ කර ඇත්තේ මේ කියන වින්දිතයන් විසින් බව ය. පහර කෑ මරා දමනු ලැබූ මාධ්‍යවේදීන් විසින් බව ය. ඒ පහර දීම් මරා දැමීම් අතුරුදහන් කිරීම් සියල්ල ඊට එරෙහි දඬුවම් බව ය. ඒ සම්බන්ධ චුදිතයන් වී සිටින අය අහිංසකයන් බව ය. ඇතැම් අය රණ විරුවන් ද බව ය.
ප්රජාතන්ත්රවාදි අවකාශය
ධුරාවලියේ නරක පැතිකඩ තිබෙන බව ඇත්ත ය. එහෙත් එය නැතිව රටක් ගෙනියන්නට පුළුවන් ද? දැනට පිස්සු කෙළින්නේ ලොක්කන් පමණ ය. මේ ධුරාවලිය නැතිවුණොත් හැම පොඩි එකාමත් පිස්සු කෙළින එකක් නැද්ද?
අද තත්වය ගෙන බැලුවොත් පෙනෙන්නේ උද්ඝෝෂණ දෛනික සංසිද්ධියක් බවට පත් ව ඇති බව ය. ජනයාට හිරිහැරයක් වන තරමට ඒවා නිසා පාරවල් නිති පතා අවහිර වෙන බව ය. විනය පිරිහී ඇති බව ය. ඒ සියල්ල ධුරාවලිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් බව ය.
ඇත්තටම ධුරාවලිය ලිහිල් ව තිබේ ද? අප ලිපියේ මුලින් ගත් උදාහරණ බොහෝමයක් මේ මෑතක ඒවා
ය. එයින් පෙනෙන්නේ ධුරාවලිය අදට ද පවතින බව ය. මැරයන්ගෙන් ගුටි නොකෑව ද මැරුම් නොකෑව ද පොලීසියෙන් වෙඩි නොතිබ්බේ වුව ද උද්ඝෝෂකයන් අදට ද පොලීසියෙන් කඳුළු ගෑස් කන බව ය. ගුටි බැට ලැබෙන බව ය. ඇතිවෙන්නට නා ගන්නා බව ය.
යහපාලනය යම් පමණකට ප්රජාතන්ත්රවාදී අවකාෂයක් ඇති කළේ ය. එය බුද්ධිමත්ව යොදා ගැනීමට තවමත් මිනිසුන්ට නොහැකි ව තිබේ. මේ ඇතැම් උද්ඝෝෂණයන් දේශපාලන වුවමනාවන් නිසා ගොඩ නගා ඇති ඒවා ය. ඒවායේ රැස් ඉක්මණින් බැස යනු ඇත. මේ අවකාශය බුද්ධිමත්ව භාවිතා කිරීම සම්බන්ධ පාඩම් මිනිසුන් විසින් උගත යුතු ව තිබේ. ඒ සඳහා මිනිසුන් දැනුමින් සන්නද්ධ කළ යුතුව තිබේ. මිනිසුන්ට රිදවන්නේ නැතිව ආණ්ඩුවට දනවන්නේ කෙසේදැයි සැබෑ දුක්ගැනවිලි ඇති උද්ඝෝෂකයන් විසින් ද ඉගෙනගත යුතුව තිබේ.
ප්රශ්නය ධුරාවලිය ලිහිල් වීම නොවේ. යහපාලනය යටතේ ද මේ ධුරාවලිය තවමත් නාඩගම් නැටීම ය. ඇතැම් තැනක එළිපිටත් තව තැනක සැඟවීත් පහර දීම ය.
විනය අවශ්‍ය ය. රටක දියුණුවට එය නැතිවම බැරි ය. ප්රශ්නය ඇත්තේ විනය පිහිටුවීම සම්බන්ධයෙන් නොවේ. එය කෙසේ පිහිටන්නේ ද යන්න සම්බන්ධයෙනි. පළමුව ඒ විනයට සියල්ලන් යටත් නොවීමේ අවුල ය. ලොක්කන් සහ උන්ගේ ආවතේවකරුවන් එයින් ප්‍රසිද්ධියේ හෝ හොර රහසේ ඒ විනයෙන් නිදහස් කිරීමේ අවුල ය. දෙවනුව, එය පිහිටුවීම සඳහා අපට දරන්නට වන පිරිවැය දරුණු වීමේ අවුල ය. ඒ වෙනුවෙන් අපේ නිදහස උගස් කිරීමට සිදු වීමේ අවුල ය. ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමේ වරද ය.
මේ ධුරාවලිය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඊළගට අප ප්‍රශ්න කළ යුත්තේ, ඒ මගින් විනය ඇති කරනවා ද නැත්නම් වෛරය යටිබිම්ගත කරනවා ද යන්න ය. එසේ යටිබිම්ගත කරන වෛරයන් ඒකරාශී වී උතුරා ගිය විට නැවත මතුවන්නේ කැරලි වශයෙන් හෝ යුද්ධ වශයෙන් වූ විට එහි ඇති ප්‍රතිඵලයක් නැත. නිදහසින් පසු ලංකාවේ සිදු වූයේ එය ය. අධික මිලකුත් ගෙවා ඇති කරන්නේ නිශේධනීය ප්‍රතිඵලයක් නම් අප කුමක් නිසා මේ විනය වෙනුවෙන් මෙවැනි ධුරාවලියක් කර තබා ගෙන යා යුතු දැයි යන්න උත්තර අවශ්‍ය ප්රශ්නයකි.
උත්තරය
දියුණු රටවල මේ ධුරාවලිය නිරපේක්ෂ නැත. නිත්‍ය නැත. ධුරාවලියේ උඩ ඉන්නා අයට නිරපේක්ෂ බලයක් නැත. එයින් අදහස් කරන්නේ ධුරාවලියේ උඩ ඉන්නා අය ද අවශ්‍ය විටෙක ප්‍රශ්න කිරීමට යටත් බව ය. උඩම ඉන්නා කෙනකු පවා රටේ නිතියට යටත් බව ය. විනය ඇති කිරීමේ නාමයෙන් මිනීමරන්නට ඒ රටවල උඩ ඉන්නා අයටවත් ලයිසන් ලැබෙන්නේ නැති බව ය. විනය ඇති කිරීමේ නාමයෙන් භාෂණයේ නිදහසට වාරණ පනවන්නට නුපුළුවන් බව ය. සාහිත්‍ය නිර්මාණයක් කිරීමේ වරදට කුදලාගෙන ගොස් ලේඛකයන් හිරේ දමන්නට එරට පොලීසිවලට පූජකයන්ගේ බලපෑම් ඇති නොවන බව ය. පොලීසිය එවැනි බලපෑම්වලට හිස නොනමන බව ය.
ඒ රටවල ඇත්තේ එකිනෙකාගේ පිට කසා ගන්නා ලොක්කන්ගෙන් සමන්විත ධුරාවලියක් නොව එකිනෙකා නියාමනය කරන බල කේන්ද්‍රයන්ගෙන් සමන්විත ධුරාවලියකි. අපට ද එවැන්නක සේයාවක් පවතින බව පසු ගිය ලාංකිය ඔක්තෝබර් විප්ලවයෙන් පසු අත්දකින්නට ලැබුණේ ය. අප රටට අද අවශ්‍ය ඒ පද්ධතිය තවදුරටත් තහවුරු කරන වැඩ පිළිවෙළකි. ධුරාවලියේ ඉහළ තැන් ද නිසි පරිද්දෙන් ප්‍රශ්න කෙරෙන නියාමනය කරන වැඩ පිළිවෙළකි. සැබෑ විනය බිහිවන්නේ එවැනි වටපිටාවක ය. ශිෂ්ට සමාජයක තමන් ජීවත් වෙතැයි මිනිසුන්ට හැඟෙනු ඇත්තේ එවිට ය.
එය ලබා ගැනීම පහසු නැත. ඒ සඳහා කරන අරගලය දිගින් දිගට කිරිමෙන් තොරව එය ලබා ගැනීම ද පවත්වා ගැනීම ද අසීරු ය.
මල්වතු අස්ගිරි දෙපළට සුවිශේෂ ආසන පැනවීම සම්බන්ධයෙන් ද නිර්මාණයක් කළ ලේඛකයෙකු කුදලාගෙන ගොස් හිරේ දෑම සම්බන්ධයෙන් ද ජනතා විරෝධය පළ විය යුත්තේ ඒ නිසා ය. එවැනි විරෝධයන් මුහුණු පොත තුළ නම් එමට ය. එහෙත් එයින් එහාට ද ඒවා ගෙන යා යුතු ය. ධුරාවලියේ ඉහළ ස්ථරයන් දිගින් දිගට ප්‍රශ්න කිරිමෙන් තොරව අපට රට ගොඩ ගත නොහැකි ය. අප කළ යුත්තේ ලැබී ඇති ප්රජාතන්ත්රවාදී අවකාශය භාවිතයට ගෙන එම කටයුත්තේ නියැළීම ය. එම අවකාශය ඇකිලීමට ගන්නා පියවරයන්ට, එය කුමන පාටක් යටතේ පැමිණිය ද, එරෙහි වීම ය.
නිශාන්ත කමලදාස
