සමාජ සාධාරණත්වය සඳහා ආණ්ඩුවේ මැද මාවත යහපත් වර්ධනයක් – ඩේලි මිරර්

අත්‍යන්ත ධනවාදය සහ සමාජවාදය ලෝකය පුරා පසුබෑමකට හෝ අවපාතයකට ලක්වෙමින් පවතින අවස්ථාවක, ලංකාව ගරු ගාම්භීර මැද මාවතකට යොමු කළ හැකි විස්තීරණ සහ විප්ලවීය සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියක් පිළිබඳ දළ ආකෘතියක් අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය බදාදා ඉදිරිපත් කෙළේය. ඔහු එය විස්තර කෙළේ, තුන්වැනි පරම්පරාවේ ප‍්‍රතිපත්තියක් වශයෙනි. මුල් පරපුරු දෙක වුණේ, ජයවර්ධන සහ පේ‍්‍රමදාස යුගයන් ය.

ඇමරිකාව, බටහිර යුරෝපය සහ වෙනත් තැන්වල නිතර ඇති වන අර්බුද මගින් පෙන්නුම් කරන්නේ, මුළුමණින් ගෝලීයකරණය වූ ධනපති වෙළඳපොළ ආර්ථික ක‍්‍රම, දැනට මෙන්ම මතුවටත් සාර්ථක නොවන බවයි. එසේ වන්නේ, ප‍්‍රධාන වශයෙන් එවැනි ආර්ථික ක‍්‍රම නිසා ධනපති සහ දුගී ජනතාව අතර වන පරතරය තව තවත් උග‍්‍ර කෙරෙන බැවිනි. වසර 150 කට පමණ පෙර ජීවත් වූ අග‍්‍රගණ්‍ය දේශපාලනික දෘෂ්ටිවාදියා වූ කාල් මාක්ස්, සමාජවාදය පිළිබඳ ප‍්‍රතිපත්ති සූත‍්‍රගත කොට ප‍්‍රවර්ධනය කෙළේය. මන්ද යත්, දුගී ජනයාව සූරාකමින් ධනපතියා වැජඹෙන සැටි ඔහු දුටු බැවිනි. ඇතැම් අවස්ථාවක මේ සූරාකෑම කෙරෙන්නේ ආගමේ මුවාවෙනි. 1917 දී රුසියාවේ මාක්ස්-ලෙනින්වාදී විප්ලවය සිදු කෙරුණේ ඒ කාල් මාක්ස් කියූ මාර්ගයේ යමිනි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සෝවියට් රුසියාවේ පාලකයා වූ ජෝසප් ස්ටැලින් විසින් එම ක‍්‍රමය, එනම්, ධනය සහ සම්පත් සමාන ලෙස බෙදී යාම මත පදනම් විය යුතු සමාජවාදී ක‍්‍රමය, රාජ්‍ය ධනවාදයකට සමීප දෘෂ්ටිවාදයකට ලඝු කරන ලදි. මේ කොමියුනිස්ට්වාදය හෙවත් සමාජවාදය, චීනය දක්වාත්, නැගෙනහිර යුරෝපය දක්වාත්, තවත් විවිධ කළාප දක්වාත් ව්‍යාප්ත විය. එහෙත් එයින් අදටත් ඉතිරිව පවතින රටවල්, බොහෝ දෙනා පෙන්වා දෙන පරිදි, පින්තාරු කළ රාජ්‍ය ධනවාදය මිස වෙනකක් නොවේ.

මේ අන්ත දෙක ගැනම දීර්ඝ කාලයක් තිස්සේ අත්හදාබැලීම් කොට ලබා ගත් අත්දැකීම් නිසා බොහෝ රටවල් මේ වන විට මැද මාවතට අවතීර්ණ වෙමින් සිටී. ශ‍්‍රී ලංකාවත් එම මාර්ගයටම ප‍්‍රවිශ්ඨ වීම අපේ සතුටට හේතු වෙයි. මෙය, අගමැති වික‍්‍රමසිංහ හැඳින්නුවේ, සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් වශයෙනි.

විටින් විට නැගෙන අත්පොලසන් මධ්‍යයේ කරගෙන ගිය පිටු 17 කින් යුත් සිය කතාව තුළ ඔහු, ග‍්‍රාමීය ආර්ථිකය, කෘෂිකර්මය සහ ධීවර කර්මාන්තය නැවත නගා සිටුවීම ගැන අවධාරණය කෙළේය. මේ අංශ, අවුරුදු දහස් ගණනක් තිස්සේ, ශ‍්‍රී ලංකාවේ චිරන්තන සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ හදවතේ වැදගත් මර්මස්ථාන නියෝජනය කෙළේය. ග‍්‍රාමීය පවුල්වලට සහ ප‍්‍ර‍්‍රජාවන්ට සාර්ථක දිවි පෙවෙතක් ගොඩනගා ගැනීමට තිබුණු අවස්ථාවන් විනාශ වී ගොස් ඇතැයි අගමැතිවරයා කීවේය. ග‍්‍රාමීය ආර්ථිකය සරු කළ මහ පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපෘති අද අකී‍්‍රයව තිබේ. මේ ප‍්‍රශ්නයට වහා විසඳුම් සෙවිය යුතු බව කී ඔහු, කෙටි කාලීන සංවර්ධන රාමුවක් තුළ ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මගින් මේ අර්බුද කෙරෙහි අවධානය යොමු කරමින් ග‍්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ අර්ථවත් පියවර ගත යුතුව ඇතැයි පෙන්වා දුන්නේය.

ඒ අනුව, ගම් කිහිපයක් එක් සංවර්ධන මධ්‍යස්ථානයක් යටතේ එක්කාසු කෙරෙන රජයේ ග‍්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථාන 2500 ක් පිහිටුවනු ලැබේ. එසේම ග‍්‍රාමීය මාර්ග, වැව් සහ පොළවල් ආදිය සමන්විත වන ග‍්‍රාමීය යටිතල පහසුකම් ගොඩනගා ශක්තිමත් කරන බවත් ඔහු කීවේය. මේ සැලැස්ම යටතේ, ගොවියන්ටද සාමාජිකයන් විය හැකි මහ පරිමාණ කෘෂිකර්ම ව්‍යාපෘති ඇති කරනු ලැබේ. එලෙසින් තරගකාරී කෘෂිකර්ම වෙළඳපොළකට මුල පිරෙන අතර කෘෂි නිෂ්පාදන අපනයනය යළි නගා සිටුවනු ලැබේ.

සමාජාර්ථික සහ සමාජ සාධාරණත්වය පිළිබඳ සිය උපාය මාර්ගය ලූහුඩින් දැක්වූ අගමැතිවරයා, මානවම්ම රජුගේ කාලයේ (ක‍්‍රි.ව. 684-719* සිට මහා පරාක‍්‍රමබාහු රජුගේ කාලය (1153-1186* දක්වා පැවති සෞභාග්‍යයේ ස්වර්ණමය යුගය යළි පණගැන්විය යුතුව ඇතැයි කීවේය. විවිධත්වය සහ බහුවිධ භාවයට ගරු කරන සහ ප‍්‍රවර්ධනය කරන පමණක් නොව, එය ප‍්‍රශංසාවෙන් සමරණ නව ශ‍්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා සියලූ දේශපාලන පක්ෂ සහ සෑම ආගමකට සහ ජාතියකට අයත් ප‍්‍රජාවක්මත් සහයෝගය දැක්විය යුතුව ඇතැයි ඔහු කීවේය.

මේ ඓතිහාසික කතාවෙන් පසු ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින්, නව ආර්ථික උපාය මාර්ගයේ වැදගත් ලක්ෂණයක් වන්නේ කාබනික කෘෂිකර්මය කරා දිවෙන ක‍්‍රමානුකූල වර්ධනයක් බව කියා සිටියහ. ආනයනය කෙරෙන රසායනික පොහොර සඳහා විශාල සහනාධාර සපයනවා වෙනුවට, ස්වාභාවික කාබනික පොහොර මිළදී ගැනීමට හෝ නිපදවා ගැනීමට රුපියල් 10,00-25,000 අතර මුදලක් ලබා දෙන බව උන්වහන්සේ කීහ. මේ වැඩපිළිවෙල සම්පූර්්ණයෙන් ක‍්‍රියාත්මක වූ පසු, අවුරුදු තුනක් යන විට, අපට අවශ්‍ය සෑම පෝෂ්‍යදායී ආහාරයක්ම, දැනට අප සතුව ඇති සිය ගණනක් එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ගවලින් සපයා ගත හැකි බවත් උන්වහන්සේ කීහ.

ජනතාවගේ සම්පත් ප‍්‍රකෝටි ගණනින් මංකොල්ලකෑ හිටපු රජයේ ලොකු ලොක්කන් නීතිය ඉදිරියට පැමිණවීමේ පමාව පිිළිබඳ ආණ්ඩුවට එරෙහි බලවත් විවේචන තිබියේ වී නමුත්, ජාතික ආණ්ඩුව නිවැරදි මැද මාවතක ගමන් කරන බව පෙනෙන්ට තිබේ. මේ නව දැක්ම සහ මෙහෙවරේදී, සියලූ පක්ෂ සහ ජනතාවම ඒ සඳහා සිය සහයෝගය දිය යුතුය. විසම්මුතියට ඇති අයිතිය ඇතුළු විවිධ අයිතීන් අපට ඇත. ඒ අයිතීන් සමග වගකීම්ද ගැටගැසී ඇත. එහෙත් අපේ අයිතීන්ට අපට හිමිකම් කිව හැක්කේ, රට පෙරට ගන්නා වගකීම් අපට ඉටු කරන තරමට පමණි.

  2015 නොවැම්බර් 7 වැනි දා ‘ඬේලි මිරර්’ කතුවැකියේ සිංහල පරිවර්තනය
                                 ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *