19 අහෝසි කරන්න කියන යෝජනාවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි – සමන් රත්නප්‍රිය

ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව, ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවුරුදු හතර හමාරක් යනකල් කරන්න බෑ’ කියන නීතිය එන්නෙ 19 වැනි සංශෝධනය හරහා. ඒ නීතිය ආවේ නැත්නම්, ජනාධිපතිවරයා (දින 52) නීතිය කඩ කරපු වෙලාවේ මේ රට සම්පූර්ණ ආරවුල් ජලාවක් බවට පත් වෙනවා. අට අරාජික නොවුනෙ. අවුල්ජාලාවක් බවට පත් නොවුනෙ 19 වන සංශෝධනය නිසා. ඒක ඉතාම පැහැදිලියි.  සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය එසේ ප්‍රකාශ කළේ ඊයේ (4) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවක දී ය. මෙම අවස්ථාවට සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරුවකු වන පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු, සිවිල් සංවිධාන එකමුතුවේ සුන්දරම් මහේන්ද්‍රන්, ජාතික සාම මණ්ඩලයේ අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා යන මහත්වරුද සහභාගි වී සිටියහ.  

19 වැනි සංශෝධනය අහොසි කළ යුතුයි කියලා, වර්තමාන ජනාධිපතිවරයා අදහසක් ප්‍රකාශ කළා. එය පහුගිය කාලය තුළ වැඩිපුරම කතා කරන මාතෘවක් බවට පත්වුණා, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, ඒකේ ක්‍රියාවන් හා වැඩකටයුතු ගැන මේ කාරණා මූලික කරගෙන තමයි පසුගිය සති දෙක තුනක කාලය විවිධ මතිමතාන්තර අදහස් කරළියට ආ‍වෙ.

අපිට ප්‍රශ්නයක් තියෙනවා වර්තමාන ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි කියලා මතයක් ප්‍රකාශ කිරීම පිළිබඳව. ඒක බරතපළ ප්‍රශ්නයක්. වර්තමාන ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇතුළු අපි. විශේෂයෙන් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අපි වැඩකරපු සියළු කණ්ඩායම් ඒකරාශි වෙලා තමයි ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට 19 වන සංශෝධනය ඉදිරියට ගෙනගියේ. මොකද අපි 2015 ජනාධිපතිවරණයට පෙර මේ රටේ ජනතාවත් එක්ක කථිකාවක් හදාගත්තා, ජනතාවත් එක්ක සම්මුතියක් අත්සන් කළා. සම්මුතියට අදාළ මූලිකම කාරණයක් තමයි මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජනමත විචාරණයක්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අත්‍යඅවශ්‍යයි කියන කාරණය තුළ ඊට මෙහා කළ යුතු කළ හැකි උපරිම සංශෝධනය තමයි, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒකෙන් විධායක බලය යම් ප්‍රමාණයකට අඩු කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම. ස්ථාවර කිරීම, ඒක තව තවත් ශක්තිමත් කිරීම. ඒකට මෛත්‍රිපාල සිරිසේන මහත්මයා එකඟ වුණා. ඔහු සංවිධාන 149ක් එක්ක ගිවිසුමක් අත්සන් කළා. මමත් ඒ ගිවිසුමට අත්සන් කළා. ඔහු, අපි හැම කෙනෙක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි කියලා, ජනතාවට පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු උඩ තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරයා විදිහට 2015 ජනවාරි 08 වෙනිදා පත්වෙන්නෙ. එහෙම පත්වුණු ජනාධිපතිවරයෙක් සහ අපි එකතුවෙලා තමයි, 19 වන සංශෝධනය කරළියට ගේන්නේ. 19 වන සංශෝධනයෙ මූලික පදනම හදාගන්නේ සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරය, ඊළඟට ඒක ආණ්ඩුවට ඉදිරිපත් කරනවා, ආණ්ඩුව ඒ ගැන කථිකාවක් හදාගන්නවා. සංශෝධන කරනවා. අන්තිමේ එකඟතාවයකට ඇවිත් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම, විපක්ෂය ඒකට බරපතළ විදිහට විරුද්ධ වෙද්දි වාමාංශික ව්‍යාපාරයේ පතාකයෝ විදිහට හිටපු වාසුදේව නානායක්කාරලා, ඒකට බරපතල ලෙස විරුද්ධ වෙද්දි, අනෙක් පැත්තෙන් දිනේෂ් ගුණවර්ධනලා, උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා පාර්ලිමේන්තුවේ රැයක් ගත කරද්දි මේකට විරුද්ධව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ එදා දවසම ගත කරමින්, දින දෙකක් ගත කරමින් මන්ත්‍රිවරු ළඟට යමින් පක්ෂ නායකයන් ළඟට යමින් ඒක සම්මත කරන්න උත්සාහ ගත්තා. අපේ ඉල්ලීමට සහ ඔහුගේ උවමනාවට. ඔහු එදා විශ්වාස කළා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි කියලා. විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියලා. ඔහු ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ඒ සම්බන්ධව අපිත් එක්ක. එහෙම වැඩ කරපු, 19 ගේන්න උත්සාහ කරපු, 19 ගේන්න ක්‍රියාකාරීව වැඩ කරපු ජනාධිපතිවරයි අද කියන්නෙ 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි කියලා.

එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා, ජනාධිපතිවරයා එදා මේකට අත ඉස්සුවේ, එදා මේ වෙනුවෙන් වැඩ කෙරුවේ මේක දැනගෙනද? මේ ගැන හරි අධ්‍යනයක් ඇතුවද? එහෙම නැත්නම් දැන්ද මේක වැරදියි කියලා අවබෝධ වෙලා තියෙන්නෙ? එහෙම නැත්නම් එදා අවබෝධයෙන් වැඩ කළා, දැන් තමන්ගේ වාසියට ද නැවත බලයට පත්වෙන්න හෝ වෙනයම් කාරණාවකට ද 19 අහෝසි කරන්න කියන්නෙ කියලා. ඔය මොන කාරාණාව වුණත් 19 අහෝසි කරන්න කියන යෝජනාවට කිසිසේත් එකඟ වෙන්න බෑ මේ රටේ යහ පාළනය අපේක්ෂා කරන පුරවැසියන් විදිහට. ඒ යෝජනාවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

19 වන සංශෝධනයෙන් අපේක්ෂා කළා හුඟක් කාරණා. මම කලින් කියපු විදිහට එක පුද්ගලයෙක් අත බලය රැඳීම කියන කාරණාව වෙනුවට පාර්ලිමේන්තුවට බලය ස්ථාපිත කිරීම. තනි පුද්ගලයෙක් රට ගැන හැම තීරණයක්ම ගන්නවා වෙනුවට අපේ රටේ හැටියට 225ක් එකතුවෙලා සාකච්ඡා කරලා තීරණ ගන්න එක. ඒක තමයි බහුතර පජාතන්ත්‍රවාදය.

ජනාධිපතිවරයාට තියෙන බලතල. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තියෙන බලතල අවුරුදු හතර හමාරක් යනකල් කරන්න බෑ කියන නීතිය එන්නෙ 19 වැනි සංශෝධනය හරහා. ඒ නීතිය ආවේ නැත්නම්, ජනාධිපතිවරයා දින 52 නීතිය කඩ කරපු වෙලාවේ මේ රට සම්පූර්ණ ආරවුල් ජලාවක් බවට පත් වෙනවා. අර අරාජික නොවුනෙ. අවුල්ජාලාවක් බවට පත් නොවුනෙ 19 වන සංශෝධනය නිසා. ඒක ඉතාම පැහැදිලියි.   

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *