“පිස්සු කෙලින්න හදන්න එපා ” : ජේෂ්ට ආර්ථික විශේෂඥයන්ගෙන් මුදල් ඇමතිට අවවාද
මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ දිනවල කියන ඇතැම් දේ ආර්ථික යථාර්ථයට නොගැලපෙන බවත් ඒ කියන දේවල් කළොත් රට කබලෙන් ලිපට වැටෙන බවත් පිළිගත් ජේෂ්ට ආර්ථික විශේෂඥයෝ කියති . ප්‍රදාන වශයෙන් මෙම විවේචනය එල්ල වී තිබෙන්නේ ආර්ථිකය ශක්තිමත් බව කියමින් පොලි අනුපාත අඩු කරන ලෙස මුදල් ඇමතිවරයා මහ බැංකුවට බලකිරීම සම්බන්දයෙනි .
මේ සම්බන්දයෙන් ෆිනන්සියෙල් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිවු ඒ විජේවර්දන මහතා කියා ඇත්තේ එය කළහැකි ආර්ථික තත්ත්වයක් දැන් අසලක වත් නැති බවයි .මේ මොහොතේ පොලි අඩු කළහොත් එය සමනවන්නේ දැනටමත් සීනි වැඩිවී සිටින දියවැඩියා රෝගියකුට සීනි එන්නතක් ලබාදීමට බව ඒ මහතා ප්‍රකාශ කොට තිබිණි .මහ බැංකුව බැංකු පොලිය අඩු කළ යුතු බවට මුදල් ඇමතිවරයා කළ ප්‍රකාශය බරපතළ වරදක් බව විජේවර්දන මහතා කියයි . ඔහු කියන්නේ මුදල් ඇමතිවරයා මහ බැංකුවේ ස්වාධීනත්වයට ඇගිලි ගසමින් සිටින බවයි .
රජය මගින් පවත්වාගෙන යන ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති ආචාර්ය සමන් කැලේගම මහතාද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කොට ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය යටතේ බැංකු පොලි තවත් වැඩිකළ යුතු බව තමන්ගේ අදහස බවයි .එසේ නොකළහොත් රුපියලේ අගය තවත් පහත වැටෙන බව ආචාර්ය කැලේගම මහතා කියයි .
කෙසේ වෙතත් බැංකු පොලි අඩු කළ යුතුය යන දැඩි මතයක මුදල් ඇමැති වරයා සිටින බව දැනගන්නට ඇත. පසුගියදා එතුමා ප්‍රකාශ කළේ මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 6.5 ඉක්මවා යනු ඇති බවයි .එමෙන්ම රුපියලේ අගය ඩොලරයට රුපියල් 130 මට්ටමට ඉහළට ගෙන ඒමට හැකිවන බවද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කොට තිබිණි .වෙනත් ආර්ථික විශේෂඥයන් මෙම සංඛ්‍යා සමග එකග නොවන බව පෙනෙන්නට ඇත .
