ජාතික සමගියට දොර ඇරී තිබේ – අනුර සූරියබණ්ඩාර

මෙවර වෙසක් පුන් පොහොය දිනය මෙරට බෞද්ධයනට පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකාවාසි බෞද්ධ කිතුණු ඉස්ලාම් සියලු ජනතාවට මහත් වැදගත් කමක් ඉසිලු බව පෙනෙන්නට තිබේ . එය සැලකිය හැක්කේ ඛේදවාචකයට පසුව ඇරුණු රන් දොරක් වශයෙනි . හේතුව බෞද්ධ ජනතාවට අමතරව මෙවර වෙසක් උත්සවය සැමරීම සදහා කිතුනු ඉස්ලාම් ජනතාවද එක්ව සිටිනු දකින්නට ලැබුණු බැවිනි. ධර්මය ශ්‍රවණය කරන්නට පන්සල් වලට එක්වී සිටි ඉස්ලාම් ආගමික ජනතාව මෙන්ම මල් වට්ටි රැගෙන විහාරස්තානවලට මුස්ලිම් කාන්තාවන් ගොස් තිබුණු ආකාරයද විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බෙදා හදාගෙන තිබෙනු දක්නා ලදී. එසේ ඒවා බෙදා ගැනීම තුලින් ඒ අය නිහඩ බැවින් ප්‍රකාශ කලේ එවැනි ආගමික සමගියක් ඔවුන් ජනතාවගෙන් අපේක්ෂා කරන බවයි.

වෙනදා වෙසක් මංගල්‍යය සදහා වෙසක් පහන් , පහන් කුඩු, වෙසක් සැරසිලි ආදියෙන් බෞද්ධ විහාරස්ථාන ,බෞද්ධ නිවෙස් ,වෙළදසැල් ආදිය පමණක් වුව මෙවර කිතුනු දෙවස්තානයන්හි පවා වෙසක් කූඩු වෙසක් සැරසිලි දක්නට ලැබුණි. බෞද්ධ ඉස්ලාම්, කිතුනු බැතිමතුන් එක්ව සංවිධානය කෙරුණු දන්සල්ද එකදෙකක් හෝ පැවැත්විනි. එසේ සිදුවුයේ බෞද්ධයන් විසින් මෙවර දන්සල් සංවිධානය කිරීම අතහැර දමා තිබුණු වටපිටාවක වීම තවත් විශේෂත්වයක් වේ.

වෙසක් සැමරීමට බෞද්ධ ජනතාව සමග එක්වීම මගින් ඉස්ලාම් සහ කිතුනු ජනතාව ප්‍රකාශ කර ඇත්තේ ආගමික සහජීවනය සදහා ඔවුන්ගේ ඇති නැමියාවය.  විශේෂයෙන්ම සිංහල බෞද්ධ යැයි කියාගන්නා කල්ලි කණ්ඩායම් කිහිපයක් හලාවත, කුලියාපිටිය ,බිංගිරිය පඩුවස්නුවර ආදී ප්‍රදේශවල අහිංසක මුස්ලිම් ජනතාවගේ ජිවිත සහ දේපල ඉලක්ක කරමින් ජනතාවගේ ජිවිත සහ දේපල ඉලක්ක කරගනිමින් දරුණු විනාශයක් සිදුකර තිබියදීත් මුස්ලිම් ජනතාව වෙසක් උත්සවය සැමරීම සදහා බෞද්ධයන් සමග අත්වැල් බද ගැනීම පිළිබද මෙරට බෞද්ධයන්ගේ පමණක් නොව අනෙකුත් ආගමික ජනතාවගේද අවධානය යොමු විය යුතුය .ඒ හරහා මෙරට මුස්ලිම් ජනතාව පෙන්වාදී ඇත්තේ අප්‍රේල් 21 ප්‍රහාරය තමන් විසින් අනුමත කරන්නට නොයෙදෙන බවය ,අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිසගේ ඉලක්කය සහ වුවමනාව කවරාකාරවුවද සමස්ත මුස්ලිම් ප්‍රජාව ඒ අරමුණු සමග එක් නොවන බවත් ඔවුන් ඒ ප්‍රහාර අනුමත නොකරන බවත් වෙසක් සැමරුමට එක්වීම හරහා මුස්ලිම් ජනතාව පෙන්වාදී තිබේ. කතෝලික ජනතාවගේ පාර්ශවයෙන්ද මුලින් කි එලබුම ප්‍රකාශමාන වීම ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් කර ගැනීම සදහා උපයෝගී කරගතහැකි කදිම මෙවලමක් බව ජනතාවත් සිවිල් සංවිධානත් ආණ්ඩුවත් අවබෝධ කරගන්නේ නම් රටේ අනාගතය ඒ තරම් කනගාටුදායක නොවනු ඇත.

සුනාමි ඛේදවාචකය හරහාද ජාතික සමගිය උදෙසා  යොදාගත හැකි මෙවැනි වටපිටාවක් සැකසුනු  නමුත් ඉන් ප්‍රයෝජන ගැනීමට තරමට ලාංකීය සමාජය බුද්ධිමත් වුයේ නැත. එසේම සුනාමිය විසින් ඇතිකළ වාසි දායක  තත්ත්වයෙන්  ප්‍රයෝජන ගන්නට එකල පැවති ආණ්ඩුව දක්ෂ වූයේ ද නැත. එකල විරුද්ධ පක්ෂය ද සුනාමි සහන මණ්ඩලය ආදී යාන්ත්‍රණයන්ට කොන්දේසි සහිතව හෝ සහාය දෙනු වෙනුවට කොන්දේසි විරහිතව අවි එසවිම  ඉහත කී කණගාටුදායක තත්වය උදාවීමට බලපෑ තවත් හේතුවකි.

මෙවර වෙසක් උත්සවය සමග ඇති වී තිබෙන තත්ත්වය, ජාතික ආගමික සමගිය තහවුරු කරගැනීම සඳහා යොදා ගැනීම කාගේත්  වගකීම්ක් වශයෙන් පවතී. එකී  කටයුත්තේ දී මෙරට භික්ෂු සංස්ථාවටත් බෞද්ධ ජනතාවටත් විශේෂ වගකීමක් පැවරේ. එනම් කිතුනු ඉස්ලාම් ප්‍රජාව  විසින් මෙවර වෙසක් උත්සවයේදී නිකුත් කර ඇති සංඥාව නිවැරදිව තේරුම් බේරුම් කර ගැනීමය.

කිතුනු සහ ඉස්ලාම් ප්‍රජාව විසින් බෞද්ධ ජනතාව වෙත සහෝදරත්වයේත්  සහජීවනයේත්  දෑත්  මෙවර වෙසක් දිනයේ දී දිගු  කර තිබේ. එහෙත් බෞද්ධයන් විසින් එම දෑත් දිගු කිරීම බෞද්ධ  බහුතරයේ  අධිපති බව පිළිගැනීමට ඉස්ලාම් සහ කිතුණු ජනතාව දැක්වූ සූදානමක් වශයෙන් වරදවා වටහා ගන්නේනම් නැවතත් රට අප්‍රේල් 21 ට පෙර පැවති  තත්ත්වයට හෝ ඊටත් වඩා බරපතළ තැනකට ඇද දැමීමට හේතු වනු නොවනුමානය. ඉස්ලාම්වරු සහ කිතුනුවන් වෙසක් සමරන්නට එකතුවීම ඔවුන්  බෞද්ධ බලයට අනුගත වීමක්, යටත් වීමක් හෝ වහල් වීමක් ලෙස බෞද්ධයන් සිතා ගත හොත් ඉන් සිදුවන්නේ  වරදකි.

මෙරට බෞද්ධ ජනතාව ආගමික වශයෙන් සමරන මූලික උත්සව තුන වන්නේ වෙසක් පොසොන් සහ ඇසළ උත්සව තුනය.  කිතුනුවන් සඳහා නත්තල් උත්සවය තිබේ .ඉස්ලාම්  ආගමිකයන්ගේ ද රාම්සාන් ආදී උත්සව ඇත. දැන් බෞද්ධයන් කළ යුතුව ඇත්තේ ඔවුන්ගේ ම ආගමික සංස්කෘතික අවස්ථාවන්වලදී ඔවුන් සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීම ය. සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ද ජාතික  සංස්කෘතික සහජීවනය සඳහා යොදාගත් හැකි තවත් එක් අවස්ථාවකි. රාජ්‍ය අනුග්‍රහය ඇතිව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන  ආදිය මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන අලුත් අවුරුදු උත්සවලදී දෙමළ සිංහල මුස්ලිම් සියලු ජනතාව ඒවාට සහභාගි කර ගැනීමට අදාළ ආයතන අවධානය යොමු කිරීම වටී. දෙමළ ජනතාවගේ තෛපොංගල් වැනි උත්සව ද එකී කරුණු සඳහා උප උපයෝගී කර ගත හැකිය.

මංගල සමරවීර මහතාගේ  මූලිකත්වයෙන් පසුගියදා මාතර දී ආරම්භ කෙරුණු සර්ව ආගමික කමිටු  වැඩපිළිවෙළ ද එම ජාතික ආගමික  සමගිය සඳහා  උපයෝගී කරගත් හැකි ඉතා හොඳ යාන්ත්‍රණයකි. ගැටලුව වන්නේ එම වැඩසටහනේ  වටිනාකම් මෙරට  දේශපාලනය විසින් සහ ජනමාධ්‍ය විසින්  නිවැරැදිව හඳුනා නොගැනීම ය. මෙරට විවිධ ආගමික ජන කොටස් අතර පවතින අන්‍යෝන්‍ය අනුව අනවබෝධය සහ සැකය  දුරුකිරීමට සර්වාගමික කමිටු ඉතා වැදගත් යාන්ත්‍රණයකි. විවිධ ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීමට සර්වාගමික කමිටු වැනි  වැඩසටහනක් ඉතා හොඳින් උපයෝගී කරගත  හැකිය. පාස්කු දා  ත්‍රස්ත ප්‍රහාරය වැනි දේ වළක්වා ගැනීමට ද එවැන්නක්  උපයෝගී කරගත හැකි වේ.

සර්වාගමික කමිටු හරහා ආගමික සාමය දිනාගත් රටක් ලෙස සිංගප්පූරුව හඳුන්වා දෙන්නට පුළුවන. එම  වැඩසටහන එරට  සංස්කෘතික  අමාත්‍යාංශයේේ පවා අනුග්‍රහය ඇතිව රජයේ අනුදැනුම සහ මඟගපෙන්වීම අනුව සිදුවේ.  එරට ජනතාවගේ අදහස වන්නේ ආගමික විවිධත්වය ඉවසීමට ඔවුනට  සර්වාගමික  කමිටු හරහා හුරු වූ  බවයි . නිදසුනක් වශයෙන් එරට ජනතාව කියන්නේ හින්දු  සිද්ධස්ථානවල ඝන්ඨාර ගැසීම හඳුන්කූරු දැල්වීම ආදිය අන්‍යාගමිකයන්ට මුලදී ඉවසිය  නොහැකිව තිබූ නමුත් සර්වාගමික කමිටු හේතුවෙන් ඒවා ඉවසීමට හැකි අවබෝධය වෙනත් ආගමික ජනතාවට ලැබුණු බවයි.  ඉස්ලාම් දේවස්ථාන වලට ඇතුළුවීමේදී පාවහන් ගැලවිය යුතු වීම මුලදී  විකාරයක් සහ අපහසු කටයුත්තක් ලෙස වෙනත් ආගමික ජනතාවට සිතුනද දැන් ඔවුන්ට එසේ නොසිතෙන බවත් දැන් සර්වාගමික කමිටු රැස්වීම් ඉස්ලාම්  දේවස්ථාන වල ද පැවැත්වෙන අතර ඒවාට  සහභාගි වීමට යාමේදී පාවහන් ගැලවීම තමන්ට  තවදුරටත් ගැටලුවක් නොවන බවත් ජනතාව පෙන්වා දෙති.

එවැනි  ආගමික සංහිඳියාවකට යාමට මෙවර වෙසක් උත්සවයත්  පාස්කු ඉරිදා ප්‍රහාරයත්  හේතුවෙන් මෙරට ජනතාවට ද අත්වී තිබේ.  එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙතෙක් අප අතින් ගිලිහී තිබුණු ශ්‍රී ලාංකේය ජාතිකත්වය ගොඩනඟා ගැනීම දෙසට වේගවත්ව පියවර ගැනීම රජයේත්  ජනතාවගේ වගකීම බව සිහියේ තබාගත යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *