කඩු ආවේ අලුත්ගම , බේරුවල , දිගන සිදුවීම් නිසා ; අපිත් කඩු ගත්ත ජාතියක් – හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක
“ඇයි මේ කඩු ආවේ? ඒ ගැනත් හොයලා බලන්න ඕනැ. 2014 අලුත්ගම සිද්ධියක් තියනවා. බේරුවල සිද්ධියක් තියනවා. අපට දිගන සිද්ධියක් තියෙනව. දැන් අපිට සිද්ධියක් තියෙනවා. නමුත් මම කියන්නේ, ඒකත් එක්තරා හේතුවක් ආත්මආරක්ෂාව කියන එකත්. ඒ වගේම හේතුවක් තමයි තනකොළ කපන එකත්.” යයි හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පුවත්පත් සාකච්චාවකදී ප්‍රකාශ කළේය .
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය . “මම දැන් භට පිරිස් සෑහෙන ප්‍රමාණයක් මේ භූමියෙ රදවලා තියෙනවනෙ. ඒ කෙනෙක් වෙඩි තියලා මොකක් හරි වුණොත් මගෙ අණක්නේ ඒක. මට කියන්න බැහැනේ මේ මිනිහා නිකම් වෙඩි තිබ්බා කියලා. ඒ වගකීම මම කියනවා. ඒ වගකීම මම කියලා මිනිසුන්ව අත්අඩංගුවට ගන්නවා මේ වෙලාවේ. ඒ අත්අඩංගුවට ගැනීම්වලට මමයි අත්සන් කරන්නේ. තව අවුරුදු දෙහකට පස්සේ, දහයකට පහළොවකට පස්සේ කොප්රල් කෙනෙකුට හිරේ යන්න වෙන්නෙ නෑ. හිරේ යන්නේ මමයි. මම ඒකට ලෑස්තියි.”
අපි තේරුම් ගන්න ඕනේ මේ සතුරා, භූමියක් සඳහා සටන් කරන්නේ නැහැ. මේක මූලධර්මවාදී සතුරෙක්. මේක ඔළුවක් සමඟ සටනක් තියෙන්නේ. අපි ඒක වෙනස් කරන්න වෙනත් බෙහෙතක් දෙන්නට ඕනැ. මේ කෙටි කාලීනව නොව දිගුකාලීනව කළ යුත්තක්. ඔයගොල්ල හැමදාම මේ ප්රශ්නය අහන්නේ හමුදාවෙන්මයි. මේකට සම්පූර්ණ උත්තරේ හමුදාවේ නැහැ. මේක ජාතික සැලැස්මක් තුළ සිදුවිය යුත්තක්.
අපේ රටට මුදල් එනවා නම් ඒ එන මුදල සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් හරි කොහෙන් හරි මේක මොනිටර් වෙන්න ඕනැ. මේ එන මුදල මොකක්ද? කරන්නේ මොකක්ද? යන්නේ මොකක්ද? කවුද පාවිච්චි කරන්නේ? මම හිතන්නේ ඔය ගොල්ල දන්නවා මටත් වඩා, රුපියල් ලක්ෂක් අරන් බැංකුවට ගිහිල්ලා දාන්න ගියහම ඔබෙන් අහනවා ලක්ෂය හම්බවුනේ කොහෙන්ද කියලා. කෝටි ගණන් ආවාම අහන්නේ නැත්නම්, මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕනැ. ඒක හමුදාපතිගේ විසඳුමක් නෙමේ.
ඊළඟට මේ රටේ අපි දැක්කා අටසීයක් පමණ ටීචර්ස්ලා, එවැනි දේශකයො ඇවිල්ලා මේ රටේ ගතකරලා තියෙනව. ඒ වගේම වීසා අහවර වෙච්ච බරපතළ සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවා. ඒක යුදහමුදාපති ද කරන්න ඕනෑ. ආගමන සහ විගමන දෙපාර්ත මේන්තුව. එහෙම නම්, නැව් එනවලු. බෝට්ටු එනවලු. කන්ටේනර් පිටින් බඩු එනවලු ඒක කවුද කරන්න ඕනැ, කස්ටම් එක. යුද හමුදාපති නෙමේ.
ඇයි මේ කඩු ආවේ? ඒ ගැනත් හොයලා බලන්න ඕනැ. 2014 අලුත්ගම සිද්ධියක් තියනවා. බේරුවල සිද්ධියක් තියනවා. අපට දිගන සිද්ධියක් තියෙනව. දැන් අපිට සිද්ධියක් තියෙනවා. නමුත් මම කියන්නේ, ඒකත් එක්තරා හේතුවක් ආත්මආරක්ෂාව කියන එකත්. ඒ වගේම හේතුවක් තමයි තනකොළ කපන එකත්. මගෙ ගෙදරම කඩු පහක්ද කොහෙද තියෙනව. මගෙ නම සේනානායක. පරම්පරාගතව කඩු තිබිලා තියෙනව. මම මේ විහිළුවට කිව්වට ඇත්තටම තියෙනව. අපි කඩු ගත්ත ජාතියක්. විජය කුමාරයා එනකොටත් කඩුවක් අරන් ඇවිත් තියෙනවා. එදා ඉඳන්ම කඩු තිබිලා තියෙනවා.
මාධ්‍යය – විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණා රිෂාද් බද්දියූදීන් අමාත්‍යවරයාට එරෙහිව. එකේ පළවෙනි කාරණයෙම ඔබ තුමාගේ නම සඳහන් කරලා තියෙනවා. ඒකයි මේ ප්රශ්නය යොමු කරන්නේ, 15 වෙනිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත සැකකරුවන් නිදහස් කරන්න කියලා, ඔබතුමාට බලපෑම් කිරීම සම්බන්ධව ඔබතුමා පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධව ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? ඔබතුමාට එහෙම බලපැමක් එල්ල වෙලා තියෙනවද?
හමුදාපති – බලපෑමකට වඩා මම කැමතියි කියන්න ඉල්ලීමක් කළා කියලා. යම්කිසි පුද්ගයෙක් අත්අඩංගුවට ගත්තට පස්සෙ, ඔය කියන්නා වූ ඇමතිවරයා මට කතා කළා දුරකථනයෙන්. කතා කරලා ඇහුවට පස්සේ මම ඔහුට පිළිතුරු දෙකක් දුන්නා. ඒ පිළිතුර ගැන තමයි යම්කිසි මාධ්‍යයක සඳහන් කරලා තියෙන්නේ මට බලපෑමක් කළා කියලා. ඒක අර්ථකථනය කරන්න පුළුවන් මට බලපෑමක් හෝ ඉල්ලීමක් හැටියට. යුද හමුදාපති හැටියට මගෙන් කළේ ඉල්ලීමක්. පළවෙනි ප්‍රශ්නෙදි මම කිව්වේ හොයලා බලලා කියන්නම් කියලා. ඒ නම කිව්වට පස්සේ. දෙවෙනි ප්‍රශ්නෙදි මම හොයලා බලලා තිබුණේ නැහැ. තුන්වෙනි පාර මම කිව්වා, එහෙම පුද්ගලයෙක් ඉන්නවා. මේ කොල් එක මට අවුරුදු එකහමාරකට පස්සේ දෙන්න කියලා.
මාධ්‍ය – යෝජනා කරපු පුද්ගලයාගෙ නම අපිට කියන්න පුළුවන්ද? ඇරස් කරපු පුද්ගලයාගේ.
හමුදාපති – ඔක්කොම මොහොමඩ්ලා හිටියේ ඒකෙ. විහිළුවට කිව්වට ඇත්තටම ඒවගේ නම් කියන්නේ. ඇත්තටම ඒ වගේ නම් තියෙන්නේ මට වෙලාවක් ගියා මේක හොයාගන්න. මම හොයලා නම කියන්නම්. කොහොමහරි දෙහිවලින් අත්අඩංගුවට අරන්තියෙන්නේ. දෙහිවලින් අත්අඩංගුවට ගත්ත නිසා මගෙන් ඇහැව්වේ.
මාධ්‍ය – ඔබතුමා කිව්වා ඉල්ලීමක් කළා කියලා. එම ඉල්ලීම මොකක්ද කියලයි අපි ඇහැව්වේ.
හමුදාපති – ඉල්ලීම කියන්නේ, එතුමා මට කිව්වේ පැහැදිලිවම කිව්වේ, මේ කියන පුද්ගලයාගේ තාත්තා මෙයා. මෙයාගේ මෙයා මෙයා බලාගන්න. මොකද කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් කිව්වට පස්සේ මම කිව්වා අවුරුදු එක හමාරකට පස්සේ මට කතාකරන්න කියලා. අවුරුදු එකහමාරක් කියන්නේ මට නීතියෙන් බලයක් තියෙනවා අවුරුදු එක හමාරක් එයාව සිරගත කරන්න.
මාධ්‍ය – ඒ වගේම තමයි ඔබතුමාලා කරන පරීක්ෂ සම්බන්ධයෙන්, ඔබතුමාලා හොයාගන්න දේවල් සම්බන්ධයෙන් අපිට මාධ්‍යට වාරණය ඉදිරිපත් වෙලා තියෙනවා මේ දේවල් පෙන්නන්න එපා කියලා.
හමුදාපති – මම ඉල්ලීමක් කරනවා. මේක මාධ්‍ය වාරණයක් නෙමෙයි. රඟපෑම නවත්වන්න කියලයි මම කිව්වේ. මේ රට අවුරුදු තිහක් යුද්ද කරපු රටක්. මේ රට අවුරුදු දහස් කණනක් කඩු හරඹයේ යෙදුණු රටක්. මේ රට අංගම්පොරවල යෙදුණු රටක්. මම කනගාටුවෙනවා මේ රට, තුවක්කුවක්, බොර 12 තුවක්කුවක්, බෝර 16 තුවක්කුවක්, එයාර් රයිපල් එකක් දැකලා කලබලයට පත්වෙනවා නම්. මමයි ලිව්වේ. හමුදාපති හැටියට මමයි ලිව්වේ. මම ලියලා තියෙන්නේ මාධ්‍ය වාරණය කරන්න කියලා නෙමෙයි, රඟපෑම නවත්වන්න කියලා. කතා කරන වචන වලින් කිව්වේ, රඟපෑම කියලා අදහස් කරන්නේ, මම දවසක් දකිනවා එක මාධ්‍යයක, පාරේ වැටිලා තිබිලා බෝර 12 පතුරමක් හම්බ වෙනවා. නිල ඇඳුම් ඇඳගත්ත තුන්දෙනෙක් ඒක පෙන්වන විදිහ දැක්කම, විනාඩි ගණනක් රූපවාහිනියේ ඒක පෙන්නුවා. හරියට නිකම් ආර්.පී.ජී. 10ක් හොයාගත්තා වගේ. ඒ පතුරමක් හොයාගත්ත ඒක. ඒ වගේ පතුරම් දෙහිඅත්තකණ්ඩිය පැත්තේ මහ මූකලානේ ගමන් කළාමත් වැද්දන් අතින් පාර අයිනෙ වැටිලා තියෙනවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ. ඒ වගේ තමයි මම දැක්කේ ෂොට් ගන්න 15ක් හොයාගත්තම, එයාර් රයිපල් 3ක් හොයාගත්තාම, ෂොට් ගන් එකක් හොයාගත්තාම ඒවා මේස උඩ තියලා අහක්වෙලා, විනාඩි ගණනක් පහළොස් දෙනෙක් විතර නිල ඇඳුම් ඇඳගත්ත අය පහළොස් දෙනෙක් විතර වටවෙලා ඕක පෙන්නුම් කරනවා හැමවෙලාවෙම. මේවා හැමදාම හම්බ වෙනවා. හෙටත් හම්බ වෙයි. මේ වෙලාවේ වැටලීම් කරන්නේ මුස්ලිම් අයගේ ප්‍රදේශ. මම දකිනවා දන්නවා, සිංහල අයගෙත් දෙමළ අයගෙත් වැටලීම් කළොත් මීටත් වඩා දේවල් තියෙයි. ඒකයි මම එහෙම කිව්වේ. මම ඉල්ලුවේ වාරණයක් නෙමෙයි රඟපැම නවත්වන්න කියලා.
