සංස්කෘතියක් රකින්න බලමණ්ඩල බිහිවෙන්නෙම තවත් ආගමකට සංස්කෘතියකට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරවන්න බව අපි අත්දැකීමෙන් දන්නව – සිනමාවේදී අශෝක හඳගම

“සංස්කෘතියක් රකින්න බලමණ්ඩල බිහිවෙන්නෙම තවත් ආගමකට සංස්කෘතියකට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරවන්න බව අපි අත්දැකීමෙන් දන්නව”  යයි සිනමාවේදී අශෝක හඳගම මහතා ප්‍රකාශ කළේය .

හඳගම මහතා එසේ ප්‍රකාශකළේ අනිද්දා පුවත්පතට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ය. අනිද්දා කර්තෘ ජනරන්ජන, ආචාර්ය ජයදේව උයන්ගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ. සුමන්තිරන් ඇතුළු තවත් විද්වතුන් කීපපොළක් කතාකළ අතර උත්සව සභාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක කරූ ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් හා මාධ්‍යෙව්දීන්, විද්වතුන්, අනිද්දා පාඨකයන් රැසක්ද සහභාගීවී සිටියහ.

රජයක් විසින් ක්‍රියාත්මක වන සංස්කෘතික ප්‍රතිපත්තියක් කියන්නෙම බොහෝ දුරට කළ යුත්තට වඩා නොකළ යුත්ත ගැන සැලකිලිමත් වෙන එකක්. ඒ නිසා රජයේ සංස්කෘතික ප්‍රතිපත්තියක් නිදහස වෙනුවට බොහෝ දුරට ක්‍රියාත්මක කරන්නේ තහනමක්.

අපි දන්නවා 2015 මේ ආණ්ඩුව බලයට ගේන්න උරදුන්න පිරිසගෙ ප්‍රධාන උවමනාවක් තිබුණා. ඒ තමයි ඒ වනවිටත් හිස ඔසවමිත් තිබුණු ආගමික හා සංස්කෘතික ත්‍රස්තවාදය මඬින්න ආණ්ඩුව පියවර ගනියි කියන ඒ බලාපොරොත්තුව. විශේෂයෙන්ම ආගමික උමතුවක් පවතින මේ වගේ කාලෙක. ත්‍රස්තවාදීන් ගේ බිහිසුණු ක්‍රියාවකින් අපේ හදවත් තවමත් කම්පාවෙන මොහොතක.

ප්‍රකාශන අයි‍තියේ සීමා මායිම් සලකුණු කරන්නට මේ ආණ්ඩුවට හා ත්‍රස්තවාදයට යහපාලන ආණ්ඩුව යටතේ ඉඩ ලැබෙන එකක් නැහැ කියන බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවටත් කන කොකා හඬන සිද්ධීන් කීපයක් පසුගිය මාසයක කාලයක් තිස්සේ වුණත් පාස්කු ඉරිදා බොම්බ රැල්ලේ ඛේදවාචකයත් එක්ක ඒවා අමතකවෙලා ගියා. එහෙම අමතක කළ යුතු සිද්ධි දෙකක් නොවන නිසා, මම කැමතියි ඒ සිදුවීම් දෙක මතක් කරන්න.

පළවෙනි එක තමයි සත්තික සත්කුමාර කතාවස්තුව. සත්තික සත්කුමාර ‍කියල කෙටිකතාකරුවෙක් අත්අඩංගුවෙ පසුවෙනව. ඔහු අත්අඩංගුවට ගෙන ති‍බෙන්නේ 2008 හඳුන්වාදෙන ලද අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ.  මේක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අයිතිවාසිකම් පනතේ සීමිත ප්‍රතිපාදන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පනතක් රජය බලාත්මක කෙරුවා. මේ පනත යටතේ, වෙනස් ලෙස සැලකීම, එදිරිවාදිත්වය හා ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නා වූ ජාතික ආගමික හෝ වාර්ගිකව පක්ෂව කටයුතු කිරීම නීතිවිරෝධියි කියලා සැලකෙනවා. ආගම පිළිබඳව සැලකෙන්නේ තමන් විශ්වාස කරන ආගමක් ඇදහීමට ඇති අයිතිය ගැන මිසක් කෙනෙක්ගේ නිර්මාණත්මක අයිතිය නිදහස අවලංඟු කරන්නට නෙවෙයි.

සත්කුමාර කියන්නේ නවපරපුරේ කෙටිකතා කරුවෙක්. ඔහු රාජ්‍ය සම්මාන පවා ලබාගෙන තියෙනවා තමන්ගේ නිර්මාණ වෙනුවෙන්. සමාජ ජාලා ප්‍රකාශනයක් ලෙස තමයි ඔහු මේ චෝදනාවට ලක්වෙච්ච කෙටිකතාව පළ කරල තිබ්බෙ. ඒක ඉලක්ක කරගෙන අන්තවාදී භික්ෂු කණ්ඩායමක් ඉහත එෆ්.බී.ජී.ආර්. පනත යටතේ පොලීසියට පැමිණිල්ලක් කළා. මේක මුල්කරගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ කරුණ මුල් කරගෙන රිමාන්ඩ් කළා.

කෙටිකතාවක් ලිව්ව වරදට මේ කෙටිකතා කරුවා සිංහල අවුරුද්ද ගෙව්වේ රිමාන්ඩ් එකේ. තවමත් ඔහු ඉන්නේ බන්ධනාගාරයේ. මේ ප්‍රකාශය ප්‍රචණ්ඩත්වයට පො‍ළඹවන ජාතික ආගමික වාර්ගික පෙළඹීමකට ‍හේතුවුණා නම්, සමාජ කැළඹීම් මේ වෙනකොට ඇති වෙන්න ඕනැ. එහෙම කිසිදෙයක් ඇති වුණේ නැහැ.

එවැනි තත්ත්වයක් යටතේ භික්ෂු කණ්ඩායම්, මේ පනත යටතේ පැමිණිල්ලක් කරනකොට පළමුව නීතිය දන්නා පොලීසියට ඔවුන්ට කියන්න තිබුණා මේ පනත යටතේ මේ පැමිණිල්ල කරන්න එපාය කියල. පොලීසිය එහෙම කළේ නැහැ. එහෙම නොකර පැමිණිල්ල බාරගත්තා නම්, ඒ පැමිණිල්ල පදනම් කරගෙන උසාවියට තොරතුරු වාර්තා කර‍නකොට ඒ බව උසාවියට කියන්න තිබුණා. ඒක උනෙත් නෑ. අවසානයේ දී ඒ බව දන්නා මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියේ මහත්වරුන්ට පෙන්වා දිය යුතුව තිබුණා. ඒක උනෙත් නෑ. මේ කිසිවක් නොවී සත්කුමාරව රිමාන්කරලා තියෙනව.

මම මේ කතාව දැක්කෙ සමාජ ජාලා ඔස්සේ විෂබීජයක් වගේ මේ කතාව සංසරණය වෙනකොට. එහෙම සංසරණය වෙද්දිවත් කිසිම කැළඹිල්ලක් මේක නිසා තවම ඇතිවෙලා නෑ. මේ පැමිණිල්ල කරලා තියෙන්නේ සිංහල ජාතිය රකින්නට අටවාගත් සංවිධාන දෙකක්. මේ සංවිධානය කරන්න මේ සංවිධානයටත් නිල බලයක් හම්බවලා තියෙනව.

සංස්කෘතියක් රකින්න බලමණ්ඩල බිහිවෙන්නෙම තවත් ආගමකට සංස්කෘතියකට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරවන්න බව අපි අත්දැකීමෙන් දන්නව. නිර්මාණයක් සම්බන්ධයෙන් මෙවැනි අහේතුක පැමිණිල්ලක් කරන්න භික්ෂූන් කණ්ඩාමකට ශක්තිය එන්නේ කොහෙන්ද? මේ සිද්ධියට ටික දිනකට පස්සේ අධිකරණ ඇමතිණිය ප්‍රකාශයක් කරනවා, මොනම හේතුවක් නිසාවත් භික්ෂූන් අපරාධ නීතිය යටතේ අධිකරණයට ගෙන එන්නේ නැහැ කියල. මේක භික්ෂුවකට අපරාධ කරන්න දුන්න බලපත්ත්‍රයක් විදිහට තේරුම් ගන්න තමයි අපට සිද්ධ වෙන්නෙ.

දෙවෙනි ආසන්න සිද්ධිය තමයි, රූපවාහිනී රියැලිටි වැඩසටහනක් රූ ගත කරන්න ගියා වෙලාවෙ නුවරදි වැරදි තොරතුරක් පදනම් කරගෙන රූ ගත කිරීම සඳහා‍ ජාතික රූපවාහිනී සංස්ථාවෙන් ලබා දීපු අවසරය අවලංගු කිරීම. ඒ අවලංගු කිරීම සඳහා‍ නියෝගය දීලා තිබුණෙ ජාතික චිත්‍රපට සංස්ථාව බාර, සංස්කෘතික කටයුතු බාර ඇමතිවරයා විසින්. ඒකට මුල් වුණේ ඒකට මුල් වුණේ උඩරට මුල් ඇඳුම් ඇඳගෙන සමලිංගික විවාහ මංගල්‍යයක් රූ ගතකරන බවට පලවුණු මාධ්‍ය වාර්තාව. මේ මාධ්‍යවාර්තාවේ සත්‍ය අසත්‍යබව විමසන්නටවත්, සංස්කෘතික ඇමතිතුමාට ඉවසිල්ලක් තිබුණෙ නැහැ.

ජාතික සිනමා දිනය නම් කරනවෙලාවෙදි සංස්කෘතික ඇමතිතුමා කිව්වා මම කොන්ද පණ තියෙන සංස්කෘතික ඇමතිවරයෙක් කියල. මේ තහනම දන්නවලා චිත්‍රපට කණ්ඩායමට ඉංග්‍රිසියෙන් ලියල තිබ්බේ, ‘සංස්කෘතියට හානි කිරීම කියලා’ ඉහත දේ කිරීමෙන් හානි පැමිණෙන්නේ මොන සංස්කෘතියටද? විදේශිකයෙකුට උඩරට ඇඳුමක් අඳින්න බෑ කියලා කොහෙද තියෙන්නේ තහනමක්. තිබුණා වුණත් අපි ඒක රකින්න ඕනැද? ඕක තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්නය.

මේ සිදුවීම් දෙකටම පැහැදිලි එක සත්‍යයක් තියෙනව. අපි එකිනෙකා සංස්කෘතිය හැටියට තේරුම් ගන්න යමක් තියෙනව, අපි හිතන පතන හා ජීවත් වෙන විදිහ අපිට ඕන විදිහට අර්ථ නිරූපණය කෙරුවට පස්සේ ඒක රකින්න ස්වේච්චාවෙන් තමන්ට බලය පවරාගත්තු ඇමතිලා ඇතුළු විවිධ කණ්ඩායම් ඕන තරම් ඉන්නවා. නුවර සිද්ධියට මුල්වෙලා තියෙන්නේ මහසොහොන් බලකාය කියල එකක්. යක්ෂ කණ්ඩායමක්.

මේ උඩරට සම්ප්‍රදාය කියන එකේ පීඩක සම්ප්‍රදායක් තියෙනව. උඩරට ඇඳුම පීඩක ධූරාවලියක නියෝජනයක් කියල මතක නෑ. දියවඩන නිළමේ කෙනෙක් වෙන්න බෑ පහතරට කෙනෙකුට. මම කතාවක් අහලා තියෙනව, පහතරට කෙනෙක් දියවඩන නිළමේ කෙනෙක් වුණ වෙලාවේ ආචාර්ය එන්.එම්. පෙරේරා ගිහිල්ලා සුබපැතුවාලු, මේ තනතුර ලැබුවා කියල. ඒ තනතුර ලබාපු ගෞරවයට නෙමේ මේ තනතුරේ ඊනියා මානය බින්ඳ නිසා.

දළදා මාලිගාව කියන්නේ ආගමික සංකේතයකට වඩා බලය පිළිබඳ සංඛේතයක් පත්තිරිප්පුවට නගින්න බෑ ඊනියා කුලවතෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට. සංස්කෘතික ඇමතිවරයාගේ පියා, ආර්. ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සේ, තමන්ගෙ බිරිඳත් එක්ක ගිහිල්ලා පත්තිරිප්පුවට නැඟලා ජාතිය අමතලා කතා කිරීම, මම හිතන්නේ මේ පීඩක පංතියට විරුද්ධව ගහපු කැරැල්ලක් කියල.

වත්මන් ජනාධිපතිවරයාට බැරිවුණා තමන් කැමති කෙනෙක් කැමති පළාතක ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කරන්න. තමන් ආණ්ඩුකාරයා වශයෙන් නම් කරපු කෙනෙක්ව ඉල්ලා අස්කරගන්න සිද්ධ වුණා. ඒත් කුල ප්‍රශ්නයක් මුල් කරගෙන. මේ ඇමතිතුමා රකින්න හදන්නේ පීඩක කුල සිරිත. කොන්ද පණ තියෙන ඇමති කෙනෙක් නම් කරන්න තියෙන්නේ මේවා කුඩු පට්ටම් කරන එක. ඒ අනුව ගත්තාම මට අනුව නුවර වැව වටා රේස් පැද්ද නාමල් රාජපක්ෂ රැඩිකල් කෙනෙක්.

මුල් ඇඳුම දැන් කුලියට දෙන්න තියෙනව කඩවල්වල. කුල පංතිබේදයක් නැතිව ඕන කෙනෙකුට ඕක සල්ලිවලට අරගෙන අඳින්න පුළුවන්. මේ ඇඳුමට පූජනීය වටිනාකම් දීලා රකින්න හදන උවමනාව මොකක්ද? මේක එ‍න්නෙ කොහෙන්ද? රටක් ආර්ථික සංස්කෘතික දේශපාලන වශයෙන් පෙළඹෙනකොට ඒ නොහැකියාව වසා ගන්න මෙය කරළියට ගේන්නේ.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *