ගෝඨාභිමානයේ පුහු වීරත්වය – අනුර සූරිය බණ්ඩාර
ඇමරිකාවේ දී පවරනු ලැබූ නඩු දෙකක නොතීසිද සාක්කුවේ දමාගෙන ශ්‍රී ලංකාවේත් ඇමරිකාවෙත් ද්විත්ව පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණියේය. ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ඇමරිකාවට යනු ලැබුවේ ලාංකීය වෘත්තීයවේදීන් පිරිස්ක් මුණ ගැසීමට බව කියැවිණ. මෙරටට පැමිණි දා කටුනායක ගුවන් ගුවන් තොටුපළේ සිදු වූ කටයුතු දෙස බැලූ විට පෙනී ගියේ ගෝඨාභය මහතා වීරයෙකු සේ පිළිගන්නට පොහොට්ටු වාදීන් උත්සාහ කළ බවයි. ගෝඨාභය මහතා මෙරටට පැමිණිෙන අවස්ථාව අනුගාමිකයන්ට දැන් ගුවන්තොටුපල ටෙස්ට් නායකයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතෛෂිවන්තයන් දැනුවත්ව කටයුතු කර තිබූ බව පෙනුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීම යනු ඇමරිකානු පුරවැසිකම හෙවත් නො රටක පුරවැසිකම හා ගරු නම්බු සියල්ල අතහැර මව්බිම ආරක්ෂා කිරීමට ආ ගමනක් යයි ජනගත කරන්නට ගෝඨාභයවාදීන් උත්සාහ කර තිබූ ආකාරය සමාජ මාධ්‍ය ජාල හරහා කළ ප්රචාරයේදී දක්නට ලැබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වකැමැත්තෙන් ඇමරිකානු පුරවැසි භාවය ලද්දෙකු බව කවුරුත් දනිති. ඒ මහතා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගනු ලැබුවේ මෙරට දී දේශපාලන වශයෙන් හෝ සමාජ ආගමික වශයෙන් වෙනත් හේතුවක් විසින් බලකරනු ලැබූ නිසා නොවේ.
ඇමරිකානු පුරවැසිභාවය ලබා මෙරට ජීවත් විය නොහැකි කිසිම හේතුවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබුණේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන්නේ නොරටක ගරු බුහුමන් අතහැර දමා යැයි හුවා දක්වන්නට ඔහුගේ අනුගාමිකයන් උත්සාහ දැරුවද, ඔහු එසේ අතැර දැමූ ගරුබුහුමන් මොනවාදැයි පැහැදිලි කරන්නේද නැත.
ඇත්ත වන්නේ එසේ අතහැර එන්නට ගරු බුහුමනක් ගෝඨාභය මහතාට ඇමරිකාවේ ඇත්තේ නැති බවයි.
ගෝඨාභය මහතා යන සුව පහසුව සඳහා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත් එක් පිටරටියෙකු පමණි. ලොව නොයෙක් රටවලින ඇමරිකානු පුරවැසිභාවය පතා එන විදේශිකයන් අතර ගෝඨාභය රාජපක්ෂ මහතා යනු තවත් එක් පුද්ගලයෙකු පමණි. ඔහුගේ සොයුරු මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ ජනාධිපති නොවන්නට ගෝඨාභය කෙනෙකු ගැන ඇමරිකාව තබා ලංකාවේ වත් එසේ කථා කරන්නේ නැත.
ඊළඟ කාරණය ගෝඨාභය මහතා ඇමරිකානු පුරවැසිභාවය අතාරින්නේ මව්බිම සුරැකීමටය යන මතයක් ජනගත කරන්නට ගෝඨාභය හිතවාදීන් දරන උත්සාහයයි. ඒ ගැන ද කෙටියෙන් හෝ විමසා බැලීම වටී.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හමුදා සේවයෙන් විශ්‍රාම ගත් සමයේ ඔහු ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහුගේ හමුදා සේවය වසර විස්සකට පමණක් සීමා වන්නකි. ඔහුගේ හමුදා සේවය වසර 20 ක ට පමණක් සීමා වූයේ යුද බිමේ ආබාධිත වීමෙන් හෝ හමුදා නිලධාරියෙකුට යුද සේවයෙන් ඉවත් වන්නට හේතු වන වෙනත් කරුණක් නිසා නොවේ. ඔහු විසි වසරක හමුදා සේවයෙන් පසු විශ්‍රාම ලබා ගත්තේ යුද්ධය උපරිම ආකාරයෙන් ඇවිලෙමින් තිබියදී ය. අනෙකුත් නිලධාරීන් තම ජීවිතය ඇස් ඉස් මස්,ලේ අතපය පරදුවට තබා යුධ බිමේ සටන් කරන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා සේවයෙන් විශ්‍රාම ලබා ගෙන ටික කලක් පෞද්ගලික ආයතන කිහිපයක රැකියා කරමින් කල්ගත කළේය.
මව්බිමට සැබෑ ලෙස ආදරය කරන්නෙකු නම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යුතුව තිබුණේ හමුදා සෙබලෙකුගේ සේවය රටට අවශ්‍යම මොහොතක හමුදා සේවයෙන් ඉවත් වී සුඛෝපභෝගී රැකියා කිරීම නොවේ. විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි මවුබිම වෙනුවෙන් යුධ බිමේ දිවි පිදු හමුදා නායකයින් මෙන් රට වෙනුවෙන සටනේ දීමයි. එසේ නැතහොත් මාරාන්තික තුවාල ලැබුවා වුවත් යළි නැගිට යුද බිමට ගිය සරත් ෆොන්සේකා මහතා මෙන් දිවි නොතකා සටනේ යෙදීමයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත්තේ 2003 වර්ෂයේ බව කියවේ. ඇමෙරිකානු පුරවැසිභාවය ආවාට ගියාට ලබාගත හැකිවන්නේ නැත. එහිදී ඉටුකළ යුතු ප්‍රධාන කරුණුක් වන්නේ තමාගේ උපන් බිම සමග ඇති පෙකණි වැල කපා දැමීම හෙවත් උපන් බිමේ පුරවැසිභාවය අතහැරීමයි. ඒ අනුව ගත්විට ගෝඨාභය රාජපක්ෂ මහතා යන තමන්ගේ උපන් බිමට තමන් උපන් බිමේ පුරවැසිභාවයට පයින් ගසා ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් තැනැත්තෙකි.
පුරවැසිභාවය අත් හැරී පමණින් ඇමරිකාවේ පුරවැසිභාවය ලැබෙන්නේද නැත. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය. ඇමරිකානු ඉතිහාසය සහ ප්රජාචාරය පිළිබඳ වාචික පරීක්ෂණකට හා ඉංග්‍රීසි විභාගයටද පෙනී සිටිය යුතුය. ගාස්තුවක් ගෙවිය යුතුය. එපමණක්ද නොවේ ඇමරිකාවට මුළුමනින්ම පක්ෂපාතීව කටයුතු කරන බවට දිවුරා පොරොන්දු විය යුතුය. විදේශීය සහ දේශීය සියලු සතුරන්ට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට නීතියට සහාය දෙන බවට දිවුරා කිව යුතුය. වෙනත් රටක පුරවැසි කමක් ඇතොත් එය අත් හරින බවට පොරොන්දු විය යුතුය. එක්සත් ජනපදය වෙනුවෙන් අවි දරන බවට පොරොන්දු විය යුතුය. නීතියෙන් පැවසෙන අවස්ථාවලදී හමුදාව වෙනුවෙන් යුධමය නොවන සේවා ඉටු කරන බවට දිවුරා පොරොන්දු විය යුතුය. ඇමරිකානු පුරවැසිභාවය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත කරුණු සියල්ලටම එකඟ වී ඇති බව පැහැදිලිය. මව්බිම ශ්‍රී ලංකාවට එතරම් ඇල්මක් ඇති තැනැත්තෙකු නම් ඇමරිකාවේ පුරවැසිකම වෙනුවෙන් මෙතරම් දෙයක් කිරීම පුදුමයකි.
එසේ ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණියේ තම සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණයට සහාය ලබාදීම සඳහාය. මහින්ද රාජපක්ෂ මහතා එම මැතිවරණයෙන් පරාජය වූයේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිසැකවම හැරෙන තැපෑලෙන් ආපසු ඇමෙරිකාවට යන්නට තිබුණේය . එසේ නැතිව ඔහු මව්බිමට ආදරය කරන්නට මෙරට නතර වන්නේ නැත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්විය. පෙනුමෙන් බටහිර විරෝධී විශේෂයෙන්ම ඇමරිකානු විරෝධී බවක් පලකල මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අත් හරින්නට සුදානම් වූයේ නැත. ඒ වෙනුවට ඒ මහතා කළේ මෙරට බලපවත්නා නීති යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමයි. ඒනම් ඇමරිකානු පුරවැසි භාවය ආරක්ෂා කරගනිමින්ම අමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීමට අත්හල ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයද ද නැවත ඇඳා ගැනීමයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත්තේ 2003 වර්ෂයේදී එබැවින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය මේ වන විට වයස අවුරුදු 13 කි. ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇත්ත අවශ්‍යතාවක් තිබුණේ නම් පසුගිය වසර දහතුන තුළදී ඒ සඳහා උනන්දු වීමට තිබුනි. නමුත් ඒ මහතා ක්‍රියා කලේ රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ සූත්රකාරී පිළිවෙතක පිහිටාය.
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුව සම්මත කරගත් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තු මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයට තරඟ කිරීම ද්විත්ව පුරවැසිබව ඇති අයෙකුට හැකියාාවක් නැත. කෙසේ වෙතත් නව වැනි සංශෝධනයට වසර හතරක්පිරෙන තුරු වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ උවමනාවක් තිබුනේ නැත. එවැනි අවශ්‍යතාවක් තිබුණේ නම් පසුගිය වසර හතරක කාලය තුළ ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා ගන්නට ඒ මහතාට තිබුණි. දැන් ඒ මහතාට ඇමෙරිකානු පුරවැසිභාවය එපා වී ඇත් නම් එසේ වී ඇත්තේ එළැඹෙන 2020 ජනාධිපතිවරණයට තරග කිරීමේ කැමැත්තකින් ඒ මහතා පසුව නිසාය. එසේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඇමරිකානු පුරවැසිභාවය සහිතව ඊට ඉදිරිපත් විය නොහැකි නිසාය.
ද්විත්ව පුරවැසිභාවය තිබියදීම මෙරට ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමේ හැකියාව තිබුණේ නම් ගෝඨාභය මහතා කිසිවිටෙකත් ඇමරිකන් පුරවැසිභාවය අතහරින්නේ නැත. ඔහුගේ හැසිරීම අනුව පෙනෙන්නේ මේ වන විට පවා ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම ගැන සිටින්නේ දෙගිඩියාවකින් බවයි. නැතහොත් ඔහු තවමත් ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදිමදි කරමින් ඉන්නා බවයි. ඇමරිකානු පුරවැසිභාවය අතනොහැර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබුණේ නම් මහතා නිශ්චිතවම ඇමරිකන් පුරවැසිභාවය ද ආරක්ෂා කර ගනිමින් මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා ඇත . ඉන් ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් මෙරට විධායක ජනාධිපති ධූරය ද සේනාධිනායක ධුරය ද ඇමරිකානු පුරවැසිභාවය ද සියල්ල එකවර භුක්ති විඳිනවා ඇත.
එසේ වූයේ නම් ඒ මහතාට වාර්තාවක්ද තබන්නට ඉඩ කඩ තිබුනි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී එස් සේනානායක මහතාය. ලොව පළමු සහ මෙරට පළමු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ය. මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ය . මෙරට ප්‍රථම ද්විත්ව පුරවැසි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. යම් හෙයකින් එසේ ඉදිරිපත් වී ජනාධිපතිවරණයෙන් පරාජය වූව හොත් ඒ මහතා අනිවාර්යයෙන්ම නැවත ඇමරිකාවේ පදිංචියටයනු ඇත.
සියල්ල අනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගැන ආදරෙන් හෝ මව්බිම බේරා ගැනීමට හෝ කටයුතු කරනවා නොව ජනාධිපති ධූරයට ඇති තණ්හාවෙන් කටයුතු කරනවා පමණක් බවයි. ඔහු ඉතිහාසයේ මව්බිම ගැන සිතා නැත. එසේ සිතුවා නම් යුද්ධයෙන් පළා යන්නේ නැත. ඇමෙරිකානු පුරවැසියකු වීමට මෙරට පුරවැසි කම බිලි දෙන්නේද නැත. ඊනියා දේශප්‍රේමී කතා වලට රැවටී ගෝඨා දිනවීමට තරමට රටේ ජනතාව මෝඩ වනු ඇතැයිද සිතිය නොහැකිය.
