මේ සිදුවීම් පිළිකුලෙන් යුතුව හෙළාදකිනව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්

මේ ශිෂ්ඨාචාරයට අයිති දේවල් නෙමේ. මේ සිදුවීම් පිළිකුලෙන් යුතුව හෙළාදකිනව. මේවා ජාත්‍යන්තර සංවිධාන වල වැඩද දන්නෙ නෑ. ලේ පරිත්‍යාගශීලීන් ලේ ලබාදෙන්න ඉදිරිපත් වෙන්න. වෛද්‍යවරුන් නිවාඩු දිනය ගැන නොසලකා සේවයට වාර්තාකරන්න.

අගදරගුරු මැල්කම් රංජිත් හිමිපාණන් එසේ ප්‍රකාශකළේ ඊයේ  කොළඹ කොච්චිකඩේ ශාන්ත මුණුද්‍රයාණන්ගේ පල්ලියේ දී දේවමෙහෙය සිදුවෙමින් පවතින අවස්ථාවේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණීමෙන් අනතරුවය.

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපානන්ගේ විශේෂ ප්‍රකාශය –

අද උදේ කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේත්, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේත් පිපිරීම් දෙකක් සිදුවුණා. ඒ පිපිරීම් දෙක තුළින් අද පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වීමට ගිය අහිංසක බැතිමතුන් පිරිමි, ගැහැණු සහ දරුවන් ඝාතනයට පත්වුණා. ඒ වගේම බොහේ දෙනෙක් තුවාල වෙලා තියෙනව. ඇත්ත වශයෙන්ම මේ වෙලාවෙ ප්‍රථමයෙන්ම මගේ බලවත් කනගාටුව හා ශෝකය මේ ජනතාවට ප්‍රකාශ කර සිටිනව. ඒ වගේම මේ අයගේ පවුල්වල අයට බලවත් ශෝකය මේ වෙලාවෙදි ප්‍රකාශ කරනව.

දේවස්ථානයකට ගිය පිරිසට සිදුවෙච්ච මේ අකරතැබ්බය ඇත්ත වශයෙන්ම අපිට ශිෂ්ඨාචාර දෙයක් විදිහට පිළිගන්න බැහැ. ඒ නිසා අපි ඒක මේ වෙලාවෙ පිළිකුල් සහගතව හෙළා දකිනව. මේ වගේ දේවල් වලින් මිනිසුන්ගෙ ජීවිත නැතිකරන එක නැවතුනේ මම හිතුවා ශ්‍රී ලංකාවෙ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර වෙලා කියලා. මේ වගේ දේවල් නැවත ආරම්භ කිරීම ගැන අපේ විරෝධය සහ පිළිකුල් සහගත හෙළා දැකීම ප්‍රකාශ කරනව.

මේවා පිටිපස්සෙ කවුද ඉන්නෙ කියල අපි දන්නෙ නැහැ. අපිට කියන්නත් බැහැ. මේවා ලංකාවෙ අයගෙ වැඩද ජත්‍යන්තර සංවිධානවල වැඩද කියල අපි දන්නෙ නැහැ. මේ සිදුවෙලා තියෙන දේ දිහා බලනකොට, ඒ වගේම තවත් තැන්වල මේ බෝම්බ පුපුරා තියෙන නිසා ආරංචි වෙන නිසා මේක ඉතාමත් සංවිධානාත්මකව ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කරන ලද වැඩක් හැටඅයට දකින්නට පුළුවන්.

ඒ නිසා මේ අවස්ථාවෙදි මේ හැම පවුලකටම මගේ කනගාටුව ප්‍රකාශකරමින් මම ඉල්ලීමක් කරනව, අපේ ලංකාවාසී ජනතාවගෙන් කලබල වෙන්නෙ නැතුව ඉන්න. මේ වෙලාවෙදි නීතිය අතට ගන්න එපා. නීතිය බාරව ඉන්න කණ්ඩායම් වලට නීතිය බාර දෙන්න. මේ කාරණාව පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල හොයා ගෙන ඒ අයට දඬුවම් කරන්නට කටයුතු කරන්න. ඒ වගේම මේ වැඩපිළිවෙල සඳහා දායක වූ අයටත් මම පණිවිඩයක් දෙන්න ඕනෙ, මේ වගේ කැත වැඩ කරන්න එපා. මේවා මනුෂ්‍යයන් වශයෙන් අපිට පිළිගත හැකි කාරණාවන් නෙමේ. ඒ වගේම මම මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවාසි ජනතාවගෙන් ඉල්ලීමක් කරනව, ලේ දන් දෙන අය ලේ ලබාදෙන්න කියලා ආරෝග්‍ය ශාලාවට. ඒ වගේම මේ අවස්ථාවෙදි මම වෛද්‍යතුමාන්ලාගෙන් ඉල්ලීමක් කරනව, අද නිවාඩු දවසක් වුණත් තමන්ගෙ වැඩකටයුතු කරන්න ඉදිරිපත් වෙන්න කියල මේ මිනිස්සු ගෙන් එක ජීවිතයක් හෝ බේරාගන්නට පුළුවන්කම තියනව නම් ඒ බේරාගන්න කටයුතු කරන්න කියල මම ඉතාමත් ආදරයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනව.

ලංකාවාසි සියළුම ජනතාවගේ ආශිර්වාදය මේ ජනතාව වෙත දෙන්න කියල මම ඉල්ලීමක් කරනව. ඔබ සියලු දෙනාටම ස්තූතියි!

සකස් කළේ – මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *