විදුලි අර්බුදයට හේතුව කාලගුණය නෙවෙයි විදුලි මාෆියාවයි – ජනාධිපති, ආණ්ඩුව රටට ඇත්ත කියන්නේ නැහැ… – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

මේ වනවිට රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදයට හේතුව ජල විදුලි අර්බුදයක් හෝ කාලගුණයේ ප්‍රශ්නය නොවන බවත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ඇත්ත හේතුව රටට හෙළි නොකරන බවත් මෙම විදුලි අර්බුදයට හේතුව විදුලි මාෆියාව බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හෙළිදරව් කරයි.

බත්තරමුල්ල පැලවත්ත හි පිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

මෙම විදුලි වංචාකරුවන් අතර ජනාධිපතිවරයාගේ ඥාතීන්ද සිටින බවත් මහජන උපයෝගීතා කොමිසම වත්මන් විදුලි අර්බුදය සම්බන්ධයෙන් 2016දී සකස් කළ විදුලි ජනන සැලැස්ම මගින් වාර්තා කර තිබූ නමුත් විදුලි බල මණ්ඩලය ඊට කන්නොදුන් බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේ ය. විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමේ විදුලි ජනන සැලැස්ම අවධානයට ගත්තේනම් ඒකකයක් රුපියල් 35ක පමණ මිලකට හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් ටෙන්ඩර් කැඳවා ඒකකයක් රුපියල් 5ට 10ට මිලදී ගැනීමට හැකියාව තිබූ බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතාද එක්වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් බලාපොරොත්තු වන්න.

“විදුලි අර්බුදය නිසා අද මුළු රටම අස්ථාවර වෙලා. සාමාන්‍ය ජනතාවට දෛනික කටයුතු කරගන්න බැහැ. කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන බිදවැටිලා. ව්‍යාපාරික ස්ථාන බිඳවැටිලා. මුළුමහත් ආර්ථිකයටම විශාල බලපෑමක් එල්ල වෙලා. සංචාරකයින්, ආයෝජකයින් පැමිණීම නතර වෙලා. මෙවැනි විශාල බලපෑමක් ආර්ථිකයට එල්ලවෙලා තිබියදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක‍්‍රීයාමාර්ග මොනවාද? ආණ්ඩුවත් විදුලිබල මණ්ඩලයත් ජනතාවට ඉදිරිපත් කරන්නේ ඉතාම සරල තර්කයක්. එනම් ජල හිගකම නිසා විදුලි කප්පාදුව කරන බවයි. සාමාන්‍ය ජනතාවත් හිතනවා ආණ්ඩුව කියන්නේ ඇත්ත කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි.

මේ වනවිටත් මහජන උපයෝගිතා කොමිසම විදුලි බලමණ්ඩලයට එරහිව අධිකරණයට ගොස් තිබෙනවා. ඒ අනුව ලබන 9වනදා විදුලිබල මණ්ඩලය අධිකරණයට කැඳවා තිබෙනවා. ජලය හිගය නිසා විදුලිය කප්පාදුවක් සිදුවෙනවානම් විදුලි බල මණ්ඩලය අධිකරනයට කැදවන්නේ නැහැ. අපි මහජන උපයෝගිතා කොමිසමට ස්තූතිවන්ත වෙනවා තමන්ගේ බලතල පාවිච්චි කරලා මහජනතාව වෙනුවෙන් එවැනි අධිකරණ ක්‍රියාමර්ගයක් ගැනීම සම්බන්ධයෙන්. මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන්නේ මහජනතාවගේ පැත්තේ ඉඳලයි. මීට පෙර මහජන උපයෝගිතා කොමිසම ඉදිරියේදී විදුලි අර්බුධයක් එන බවට ලංවීමට අනතුරු ඇගෙව්වා.

ඒ වගේම රටට අවශ්‍ය විදුලි බල ප‍්‍රමාණය පිළිබදව විදුලි බල මණ්ඩලයත් අමත්‍යාංශයත් ආණ්ඩුව සමග එක් වී සැලැස්මක් සකස්කළ යුතුයි. දියුණු තාක්ෂණය පාවිච්චි කරලා ගනන් බැලීම් සිදුකිරිමේ හැකියාව තිබෙනවා. වැස්ස නැහැ කියලා රටකට විදුලිය නැතුව ඉන්න බැහැ. රටට අවශ්‍ය විදුලි බල ප‍්‍රමාණය නිපදවා ගැනීමට ජනන සැලැස්මක් සකස් කරගත යුතුව තිබෙනවා. ඒ අනුව 2018-2037 කාලයට ජනන සැලැස්මක් තිබෙනවා. එම ජනන සැලැස්ම මහජන උපයොගිතා කොමිසම විසින් නිර්දේශකොට තිබෙන අතර එයට අනුව විදුලිබල මණ්ඩලය කටයුතු කළ යුතුයි. එම සැලැස්මට අනුව තමයි විදුලි බල මණ්ඩලය රටට අවශ්‍ය විදුලි බලය සපුරාගත යුත්තේ. එසේ නොමැතිව තමන්ට හිතෙන හිතෙන විදිහට හදිසි මිලදීගැනීම් කිරීමට විදුලි බලමණ්ඩලයට කිසිදු හැකියාවක් නැහැ.

ගණන් බැලීමවලට අනුව විදුලි බල හිගය මෙ.වො. 250යි. මේක සපුරාගන්නේ කොහොමද? මේක සම්පුර්ණ කරන්න ආණ්ඩුව වෙනම සුදුවක් උපයෝගි කරගන්නනවා. ඒස් පවර් ඇඹිලිපිටිය, ඒස් පවර් මාතර, ඇග‍්‍රීකෝ, ඒසියා පවර් වැනි ගජ මිතුරු පුද්ගලික සමාගම්වලින් විදුලි බලය මිලදී ගැනීමටයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. ඒස් පවර් ඇඹිලිපිටිය සමාගම විදුලි බල මණ්ඩලය සමග තිබුණු ගිවිසුම 2016දී අවසන් වෙනවා. ඒ අනුව එවැනි සමාගම් ආණ්ඩුවට පවරාගැනීමේ හැකියාව තිබියදි පවරා නොගෙන ඔවුන්ගෙන් විදුලි බලය මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරවනවා. තමන්ට තිබෙන දිගුකාලින ජනන සැලැස්මක නොවෙයි විදුලි බලමණ්ඩලය කටයුතු කරමින් ඉන්නේ. ඒස් පවර් සමාගම 2016දී රුපියල් මිලියන 2365කට රජයට පවරා ගැනීමට හැකිව තිබුණා. නමුත් ආණ්ඩුව කළේ එම සමාගමෙන් රුපියල් මිලියන 4560කට විදුලිය ලබාගැනීමට කටයුතු කිරීමයි. එම නිසා මණ්ඩලයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 2195ක්.

2016 මාර්තු 31දා මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනතුරු ඇඟවීමක් කළා 2019 වන විට විදුලි අර්බුධයක් එනවා කියලා. ඒ වගේම ජාතික මට්ටමෙන් විදුලිය කලමණාකරණයක් සකස් කරන ලෙසද මහජන උපයෝගිතා කොමිසම විදුලි බලමණ්ඩලයට දැනුම් දුන්නා. පුන්ර්ජනනීය බල ශක්ති සැලසුම් සකස් කරන ලෙසද දැනුම්දී තිබෙනවා. නමුත් විදුලි බලමණ්ඩලය ඒ කිසිවක් සැලකිල්ලට ලක්කර නැහැ. ලංකාවේ සෝලා පවර් නිෂ්පාදන සංගම් පවා ගොඩනගා තිබෙනවා. නමුත් ආණ්ඩුව එවැනි විකල්ප විදුලි බලය පිළිබදව කිසිදු සැලකිල්ලක් ලක්කරන්නේ නැහැ. මේ සියල්ල පසෙක දමා විදුලි බල මණ්ඩලය විදුලි බල අමාත්‍යාංශය හදිසි මිලදී ගැනීම්වලට යාම සදහා බොරු හදිසියක් හදනවා. හදිසි මිලදී ගැනීම් ලෙස මොගාවොට් 100ක් ගන්න ආණ්ඩුව බලාගෙන ඉන්නවා. තුර්කියෙන් නැව් එනකල් බලාගෙන ඉන්නවා. රුපියල් 6ට, 10ට, 15ට ගන්න තිබෙන ඒකකයට රුපියල් 30ක් 40ක් වියදම් කරන්න හදනවා. මේවා කාගේ සල්ලිද? පාඩුව විදුලිබල මණ්ඩලයට, ඒ කියන්නේ ජනතාවට. මේක තමයි ඇත්ත.

මහජන උලයෝගිතා කොමිසම 2016දි මෙම අර්බුධය පිළිබඳ දැනුම් දුන්නේ විදුලි බල මණ්ඩලයට පමණක් නොවෙයි. 2018 නොවැම්බර් 18වනදා ආර්ථීක කළමණාකරන කමිටුවටත් දැනුම්දී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම බලපෑම නිසා විදුලි බල අමාත්‍යංශයේ ලේකම් 2017.06.15 දින විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලිඛිතව දැනුම් දෙනවා. නමුත් කිසිදු පියවරක් ගන්නේ නැහැ. මේ නිසාම විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිසමත් 2018 අගෝස්තු 07වෙනිදා කෝප් කාරක සභාවට කැඳවා මේ පිළිබඳව විමර්ශනයක් කරනවා. කෝප් කමිටුවේදීත් මෙම විදුලි අර්බුදය එන බව හෙළිදරව් වුනා. ඒ වගේම එහිදී හෙළිදරව් වුනා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ගෙවීමට ඇති මුදල් නොගෙවා මහජන උපයෝගිතා කොමිසම අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කරන්න බලපෑම් කරනවා කියලා. මේ තරම් ගැටුමක් ලංවිම සහ මහජන උපයෝගිතා කොමිසම අතර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම ජනන සැලැස්ම ලංවිම ඉංජිනේරු සංගමය ප‍්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ. ඔවුන් පෞද්ගලික සමාගම් සමඟ කටයුතු කරන නිසා. හදිසි මිලදී ගැනීම් කරලා ජාවාරම් කරන්න ඉංජිනේරු සංගමය කටයුතු කරමින් ඉන්නවා.

ජනන සැලැස්මට අනුව කටයුතු කරනවානම් කලින්ම ටෙන්ඩර් කැඳවා මිලදී ගැනීම් සැලසුම් කරන්න පුළුවන්. 2018 සිට 2037 දක්වා මිලදී ගැනීම් කරන්න, මිල තීරණය කරන්න සැලසුමක් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කොට තිබෙනවා. නමුත් විදුලි බල මණ්ඩලය එය ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. මේ විදියට ගියොත් 2019 පමණක් නෙවෙයි 2020දීත් 21දීත් 22දීත් මේ විදුලි අර්බුදයට මුහුණ දෙන්න රටට සිදුවෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් චෝදනා එල්ල කරන්නේ මහජන උපයෝගිතා කොමිසමටයි. ඇයි ඒ. ඔහුගේ හිතවතුන් මේ ජාවාරමේ ඉන්නවා. රවී කරුණානායක ඇමතිවරයාත් මේ ජාවාරමට සම්බන්ධයි. පහුගිය කාලේ රජයේ ආයතනවල තිබෙන ජෙනරේටර්වලින් මෙගා වොට් 130ක පමණ විදුලි බලයක් ලබාගන්න පුළුවන් බවට ගණන් බලා තිබුණා. ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාවකුත් ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් ඒ ප‍්‍රමාණය හෝ ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීමට කටයුතු නොකරන්නේ ජාවාරමෙන් හම්බ කරන්න ඕනෑ නිසයි.

අපි රටේ ජනතාවට කියනවා මේක තමයි ආණ්ඩුවේ සැලැස්ම. මේ ඒකාධිකාරය බිඳ දැම්මේ නැත්නම් ඉදිරියේදීත් අපේ රට අඳුරේ තිබෙන එක වළක්වන්න බැහැ. ලෝකයේ අනෙක් රටවල් විකල්ප බලශක්ති ප‍්‍රභවයන් සොයාගන්නවා. අපේ රටේ වැස්ස නැහැ කියලා බලාගෙන ඉන්නවා. අපි ආණ්ඩුවට කියනවා ජාවාරම නවත්වලා විදුලි අර්බුදයට ඇත්ත විසඳුම් හොයන්න කටයුතු කරන්න කියලා.

අපේ රටේ අයවැය කියන්නේ මහ බොරුවක්. දැන් ලෝකයේ අයවැය රහස් කියලා දෙයක් නැහැ. වෙනත් බොහෝ රටවල්වල අයවැය සම්බන්ධයෙන් පවත්වපු වැඩමුළුවලට අපි සහභාගිවෙලා තිබෙනවා. ඒ රටවල්වල අයවැය රහස් කියලා ජාතියක් නැහැ. අපේ රටේ මුදල් ඇමතිලාගේ අයවැය රහස් ගැන කියනකොට විශාල පොත් උස්සගෙන එනවා කියලා කිව්වාම ඒ රටවල්වල අය හිනාවෙනවා. මොකද ඒ රටවල් වල තියෙන්නේ අයවැය කාර්යාලයක්. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු එකතුවෙලා රටේ අයවැය හදනවා. රටේ තිබෙන ආදායමට තමයි ඒ රටවල්වල අයවැය හදන්නේ. හීනවලට අයවැය හදන්නේ නැහැ.

වියදම වැඩිනම් විපක්ෂය ඒ අයවැය ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. රටේ ආදායමට හරියන වියදම් විතරයි අයවැයට දාන්නේ. නමුත් අපේ රටේ බොරු අයවැයක් හදනවා. පැයක් එකහමාරක් මුදල් ඇමති අයවැය බොරුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මන්ත‍්‍රීවරු මාසයක් තිස්සේ අයවැය විවාද කරනවා. අපරාදේ පාර්ලිමේන්තුව විශාල වියදමක් කරනවා. මන්ත‍්‍රීවරු එන්නෙත් නැහැ. පුටුවලට කතා කරනවා. මේ බොරුවට අපි අත උස්සන්න ඕනැද? ඒ නිසා අපි මේ අයවැයට ලබන 05වෙනිදා විරුද්ධව ඡන්දය දෙනවා. අපේ මන්ත‍්‍රීවරු 06දෙනා හැකි උපරිමයෙන් මේ අයවැය ගැන ජනතාව දැනගත යුතු කරුණු රාශියක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඒ කරුණු ජනතාවට තමයි වැදගත්. ආණ්ඩු පක්ෂයට ඒ කරුණුවලින් වැඩක් නැහැ. වසර 70ක්ම අපේ රට ණය කරලා 71වෙනි වරටත් නැවත අපේ රට ණය කරපු අයවැයක් කියලයි අපි මේ අයවැය දකින්නේ. 2018 මාර්තු 31 වනවිට තිබුණ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 9588යි. 2019 මාර්තු 31 වෙනකොට අපේ රට රුපියල් බිලියන 11999ක් ණය වෙලා තිබෙනවා. ණය ගෙවන්න නැවත නැවත ණය ගන්න රටක් බවට අපි පත්වෙලා තිබෙනවා. ඒකාබද්ධ අරමුදල සෘණ අගයක් තිබෙන රටක ආර්ථිකය ගැන කවර කතාද? එනිසා මෙම අයවැය පරාජය කරන්න ඇත්ත විරෝධයක් තිබෙනවා නම් එකතු වෙන්න කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.”

ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා

“මේ ආණ්ඩටුව බලයට ඇවිත් කිව්වේ රටේ ණය අඩුකරනවා කියලා. ඒ වෙනුවෙන් ජනතාවට පටි තද කරගන්න කියලත් කිවුවා. නමුත් 2018 සිට 2019 වනවිට ණය බර රුපියල් බිලියන 2411කින් වැඩිකරගෙන තිබෙනවා. ආණ්ඩුව ණය ගෙවුවා නම් මේ විදියට ණය බර වැඩිවෙන්නේ කොහොමද? ඒ වගේම රටේ රැකියා ප‍්‍රශ්නය බරපතල අර්බුදයක තිබෙනවා. පහුගිය අවුරුද්දේ පමණක් රැකියා 147,000ක් අහිමිවෙලා තිබෙනවා. හේතුව, ආයෝජකයෝ අපේ රට දාලා ගියා. අපේ රටේ ආර්ථිකයෙන් 81%ක් නියෝජනය කරන්නේ පෞද්ගලික අංශයයි. මේ වනවිට පෞද්ගලික අංශය ආයෝජන නවත්වලා තිබෙනවා. රටේ ආර්ථිකය එකතැන හිරවෙලා තිබෙනවා. නමුත් මේ කිසිදු දෙයක් ගැන අයවැයේ සඳහන් වෙලා නැහැ. කර්මාන්ත ගොඩගැනීම පිළිබඳව, කෘෂිකර්මාන්තය දියුණු කිරීම පිළිබඳව කිසිදු යෝජනාවක් අයවැයට ඇතුළත් කර නැහැ. ඒ වගේම පහුගිය කාලයේ අපේ රටේ රුපියල අවප‍්‍රමාණය වුණා. ඒ සඳහා දිගුකාලීණ, කෙටිකාලීන ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණත් ඒ පිලිබඳව කිසිදු යෝජනාවක් අයවැයේ නැහැ. කෙටිකාලීනව ඩොලර් උපයා ගැනීමට තිබෙන සංචාරක කර්මාන්තය පිළිබඳව, තොරතුරු තාක්‍ෂණය පිළිබඳව කිසිදු අවධානයක් නැහැ. එනිසා 2019 අයවැය අසාර්ථක එකක් බව ඔප්පු කරලා තිබෙනවා. එනිසා මෙම බොරු අසාර්ථක අයවැය පරාජය කරන්න පුළුවන්. ජනාධිපතිවරයාට අපි කියනවා, කුමන්ත‍්‍රණ කරලා මේ ආණ්ඩුව වට්ටන්න ඕන නැහැ. අයවැය පරාජය කරලා අවශ්‍යනම් අලුත් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. එනිසා ලබන 05වැනිදා මේ අයවැය පරාජය කරන්න විරුද්ධව ඡන්දය දෙන්න කියලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් මන්ත්‍රී කණ්ඩායමට අපි කියනවා. නමුත් ඇත්ත තත්වය මේ ජනාධිපතිවරයාගේ සහයෝගයෙන් තමයි දැන් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ.

මේ අයවැයේ ඇත්ත තොරතුරු නැහැ. වියදම් හංගලා. සමාජ සුභසාධනයට මුදල් යොදවන්නේ නැතිව විශ‍්‍රාම වැටුප් වැනි දේවල් සමාජ සුභසාධනයට ඇතුළත් කරලා බොරු අගයන් පෙන්වනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත‍්‍රාත්කරුවන්ට ආණ්ඩුව ගෙවිය යුතු බිලියන 200ක පමණ මුදලක් තිබෙනවා. නමුත් ඒ ගැන කිසිදු සඳහනක් අයවැයේ නැහැ. එවැනි බොරු අයවැයකට පක්‍ෂව ඡන්දය දෙන්න කාටද පුළුවන්?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *