එක්නැළිගොඩ ‘කොටියෙක්’ නොවේ’ -සීඅයිඩී ය කියයි

"රජ පවුලයි මා wawuloyiමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ පිළිබඳව පසුගියදා ආරක්ෂක මණ්ඩලයේ ද අවධානය යොමුව ඇති අතර එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් අතර බරපතළ මත ගැටුමක් හටගෙන ඇතැයි ‘සත්හඬ’ පුවත්පත අනාවරණය කරයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද සහභාගි වූ මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක අංශ ප‍්‍රධානීහු ද සහභාගී වී තිබේ.

ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා එල්.ටී.ටී.ඊ. හිතවාදියකු බවට මාධ්‍යයට අසත්‍ය තොරතුරු සපයමින් ඔහුව හංවඩු ගැසීමට හමුදා ප‍්‍රධානීන් දැරූ උත්සාහය ව්‍යර්ථ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, එක්නැළිගොඩ මහතා ‘කොටියකු’ නොවන බව අවධාරණය කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ දැක්වේ.

මාධ්‍යවේදියකු ලෙස තොරතු දැන ගැනීමට :

ඒ සම්බන්ධයෙන් වූ පුවත් වාර්තාවේ මෙසේද දැක්වේ.

දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව, ඔහු එල්.ටී.ටී.ඊ. පුහුණු කාඩර්වරයකු, බුද්ධි අංශ සාමාජිකයකු, කළු කොටියකු, දේශපාලන කාඩර්වරයකු හෝ එල්.ටී.ටී.ඊ. හිතවාදියකු බවට කිසිදු සාක්ෂියක් ලැබී නැතැයි පැහැදිලි කර ඇති රහස් පොලීසියේ ප‍්‍රධානියා, ඔහු මාධ්‍යවේදියකු ලෙස තොරතු දැන ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ. ප‍්‍රාදේශීය නායකයන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව ද පවසා තිබේ.

එක්නැළිගොඩ මහතා, කොළඹ බෝම්බ පිපිරවීමකට හෝ එල්.ටී.ටී.ඊ. කාඩර්වරුන්ට නවාතැන් දී ඇති බවට මාධ්‍ය කිහිපයක පළ වී ඇති වාර්තා තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති රහස් පොලිස් ප‍්‍රධානියා, එක්නැළිගොඩ මහතා 2009 දී මෙන්ම අවසන් අවස්ථාවේ දී ද පැහැර ගත්තේ එකම කණ්ඩායමක් විසින් බවටත් එය දේශපාලන උවමනාවක් මත සිදුව ඇති බවටත් අවධාරණය කර තිබේ.

පළමු අවස්ථාවේ දී ඔහුව රැගෙන ගොස් තිබුණේ පනාගොඩ යුද හමුදා කඳවුරටය.

හමුදාවට සාක්ෂි නැහැ :

එහෙත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කරන ලද කාරණා හමුදා බුද්ධි අංශය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති නමුත් එක්නැළිගොඩ මහතා එල්.ටී.ටී.ඊ.ය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සමත්ව නැත.

එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ ප‍්‍රධානියා වූ පොට්ටු අම්මාන් සතුව තිබූ සියලූම ලියකියවිලි මේ වන විට හමුදාව සතුව පවතී. එහෙත් ඒ කිසිදු ලියවිල්ලක එක්නැළිගොඩ මහතාගේ නම සඳහන් නොවන බවත් වාර්තා වේ.

කෙසේ නමුත් එහි දී හමුදා ප‍්‍රධානීන් පවසා ඇත්තේ, අධිකරණයේ දී තමන් සතු සාක්ෂි ඉදිරිපත් කරන බවයි.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා නීති විරෝධී ලෙස පැහැරගෙන ගොස් රඳවා තබා ගනිමින්, අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට ලූතිනන් කර්නල් ෂම්මි කුමාර රත්නායක, ලූතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ, කෝප‍්‍රල් ජයලත්, විශ‍්‍රාමික සාජන්ට් මේජර් රණබණ්ඩාර, සාජන්ට් මේජර් උපසේන, විශ‍්‍රාමික කෝප‍්‍රල් රංජිත් රූපසේන, කෝප‍්‍රල් අනුරජීව සහ තවේන්දරන් මෙන්ම සත්‍යා මාස්ටර් යන හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙතෙක් අනාවරණය වූ කරුණු අනුව 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා කොළඹ දී පැහැර ගැනීමෙන් පසු ගිරිතලේ යුද හමුදා කඳවුර වෙතට රැගෙන ගොස් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

මේජර් ජෙනරාල්වරයකුගෙන් ප‍්‍රශ්න කිරීමට :

ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැර ගැනීම සහ අතුරුදන් කරවීම සම්බන්ධයෙන් නියෝග ලබා දුන් ඉහළ පෙළේ නිලධාරීන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර ඉදිරි දින කිහිපය තුළ දී යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකුගෙන් ප‍්‍රශ්න කිරීමට රහස් පොලීසිය කටයුතු කරමින් සිටියි.

එවකට යුද හමුදා බුද්ධි අංශය භාරව සිටි බි‍්‍රගේඩියර් අරුණ වන්නිආරච්චි මහතාගෙන් පසුගිය සතියේ දී රහස් පොලීසිය විසින් පැය 06කට අධික කාලයක් මේ ගැන ප‍්‍රශ්න කරනු ලැබුවේය.

ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පවසන්නේ විමර්ශන කණ්ඩායම් ඉදිරි මාසයේ මුල් කාලයේ යුද හමුදා කඳවුරු දෙකකට ගොස් කරුණු සොයා බැලීමට සූදානම්ව සිටින බවයි.

ඉදිරියේ සිදු කරන කඳවුරු නිරීක්ෂණය සඳහා උසාවි නියෝගයක් ලබා ගැනීමට සූදානම් බවත් මේ මස 28 වනදාට ප‍්‍රථම එම නියෝගය ලබා ගැනීමට හැකි වනු ඇති බවත් එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

විසි වසරකට වැඩි සිරදඬුවමක් :

කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට අත්අඩංගුවේ පසුවන 10 දෙනාට එරෙහිව ඉදිරියේ දී නඩු පවරනු ඇති බවය.

එක්නැළිගොඩ මහතා ඝාතනය කළ බවට සාක්ෂි කිසිවක් හමුවී නැති නමුදු පැහැරගෙන යාම හා රඳවා තබා ගැනීම, ඝාතනය කිරීම චේතනාන්විතව සිදු කර ඇති බවට පැහැදිලි සාක්ෂි හමුව තිබෙන බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට එක් අයකුට වසර 20කට වඩා වැඩි සිරදඬුවම් නියම කළ හැකි බවත් පැවසේ.

මේ අතර අතුරුදන් වූ ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කරමින් ඔහුගේ පැහැර ගැනීම හා අතුරුදන් වීම සම්බන්ධයෙන් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රබල වගකීමක් දැරූ හිටපු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වගකිව යුතු බවට චෝදනා කළාය.

(සත්හඬ )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *