ගගට කපන ඉනි කොමිෂන් සභා – සම්පත් අමරසිංහ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, නැවතත් ජනාධිපති කොමිසමක් පත් කර තිබේ. එම කොමිසමේ වගකීම වන්නේ 2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි කියන දුෂණ, වංචා සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය කිරීම්, රැවටීම්, බලය, අධිකාරිය රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම් හෝ එම අවභාවිතයන් එම වැරදි සහ වැරදි ක්‍රියාවලින් රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතල අලාභ හෝ හානි සිදු වී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල නිලධාරීන් වශයෙන් සේවයේ යෙදී සිටි සහ යෙදී සිටින පුද්ගලයනට එරෙහිව චෝදනා පිළිබද මහජන පැමිණිලි තොරතුරු සහ කරුණු කැදවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාති පුළුල් විමර්ශනයකට ලක් කිරීමය. මේ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා විසින් ඉහත කොමිසම පත් කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ වැරදි සෙවීම සදහා බවයි.
පළමු කොටම කිවයුතුව ඇත්තේ කවර ආණ්ඩුවක වුවද කවර කාලයක වුවද වැරදි දුෂණ අඩුපාඩු වංචා ඇත්නම් ඒ පිළිබද සොයා බැලීම කවර ආණ්ඩුවක වුවද කවර ජනාධිපතිවරයකුගේ වුවද වගකීමක් සහ යුතුකමක් වන බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ගෙන ඇති පියවර අගය කළ යුතුව තිබේ.
ගැටලුව වන්නේ ජනාධිපතිවරයා විසින් මෙකි කොමිසම පත් කරණු ලබන්නේ දුෂණයෙන් වංචාවෙන් රට නිදහස් කර ගැනීමේ අවංක චේතනාව පෙර දැරිවද නැතහොත් මේ වනවිට තමන්ගේ දේශපාලන විරුද්ධවාදියා බවට පත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ කුණු අවුස්සා ඔවුන් අපහසුතාවයට පත් කිරීමේ අදහසින්ද යන්නයි.
බලය හෝ අධිකාරිය රාජ්‍ය සම්පත් වරප්‍රසාද අනිසි ලෙස භාවිතය හෝ අවභාවිතය යන්න කොමිසමේ විෂයපථයට ඇතුලත්ව තිබේ. මෙය යමෙකුට කකුළුවා හරහට යමින් පොඩි කකුළුවාට කෙලින් යාමට උපදෙස් දීමක් වශයෙන් හැගී යා හැකි වන්නේ ජනාධිපතිවරයාගේ පසුගිය විදේශ සංචාරයකට විපක්ෂයේ එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින හෝ පොහොට්ටු පක්ෂයට හිතවාදී ඉහත සංචාරයට කවර ආකාරයකින් හෝ නිළ වශයෙන් සම්බන්ධයක් නොමැති මන්ත්‍රීන් පිරිසක් සහභාගී කරවාගෙන තිබු බව සිහිපත් වන බැවිනි.
යහපාලන ආණ්ඩුව බලයට පත් වීමේදී ජනතාවට දුන් මුලික පොරොන්දුවක් වුයේ දුෂණය සහ නාස්තිය නැති කිරීම සහ පසුගිය එනම් මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතාම සදහන් කළ දුෂණ වංචා අපරාධවලට සම්බන්ධ වුවනට දඩුවම් පැමිණවීමයි.
එකී අරමුණ ඉටු කර ගැනීම සදහා ජනාධිපතිවරයා විසිබ් කොමිසමක්ද පත් කරණු ලැබිණි. එකී කොමිසම හදුන්වනු ලැබුවේ “ බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යනුවෙනි. එකී කොමිෂන් සභාව පිහිටුවා තිබුනේ පළමු මහල, 5 වන ගොඩනැගිලි සංකීර්ණය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයේය.
එකී කොමිසම මගින් පෙත්සම් 24ක් විභාගය කෙරුණු අතර කොමිසමේ බල සීමාවට බැහැරින් තිබුණු පෙත්සම් 59ක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ. එසේ යොමු කළ පෙත්සම් අතුරින් එකක් වන්නේ PCI/1593/2015 අංක දරන ඌව පළාතේ හිටපු මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කර ඇතැයි සදහන් දුෂණ සහ අක්‍රමිකතා පිළිබද පෙත්සමයි.
ඉහත ජනාධිපති කොමිසම විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොමිසමට භාරදුන් පෙත්සම් සංඛ්‍යාව 34 කි. PCI/862/2015 දරණ හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සිදුකර ඇතැයි කියන දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ පෙත්සම ඉන් එකක් වන අතර තවෙකක් වන්නේ PCI/974/2015 දරණ සචින් වාස් ගුණවර්ධන විසින් බිලියන ගණන් මුදල් වංචා කර ඇතැයි කියන පෙත්සමකි. PCI/857/2015 දරණ මහාමාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් සම්බන්ධ දුෂණ අක්‍රමිකතා සම්බන්ධ පෙත්සමද, PCI/632/2015 දරණ නාගරික සංවර්ධන අධිකාරියේ දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ පෙත්සමද, PCI/202/2015 සැලසින ආයතනය සම්බන්ධ පෙත්සම ආදියද මුල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කරන ලද පෙත්සම්වලට අයත්ය. ගැටලුව වන්නේ 2015.01.10 දින අවසන් කරන්නට යෙදුනි. ඉහත ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අතරින් ඇවන්ගාඩ් වැනි එක දෙකක් හැර ඉතිරි විමර්ශන සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර කවරේද යන්නයි.
බරපතල අපරාධ දුෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වැදගත්ම කොටස වශයෙන් සදහන් කළ හැකිව ඇත්තේ එහි අවසන් කොටසින් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සමුහයයි.
මෙරට අපරාධ දුෂණ අනාගතයේදී සිදුවීම වලක්වාගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග රාශියක් එහිදී කොමිසම විසින් යෝජනා කර තිබේ.
හම්බන්තොට වරායට සම්බන්ධ කරදියවර මංගල්‍ය සදහා රුපියල් දහතුන්කෝටි අසුලක්ෂ හැටතුන්දහස් දෙසිය අනු පහයි ශත හතලිස් හතක් වියදම් කර ඇතැයි හෙළි දරවු කරන කොමිසම එම රාජ්‍ය මුදල්වලට වගකීමට හෝ වගවිමට නිසි ක්‍රමවේදයක් නිබි නොමැති බව අනාවරණය වූ බව පවසයි.
ඉහත කාරණාව රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ ගත හැකි නිත්‍යානුකුල ලේඛනයක් හෝ චක්‍රලේඛයක් නැති බවද කොමිසම පෙන්වා දී තිබේ.
රජයේ ආයතන විසින් පවත්වනු ලබන උත්සවයකට වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය නිශ්චය කරන ක්‍රමවේදයක් සහ එය තීරණය කෙරෙන සීමාවන් පැනවෙන නීති අඩංගු කොට පිළියෙළ කරන ලද චක්‍රලේඛ නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය හෝ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගතයුතු බව ඉහත ජනාධිපති කොමිසම යෝජනා කර තිබේ.
එකී වාර්තාවේ තවදුරටත් සදහන්ව ඇති කරුණක් මෙසේය. “එවැනි උත්සව සදහා වියදම් කරන්නේ මහජන මුදල් වන බැවින් එවැනි උත්සවයකට වියදම් කරන ප්‍රමාණය පැහැදිලිව විස්තර කොට ප්‍රදර්ශනය කෙරෙන පැහැදිලි ප්‍රදර්ශන පුවරුවක් එම උත්සවයට පැමිණෙන මහජනතාවට දැක ගත හැකි පරිදි වේදිකාවක් ඇත්නම් ප්‍රසිද්ධ වේදිකාවේ හෝ මහජනතාවට පෙනෙන ප්‍රකට ස්ථානයක හෝ ප්‍රදර්ශනය කළ යුතු බවට නියමයක්ද එකී චක්‍රලේඛයේ අඩංගු විය යුතු බව මෙම කොමිෂන් සභාවේ යෝජනාවයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කාර්යාංශයේ ශාඛා කාර්යාල සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවීමට බරපතල වංචා දුෂණ විමර්ශන කොමිෂන් සභා වාර්තාව විසින් යෝජනා කර තිබුනේ අපරාධ වංචා දුෂණ පිළිබද පැමිණිලි කිරීමට කොලබ ප්‍රධාන කාර්යාලයටම පැමිණීමට සිදුවී තිබීම ගැටළුවක් බව පෙන්වා දෙමිනි.
වැරදි ක්‍රියාවන් හෝ දුෂණ ක්‍රියාවන් සම්බන්ධ තොරතුරු නොබියව ලබා දීමට මහජනතාවගේ විශ්වාසය දිනාගත් ආයතනයක් තිබිය යුතු බවත්, එම ආයතනවල බලධාරීන් ලෙස ස්වාධින, කාර්යක්ෂම අපක්ෂපාති පුද්ගලයන් පත් කිරීමට වග බලා ගත යුතු බව එම කොමිසමේ තවත් වැදගත් යෝජනාවකි.
තොරතුරු ලබා දෙන පුද්ගලයා සහ සාක්ෂිකරුවන් පළිගැනීම්වලින් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම.
චෝදනා යම්තාක් දුරකට සකස් කළ බව තහවුරු කර ගැනීමෙන් පසුව ඒවාට වගකිවයුතු පුද්ගලයින් අදාල තනතුරුවල දිගටම රැදී සිටීම වැලැක්වීම සහ වෙනත් තනතුරුවලට පත් කිරීමට නීති හදුන්වා දීම.
බලධාරී ආයතන විසින් ස්වකිය මෙහෙය වීමෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
දුෂණ ක්‍රියාවක් සිදු වීම හෝ ඊට කුමන්ත්‍රණය කිරීමක් හෝ සුදානම්විමක් හෝ එවැනි ක්‍රියාවක් සිදු වෙමින් පවතින බවක් හෝ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට, ලබා ගැනීමට හැකි බුද්ධි තොරතුරු ඒකක රට පුරා පිහිටුවීම ක්‍රියාත්මක කිරීම.
අල්ලස් හෝ දුෂණ ක්‍රියා වැලැක්වීමට කලින් කල අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට බලධාරී ආයතනයක් පිහිටුවීම ආදියද ඉහත ජනාධිපති කොමිෂන් සභාවේ යෝජනා අතර තිබේ.
හිටපු පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිය ජි.එන්.ටි.ඩි ගුණරත්න මහත්මිය මහවැලි බි කලාපයේ අක්කර 45ක ඉඩමක් දීර්ඝ කාලින බදු පදනම යටතේ ලබාගෙන සංවර්ධනය කිරීම සදහා පොල් සංවර්ධන මණ්ඩලයෙන් පොල් පැල 3277 ක් ලබා ගැනීම සම්බන්ධව දුෂණ චෝදනා යටතේ ඇමැතිට නඩු පැවරිය යුතු බවට කොමිෂම නිර්දේශ කළත් 2015.01.10 වන විටත් ( කොමිෂම් සභාවේ සදහන් වන්නේ “තවමත්” යනුවෙනි. ජනාධිපති කොමිෂන් සභාවේ කාලය වුයේ 2010.01.10 – 2015.01.10 ) එකී අදාල පාර්ශවය විසින් භුක්ති විදිමින් සිටි බව වාර්තාවේ දැක්වේ.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය දුම්රිය ස්ථානාධිපති නිළනිවාස බලෙන් අත්පත් කර ගැනීම, දුම්රිය නිල නිවාසයේ කොටසක් කඩා ඉවත්කර පැවති මැතිවරණ ප්රචාරක කටයුතු සදහා රැස්වීම ශාලාවක් ඉදි කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු අමාත්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත කොට අයතා ලෙස වැටුප් ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබුණි. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම ආපසු ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ ද, අභියාචනාධිකරණය එය අත්හිටුවා ඇති බවත් එම තීරණය වෙනස් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් එවැනි තැනකදී මැදිහත් වීමට (එනම් මහවැලි ඉඩම, දුම්රිය ඉඩම) ක්‍රමවේදයක් අවශ්‍ය බවත් කොමිෂම යෝජනා කර තිබේ.
මිට අමතරව දුෂණ මර්ධනය සදහා ප්‍රචාරණය ආදී වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග රැසක් එම වාර්තාවේ ඇතුලත්ව තිබේ. එකී වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධව මැදිහත්ව විචාරන විට පෙනී යන්නේ එහි විමර්ශනයටත් වඩා නිර්දේශ යෝජනා රැගත් වාර්තාවේ අවසන් කොටස් අතිශයින් ප්‍රථිපලදායක අදහස් යෝජනා ගොන්නක් බවයි.
මෙම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා ගතයුතු පියවර වශයෙන් කොමිෂන් සභාව යෝජනා කර ඇති එක් යෝජනාවක් වන්නේ වාර්තාව අධ්‍යනය කොට සලකා බැලීම සදහා කමිටුවක් පත් කිරීමය. එම කමිටුව සමන්විත වීමට සුදුසු තැනැත්තන් පිරිසක්ද එම කොමිෂන් සභාව විසින් යෝජනා කර තිබේ. එනම්:
01 .අධ්යක්ෂ ජනරාල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
02 .ලේකම් අධිකරණ අමාත්‍යංශය
03 .නීතිපතිතුමා නියෝජනය කරන අතිරේක පොලිස් ජනරාල්වරයෙකු.
04 .පොලිස්පතිතුමා විසින් නම්කරන ජෙයෂ්ට නියෝජිත පොලිස්පතිවරයෙකු
05 .විගණකාධිපතිතුමා විසින් නම් කරන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජෙයෂ්ට නිලධාරියෙකු
06 .ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරන අතිරේක ලේකම්වරයෙකු
07 .මුදල් අමාත්‍යංශ ලේකම් නම්කරනු ලබන මහා භාණ්ඩාගාරය නියෝජනය කරන ජෙයෂ්ට නිලධාරියෙකු
08 .රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා
අනෙක් සියලු කරුණු පසෙක තිබියදී ඉහත කි ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යනය කොට සලකා බැලීම සදහා කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන්නන්ට යෙදුනු බවක් මෙතෙක් දැනගන්නට නැත. එසේ තිබියදී දැන් නැවතත් ප්‍රකට විනිසුරුවරයෙකුවන උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව තවත් ජනාධිපති කොමිසමක් පත්කර තිබේ.
පසුගිය ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ වාර්තාව අධ්‍යනය කිරීමට කමිටුවක්වත් පත් නොකෙරුනේ එක්කෝ ජනාධිපතිවරයා මෙතෙක් එම වාර්තාව කියවා නැති නිසා වී යුතුය. එසේත් නැතිනම් එම කොමිෂන් සභා වාර්තාවේ සහ කොමිෂන් සභාවේ යෝජනාවල වැදගත්කමක් ඇතැයි ජනාධිපතිවරයා නොසිතන නිසා විය යුතුය.
හේතුව කුමක් වුවද වාර්තාවලින් වැඩක් නොගන්නා රටකට නැවත නැවතත් ජනාධිපති කොමිෂන් පත් කිරීම මහජන මුදල් අපතේ යවන ගගට ඉනි කපන්න වැනි කටයුත්තකි.
