ඕනම කෙනෙක් දේශපාලන වශයෙන් බංකොලොත් වුණාම තල්ලුවෙන තැන තමයි ජාතිවාදය හා ආගම් වාදය – දඹර අමිල හිමි
පහුගිය දවස් කීපයේ එළිදැක්වීම් කීපයක් අපි දැක්කා. ඒක ඇතුළෙ පරාජිත මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමත්, ඒ වගේම කුමන්ත්‍රණකාරීව කටයුතු කරපු නොවැම්බර් මාසෙ 26 වෙනිදා එකෙන් සම්පූර්ණයෙන්ම පාඩමක් ඉගෙන ගත්තු මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කණ්ඩායමත්, ඒ වගේම ඒ අයට අඩු වැඩි වශයෙන් පෙනී සිටින විචාරපූර්වක භාවයකින් තොර ඇතැම් භික්ෂූන් සහ ගිහියන් විසින් දක්වන ලද ප්‍රතිචාරත් පහුගිය සතිය දෙක තුන තුළ අපි දැක්කා. එයින් ප්‍රධාන එකක් තමයි, අපිට පේන්නේ මේ ඇතැම් භික්ෂූන් මේ ඇතැම් ගිහියන් සහ අර පරාජිත දේශපාලඥයන් සහ අර කුමන්ත්රණකාරයින් මේ විදිහට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තේ කුමක් නිසාද කියන එක. අපි හොයල බලනකොට දාර්ශනික කියමන් පසක් කරමින් දාර්ශනික කියමන් සත්‍යයක් බවට පත් කරමින් යම් ඇවිස්සීම් වෙලා තිබෙනව කියන එක පසක් වෙනව.
ඕනම කෙනෙක් දේශපාලනික වශයෙන් බංකොලොත් වුණාම කරන ප්‍රකාශයක් තියෙනව. ඕනම කෙනෙක් ඕනම පක්ෂයක් තල්ලුවෙන තැන තමයි, ජාතිවාදය හා ආගම්වාදය කියන තැන.
ජාතිවාදයට හා ආගම්වාදයට තල්ලු වෙන්නෙ මොනවගේ අයද දේශපාලනික වශයෙන් බංකොලොත් වුණාම කියල, මේක ඉතාමත් සත්‍යයක් කියන එක මේ කල්ලි කණ්ඩායම්වල හැසිරීම් දිහා බලාපුවම පේනව.
ඒ ගොල්ල කියන කාරණයක් තමයි නව ව්‍යවස්ථාවක් ගේන්න ඕනය කියන රටේ අති බහුතර ජනතාවක් විශ්වාසය තබනු ලබන කාරණය. අද රටේ ජනතාව විතරක් නෙමෙයි 1978 ව්‍යවස්ථාව ගෙනාපුදාට පහුවදා ඉඳල විවිධ නායකයින් දේශපාලඥයින් විචාරකයින් කවුරුත් කියපු දෙයක් තමයි මේ 78 ව්‍යවස්ථාව රටට හොඳ නෑ කියන එක. විශේෂයෙන්ම මේක විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වල දීපු, ස්ථාපිත කරපු ව්‍යවස්ථාවක්ය කියන පදනමේ ඉඳගෙන මේකට විවේචනය කළා. මේ ව්‍යවස්ථාව ගෙනාවෙ කවදද ඊට පහුවදා ඉඳල මේකට විවේචන ඉදිරිපත් කෙරුවා. දේශපාලන පක්ෂ හා නායකයො කවුරුත් ඒක කළා. අද ඒක පිහිටුවලා අවුරුදු 40කට කිට්ටුවෙන්න ගිහින් තියෙනව, දැන් ඔයගොල්ල අපි කාටත් පේනව මේක කොයිතරම් නම් නරකද කියන එක. ඒක අත්දැකීම් වලින් අපි දැන් ලබල තියෙනව. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන එක, ඒ වගේම ඡන්ද ක්‍රමයෙන් අපි අත්දැකීම් ලබල තියෙනව, සමානුපාතික ඡන්ද ක්‍රමය හා ඒ මතින් ආපු මනාප ක්‍රමය කියන ඡන්ද ක්‍රමය ගැන. මේ මනාප ඡන්ද ක්‍රමය ගැන අපි අත්දැකීම් විඳිමින් ඉන්නවා පරම්පරා ගාණන් තිස්සෙ. ඒ නිසා හොඳ චන්ද ක්‍රමයක් අපි සොයාගත යුතුයි කියල, ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් ඉදිරිපත් කරල රටේ මූලික නීතියට ඇතුළත් කරගතයුතුයි කියල සාකච්ඡාවක් තියෙනව.
ඒ වගේම උතුරෙත් කැරලි ඇතිවෙනව දකුණෙත් කැරලි ඇතිවෙනව. ඒ දෙකෙන්ම අපි හෙම්බත් වුණා. උතුරේ කැරැල්ලක් ඇති වුණා තරුණයන්ගේ පදනමක් තියාගෙන, දකුණෙ කැරලි දෙකක් ඇති වුණා තරුණයන්ගෙ පදනම තියාගෙන. විශේෂයෙන්ම 88/89 ඇති වෙච්ච ඉතා භිහසුණු කැරැල්ල. මේ සාධකත් බලලා කල්පනා කළා ජාතික ගැටළුවක් තියෙනව ශ්‍රී ලංකාවේ, ඒක කවුරුවත් අමතලා නෑ. ඒක 1972 ව්‍යවස්ථාවෙනුත් අමතල නෑ. ඊට පසුත් අමතලා නෑ. ඒක නිසා තමයි මේ තරුණයක් අවි අතට අරගෙන යුධමය ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා තියෙන්නෙ. මේක ව්‍යවසනයක්. මේක එනවා කාලෙන් කාලෙට. ඒ නිසා මේකට ස්ථාවර විසඳුමක් අවශ්‍යයයි කියල සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනව. දේශපාලඥයන්ගෙන් විතරක් නෙමෙයි දේශපාලන විද්‍යාව දන්න විද්වතුන්ගෙ, දේශපාලන මනෝ විද්‍යාව දන්න කාගෙ කාගෙත් කටින් ඇවිල්ල, මතයක් බවට පත් වෙලා තියෙනව. ඒ අනුව ජාතික ගැටළුව විසඳීම ඉලක්ක කර ගත්ත නීති පද්ධතියකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගත යුතුය කියන ස්ථාවරය කා තුළත් ආවා.
ඊට අමතරව සමාජ සාධාරණත්වය ලබා දෙන විදිහට. දැන් තිබෙන්නෙ සමාජ සාධාරණත්වය ඉස්මතු කරන සමාජයකට වඩා අමානුෂිකත්වය හා අමනුස්සකම සාමාජගත වෙලා තියෙන සමාජ ක්‍රමයක්. ඒක නිසා මේක අවම කරන්නවත් අඩු ගානේ යම් සධාරණත්වයක් හේතු වෙන විදිහට සුදුසු ආර්ථික මෝඩලයක් හඳුනගෙන එකක් හදාගෙන ඉදිරියට යන්න ඕනැ කියල. ඒ හරහා විශිෂ්ඨ ගණයේ රටක් නිර්මාණය කරන ඕනැ කියන සංවාදය දැන් කරළියට ඇවිල්ලා තියෙනව.
අවුරුදු පහෙන් පහට තියන මැතිවරණ වලදී මහජනතාවට ඉදිරිපත් කරනු ලබන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්රකාශනවලට ඇතුල් කරමින් තමයි අවේ. උදාහරණයක් විදිහට විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියල ශ්‍රී ලංකා ධරණීතලයේ තියෙන හැම පක්ෂයක්ම දිවුරුම් දීලා ප්‍රකාශ කරල තියෙනව. තමන්ගේ මැතිවරණ ප්‍රකාශවල ඉහළින් මැදින් සහ අගින් කොහෙන් හරි අනිවාර්යෙන්ම ඇතුළත් කරල තිබුණ. ඒ අනුව හැම පක්ෂ නායකයෙක්ම මේක කියල තිබුණ. ඒ වගේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ කොටස් ගැලපෙන්නැතෙයි, සුදුසු නැතෙයි කියල හැමෝම ස්ථාවරයකට ඇවිත් තියෙනව.
ඒ අනුව තමයි කොන්ද පණ ඇති කසේරුකාව සහිත ගාමික බලවේගයන් විසින් ජනාධිපතිවරයෙක් පත්කරපු 2015 ව්‍යපාරෙ ඇතුළෙ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විශේෂයෙන්ම ගේන්න ඕන කියන මතය මුලට ගෙනාවේ. ඒ අනුව ජනතාව ලව්ව අර කරුණ අමතන්න ඕන කියන කරුණ පොරොන්දුව මත මේවා අනුමත කරගැනීමේ අභිලාෂයෙන්. ඒ අනුව තමයි 52%කට වැඩි ජනතාවක් 2015 ජනවාරි 8 වෙනිදා ඒක අනුමත කරල මෛත්‍රිපාල සිරිසේන නමැති පුද්ගලයව මේ දේශපාලන අභිලාෂයෙන් අරූඨ කරවල පුද්ගලයෙක් හැටියට ඔහු ජනාධිපති තනතුරට ගෙනාවේ.
එතකොට ඒක තමයි අවසාන ජනවරම, මේ රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධව ගෙනාපු ප්‍රබලම ජනවරම. ඒ වගේම 2015 අගෝස්තු 17 ඒකෙ තව දුරටත් දිගුවක් හැටියට මේ මතවාදය සමාජයට අපි පිළිගැන්නුවා. ඒ අනුව මහජනතාව ඒක සාපේක්ෂව ශාතිෂය බහුතරයකින් අනුමත කෙරුව කිසි ප්‍රශ්නයක් නැතිව. ඒ අනුව කිසිදු කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න බෑ ව්‍යවස්ථාවක් ඕනැය මේ ශ්‍රී ලංකාවට කියන එක සම්බන්ධව. ඒක විවාදයක් වෙන්න බෑ කිසිම කෙනෙකුට. එහෙම නිසා කිසිම කෙනෙකුට ව්‍යවස්ථාවක් ඕන නෑ කියල කොහොමත් කියන්න බෑ. හැබැයි ව්‍යවස්ථාවේ තිබිය යුතු ලක්ෂණ ගැන එහි තිබිය යුතු නීති රීති හා ප්‍රතිපත්ති පිළිබඳව ඕන කෙනෙකුට විවාදයක් තියෙන්න පුළුවන්. ඒ විවාදය සංවාදයක් බවට පත් කරමින් ජනසම්මතමය මූලධර්ම පාවිච්චි කරල, සාකච්චාවෙන් සම්මන්ත්‍රණයෙන් හා අදහස් හුවමාරු කර ගැනීමෙන් ඒ ඇති වෙන විවාදයන්ට විසඳුම් හොයාගෙන ඉතාමත්ම රටට උචිත ව්‍යවස්ථාවක් ගෙන ඒම තමයි අපි කාගෙත් උත්සාහය වෙන්න ඕනෙ.
මනෝජ් රූපසිංහ
