19 වෙනි ව්‍යවස්ථාව නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යන්න තිබුණා – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවට ලොව තිබුණු පිළිගැනීම මානව හිමිකම් කඩවීම් හේතුමත හා ජාතිවාද කෝලාහල මත යම් අපකීර්තියකට පත‍්වෙලා තිබුණා. එම කළු පැල්ලම් යම් තරමකින් මැකී යමින් පවතිද්දි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩු පෙරළිය නිසා යළිත් ලෝකය අප දෙස විරෝධාකල්ප එල්ල කරන්න පටන් ගත්තා නේද? අපි අසංවරශීලි විනයක් නැති ජාතියක් ලෙස ලොව හංවඩු ගැහුණා නේද?

අපිට තියන දේශපාලන හා ආර්ථික ක්‍රමය අපිට ආරෝපණය වෙලා තියෙන ඒවා. අපි මීට වසර 70 කට පමණ ඉස්සර මීට වඩා ඉස්සරහින් හිටිය. ආර්ථික ක්‍රමය අතින් ගත්තත්, සාමාජය අතින්ගත්තත් අපි ඉදිරියෙන් හිටියා. වයස 21න් ඉහළ හැමටම සර්වජන ඡන්ද බලය ලැබිච්ච ප්‍රධාන රටක් ලංකාව. මුළු ලෝකෙම අප රට කෙරේ අවධානය යොමුවෙලා තිබුණා. මේක හදිස්සියේ ඇති වුණු එකක් නෙමෙයි. ඒ ඔක්කොම බිඳ වැටුණා පහුගිය කාලේ ඇති වුණ සිද්ධින් නිසා. නිදහස ලැබුණා දා ඉඳලා මේ රටේ පවත්වාගෙන ගිය ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමක් සිද්ධ වුණා. ආර්ථික වශයෙන් බිඳවැටීමක් සිද්ධ වුණා. සාමාජවාදය ගැන තිබුණු අපේක්ෂාවනුත් දැන් බිඳවැටිලා තියෙනව.

ඒ ව‍ගේම මේ තත්ත්වය තේරුම් අරගෙන යළි ගොඩනගාගැනීමේ හැකියාවත් තියෙනව. ඒ සක්‍යතාවයන් තියනව. අපි මේ තත්ත්වයන් අවබෝධ කරගෙන තමයි කරන්න ඕනැ.

අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කෙහොමද?

අපි සාදාචාරාත්මක වශයෙන් මේ තියන තත්ත්වයෙන් ගොඩ එන්න ඕනෙ. අපේ රට අද කොයිතරම් පරිහානියට පත්වෙලා තියනවද කියල කියනව නම්, රෝහලේ බෙහෙත් පොලීම, බස් පෝලීම පවා හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒවා කඩාබිඳගෙන යන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නෙ. ඒ වගේම පාසල් වලට ළමයෙක් ඇතුළත් කරනකොටත්, විභාගයකට පෙනී සිටිනකොට විතරක් නෙමෙයි රජයේ කොන්ත්‍රාත් දෙනකොට, මේ රටට ආයෝජකයො එනකොට පවා, අපිට තෑගි වශයෙන් යම් ප්‍රධානයක් කරනකොට පවා එකෙනුත් පගාව ගන්න තමයි බලන්නේ. හැම අංශයකින්ම මේ තියෙන සදාචාර විරෝධිබව නැති කරගන්න බලන්න ඕනැ ප්‍රථමයෙන්.

එක දේශපාලන පක්ෂයක් හැර අනෙක් හෑම දේශපාලන පක්ෂයක්ම සම්පූර්ණයෙන්ම අවස්ථාවාදයට යට වෙලා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවද ඇතුළුව හැම පක්ෂයක්ම අවස්ථාවාදයට යට වෙලා තියෙනව. එයාලා බලන්නෙ කෙසේ හෝ තමන්ගෙ බලය වැඩි කරගැනිමටයි කියල කියන්න පුළුවන්. එ‍යත් වෙනස් කරගත යුතුයි.

පහුගිය දවස් පණහක අත්දැකීමෙන්, හොඳපාඩමක් ඉගැන්නුවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්ව විද්‍යාලයක උපාධියක් කරල ලබාගන්න බැරි දැණුමක් සමස්ථ ජනතාවටම ලැබුණා. එම පාඩම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම හා ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය පිළිබඳව. ජනතාවට එක අවබෝධකගන්න තරම් හැකියාවක් තිබුණු බවද පැහැදිලි වෙනවා. එය මේ තිබුණු කළු වළාවේ තිබුණු රිදී රේඛාවක් වගෙයි කියල හැඳුන්වන්න පුළුවන්.

මේ රටේ තියන විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කරල දාන්න ඕනෙ කියල කියන්න පුළුවනි. ඒක ඉතාම පැහැදිලියි. ඒ එක්කම අපි අවධාරණය කරන්න ඕනැ, අපි හිතුවට වැඩිය ඉදිරි පියවරක් අපි 19 වෙනි ව්‍යවස්ථාවෙන් සිදුකරල තිබිල තියෙනව. ඒකෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය බේරුණේ. නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය අපිට නැතිවෙන්න තිබුණා. ඒවා තවදුරටත් වර්ධන කර ගැනීම ගැන අපේ අවධානය යොමු වෙන්න ඕනෙ.

වර්ථමාන ලෝක තත්ත්වය ගැන අපි පුද්ගලයින් වශයෙන් දේශපාලන සංවිධාන වශයෙන් සිවිල් සංවිධාන වශයෙන් හිතන්න ඕනැ. ලංකාව කියන්නේ ලෝකය නමැති සංස්ථාවේ එක අනුවක් පමණයි. ලෝක තත්වෙන් වියුක්ත වෙලා අපිට වැඩ කරන්න බෑ.

මම එකේ අන්තයකට ගිහිල්ලා හිතන්නෙ, අපි ලෝක වෙළඳපලට නිෂ්පාදනය කරන්නෙ මොනවද කියන එකත් දැන් තීරණය කරගන්න ඕනැ. සෑම ක්‍රිඩාවකදි වගේම මේ දේශපාලන ක්‍රිඩාවේදීත් යම්කිසි නිතිරීති මාලාවක් තියෙනව ඒවා අනුගමනය කරන්න ඕනැ. ව්‍යවස්ථාව තමයි අපේ රටේ තියෙන ගරුකටයුතු නීතිය. ඒක කාටවත් කඩන්න බෑ. ඒක කඩන්න යෑමෙන් තමයි මේ සමස්ථ අර්බූදයට හේතු වුණේ.

අනිත් කරුණ තමයි රාජ්‍ය සේවය එක්දහස් නමසිය පණස් ගණන් වල ඉඳලම දේශපාලනීකරණය වුණා. අද ළමයෙක් පාසැලට දැමිම පවා දේශපාලනීකරණය වෙලා. මේ දේශපාලනීකරණය සම්පූර්ණයෙන්ම නවත්වලා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් නිර්දේශපාලනකරණය වූ නිදහස් සේවයක් බවට පත් කළ යුතුයි.

මේ සියලු තත්ත්වයන්ට ගැ‍ලපෙන සමාජ ආර්ථික ක්‍රමයක් අප විසින් හොඳින් කල්පනා කර බලා සකස්කර ගතයුතුව තියෙනව. ඒවායින් තමයි රට යහපත් දිසානතියකට ගෙන යන්න පුළුවන්.

ඔබ නියෝජනය කළේ වමේ කේන්ද්‍රය. වමේ කේන්ද්‍රය කියන්නෙ කොමිනියුස්ට් සමසමාජ වලින් කඩාගෙන ඇවිත් සෑදුණු සංවිධානයක්. අද වමේ පෙරමුණ සිටින්නේ කා සමඟද?

වමේ කේන්ද්‍රය කියන්නෙ 2014 නොවැම්බර් මාසයේ සිට සමසමාජ පක්ෂයේත් කොමිනියුස්ට් පක්ෂයේත් මහින්ද විරෝධි, ඒ කියන්නේ මේ රටේ නැතිවේගෙන යන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කළ යුතුයි යන අරමුණෙන් පිහිටුවා ගන්නා ලද සංවිධානයක්. වමේ කේන්ද්‍රයේ ඇහින් අද පවතින දේශපාලන ක්‍රියාවලිය දිහා බලනකොට සර්ව සම්පූර්ණයි කියල කියන්න බැරි වුණත් වඩාත් නිවැරදි දේශපාලන සංවිධානයක් ව‍ශයෙන් ක්‍රියාකරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව පේනවා.

වමේ පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ සමඟ මීට පෙර සංධානගතව සිටියේ නෑ නේද?

අපි සිවිල් සංවිධානයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කෙරුවා. අපි ඒ මතවාදය ජනතාව අතරට ගෙන යන්න පුවත්පතක් පවා පළකෙරුවා.

පහුගිය දිනක කිරුළපන පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැළියේ වේදිකාවෙ ඔබ අසුන්ගෙන ඉන්නවා දුටුවා. ඒක ඔබගේ පෞද්ගලික නියෝජනයක් ද  වමේ කේන්ද්‍රයේ තීරණයක්ද?

වමේ කේන්ද්‍රයේ තීරණයක්. මේ වෙලාවේ තියෙන ප්‍රධාන කර්තව්‍යක් සඳහායි එකතු වුණේ.  අනෙකුත් වෙනස් කම් අමතක කරල ප්‍රධාන කර්තව්‍ය වන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සදහා එක්සත් විය යුතුය, යන මතයේ ඉඳගෙන තමයි අපි ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවට නැග්ගෙ.

එය වමේ කේන්ද්‍රයේ කාරක සභාවක් මගින් හෝ දේශපාලන මණ්ඩලයකින් ගත්ත තීරණයක් ද?

වමේ කේන්ද්‍රයේ තියෙන්නේ කැඳවුම්කාර මණ්ඩලයක්. එහි තීරණයක් මත තමයි මම එම රැළියට සහභාගි වී ‍අපේ පණිවිඩයක් ඒ සභාවේ දී ජනතාව හමුවේ පැවසුවේ.

දින 50 හේ ව්‍යවස්ථා විරෝධි අරගලයේ ජයග්‍රහණය  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ  අරගලයේ ජයග්‍රහණයක් ද? එක්සත් ජාතික පක්ෂයේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයක් ද?

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් උත්සාහ කරනව මේක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයක් බව පෙන්නන්න. නමුත් මේක කිසිම විදිහකින් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයක් නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි රනිල් වික්‍රමසිංහට බලය රැකගන්න පුළුවන් වුණේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඒ අයට සහය දුන්න නිසයි. එහෙම නැති වුණා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. ඒක නිසා මෙය එක්සත් ජාතික පක්ෂයේ පමණක් ජයග්‍රහණයක් නෙමෙයි.

විශේෂයෙන් 2015 දි යහපාලන ගේන්න වටකරගෙන හිටපු සිවිල් සංවිධාන සියලුම හැකියාවන් යොදමින් පාරට බැස්සා. ඒ විතරක් නෙමෙයි මුළු රටම ඒ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට බැස්සා. ඒක ඉතාම හොඳ අවස්ථාව නිර්මාණය වීමක්.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *