මේ රට වැඩවසම් මානසිකත්වයේ තවමත් මිදී නෑ – නිමල්කා ප්‍රනාන්දු

වත්මන් දේශපාලන ක්‍රියාදාමය දෙස මා බලන්නේ කාන්තා ක්‍රියාකාරිනියක් ලෙසට ය. පසුගිය මැතිවරණය දෙස බැලූවිට කාන්තා නියෝජනය සතුටුදාක මට්ටමක නැති බව පැහැදැළි යි. ඇත්තටම අපි බැලූවොත් මැතිවරණ ව්‍යාපාරයේ ශෛලිය, ඒ වගේම කාන්තාවන්ගේ නියෝජනය සම්බන්ධයෙන් ඡන්දදායකයින් ගේ නැඹුරුව අතිශයින් ම සාම්ප්‍රදායික වේ. ඡන්දදායකයින් දේශපාලනයේ කාන්තාවන් සිටිය යුතුයි කියන කාරණය දිහා නෙත් හෙළා තිබෙන්නේ ඉතාමත් පසුගාමි ආකාරයට ය. ඇත්තටම ජයග්‍රහණය කරලා තියෙන අයට අපි සුභ පතනවා වගේම ඡන්දය දී තිබෙන්නේ ස්වාමි පුරුෂයා මිය ගිය අයට ය. අලූතෙන් පැමිණි අයත් ඒ වගේ ම ය. මාතලේ කවිරත්නගේ බිරිඳ, එතකොට තලතා අතුකෝරාළ සිය සහෝදරයා නිසාවෙන් සහ යාපනයෙන් විජය කලා මහේශ්වරන් සැමියා නිසාවෙන් පැමිණි අය වේ. කෑගල්ලේ තුසිතලාට තිබෙනන්නේ සාම්ප්‍රදායික පදනම ය.

තමන්ගේ ම ධෛර්යයෙන් තරගකළ අය හැටියට මා දකින්නේ රේනුකා හේරත්, ශාන්තිනී කොන්ගහගේ සහ රෝසි සේනනායක ය. ඒ අයට එහෙම පවුල් පදනමක් නැත. එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝදයින් හැටියටයි ඒ අය සැළකෙන්නේ. නමුත් ඒ අය සියළුම දෙනා පරාජයට පත්විය. බොහෝ විට රෝසිගේ පරාජයවීම සංකේතාත්මකව පැමිණියත්, ඒක නොවෙයි කාරණාව. මේ ඡන්ද දායකයින්ගේ පවතින දේශපාලන සිතුවිලි දාමයන් තවමත් වැඩ වසම්, ඒ වගේම මම බලාපොරොත්තු වුණේ නැහැ රාජපක්ෂ පාලනයේ තිබුණා වූ දුර්ගුණයන්, දූෂණය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධය නිසා සන්ධානට මේ ආකාරයට විශාල ඡන්දයක් ලැබෙයි කියලා. නමුත් මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය වන වැඩවසම් දේශපාලනයට තවමත් රටේ තැනක් තිබෙන බව මේ අනුව අමතක කළ නොහැක. වැඩවසම් දේශපාලනයයි නවීන දේශපාලනයයි කියලා ගත්තාම නවීන දේශපාලනයක් කියා දෙයක් තිබුණේම නැත.

එක්සත් ජාතික පක්ෂයත් කොපමණ ධනේහ්වර කිව්වත් ඔවුන් තුළත් තියෙන්නේ වැඩවසම්, ගතානුගතික හා අධිපතිවාදි දේශපාලනයකි. ගැටුනේ මේ බලවේගයන් දෙක ය. වම ගැන මෙතන කථා කිරීමේ තේරුමක් නැත. ඒක කවදා ගොඩ එයිද කියන්නට මා දන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ පවා මේ මැතිවරණයට පෙනී සිටියේ පංතිමය ස්වරූපයකින් නොවේ.

නමුත් සංක්‍රමණිය වශයෙන් මහින්ද රාජපක්ෂගේ පරාජයවීම, ඒකාධිපතිවියරුව පරාජයවීම, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මතුවෙමින් තිබුණු අධිකාරිවාදය පරාජයවීම සම්බන්ධයෙන් විශාල සතුටක් මට තිබේ. එතනදී එක්තරා ලිබරල් ව්‍යාපෘතියක් ජයගෙන ඇත. ඒ ලිබරල් ව්‍යාපෘතිය සංක්‍රමණීය එකක් ලෙසයි මා සළකන්නේ.

දැන් බලයට පත්වී ඇති මේ ආණ්ඩුව ගැන කියනවා නම් ඒ පිළිබඳව මට විවේචන තිබේ. නමුත් මේ ආණ්ඩුව පැරදවීමට මහින්ද රාජපක්ෂගේ චීන අධිරාජ්‍යවාදි බලවේගය සමග කුමන්ත්‍රණයක් ආවොත් එයට එරෙහිව මා පෙනී සිටිනවා.

කැබිනෙට්ටුව වැඩි කිරීමට වඩා, අපි ඇතිකළ වෙනසේ හරයාත්මක ප්‍රශ්නය හැටියට මා කැබිනට් මණ්ඩලයේ සංයුතිය දිහා බලන්නේ. මේ විෂයන් කොහොමද බෙදලා තිබෙන්නේ කියන කාරණය ද වැදගත් ය. එය මට පෙනෙන්නේ මහ විකාරයක් ලෙසට ය. මා විවේචනය එල්ල කරන්නේ ජනාධිපතිතුමා ගේ තෝරා ගැනීම පිළිබඳව ය. එතන දී ඔහුට මූලික වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට තබාගැනීමේ සහ තමන්ගේ බලය තහවුරු කරගැනීමේ න්‍යාය පත්‍රය මිසක යහපාලනය ගොඩ නැගිය යුතුයි කියන කාරනාව ට අනුව නොවේ. අවශ්‍ය නම් ඇමති මණ්ඩලය 100ක් හිටියත් කමක් නැහැ. ඒ 100දෙනා දූෂණ චෝදනා නොලැබූ, යහපාලනය වෙනුවෙන් ජනවාරි 8 පාරට බැස්ස අය විය යුතු ය. එසේ නම් මට එක්තරා සහතිකයක් හරි තිබෙනවා මේ අය අපි බලාපොරොත්තු වූ වෙනස සඳහා මැදිහත් වෙයි කියලා.

අපි ගත්තොත් එස්. බි. දිසානායකට ලබාදී තිබෙන අමාත්‍යාංශය. ඒක එක පැත්තකින් සමුර්ධිය සහ දිවි නැගුම ලෙස සැළකිය හැක. නමුත් සමුර්ධිය මැතිවරණ යාන්ත්‍රණයක් බවට පත් කරලා ලංකාවේ දිළිදු භාවය සමානයි ඡන්ද දායකයා කියන තැනට පත්කරලා මේ රටේ මැතිවරණයේ නිදහස සහ සාධාරණ බව වැනසූ පුද්ගලයා හැටියටයි දිසානායකව සළකන්නට පුළුවන් වෙන්නේ. එයාම නැවත ඒ අමාත්‍යාංශයට පත්කරනවා කියන කාරණාව තුළ, බරලපතල දේශපාලන අනතුරක් තිබේ. අපේ දේශපාලනය ප්‍රචාරය කි්රීම පිළිබඳ කාරණාවේ දී ඉතාමත් ප්‍රජාතන්ත්‍ර විරෝධිව කටයුතු කළ සමුර්ධි නිලධාරීන්ව සම්බන්ධයෙන් අපි යම් චෝදනා ගෙනවිත් ඡන්ද කාලයේ ඔවුන් පිළිබඳව යම් මැදිහත්වීම් කළා. විශේෂයෙන්ම දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රිකිකයේ සමුර්ධි නිලධාරින් ඡන්ද දූෂණ කළේ නැතැයි කියන්නට බෑ.

ඒ අය සම්බන්ධයෙන් අපිට පියවර ගන්නට අවශ්‍ය නම් එසේ කිරීමට කිසිම අවසරයක් නොලැබෙන ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මහත්මයා පැමිණ ඒ කථාන්තරය වසා ඇත. ඒ අනුව එම අමාත්‍යාංශය එස්. බි. දිසානායක ට නැවත ලබා දිම ආපසු අතීතයට යෑමකි. අතීතයේ දුරාචාරය, අතීතයේ දූෂණය නැවත ඇතිකිරිමක් ඒක. අනිත් එක නිශාන්ත මුතු හෙට්ටිගම, සුසන්ත පුංචි නිලමේ, මේ අයට අවස්ථාව නොදී ජනාධිපති සිරිසේන මහත්තයාට ආණ්ඩුවක් ගෙනියන්නට නොහැකි ද? මේ අය නැතිව ලංකාවේ ආණ්ඩුවක් කරගෙන යන්නට නොහැකි ද යන කාරණය මෙතනදී මතුකරන්නට අවශ්‍ය ය.

අනික් අතට ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය මා පිළිගන්නවා. මක්නිසාද යත් අපගේ රට මුහුණ දී ඇති අර්බුදය ගොඩ එන්නට නම් ඒ ප්‍රධාන පක්ෂ දෙකේ සංවාදය නැතිව මෙතනින් ඉදිරියට යන්නට නොහැක. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය, ජාතික ප්‍රශ්නය විසදීම , ජිනීවා ප්‍රශ්නයට මුහුණදීම කියන කාරණාව, මැතිවරණ කොමිසම, ස්වාධින කොමිසන් සභා පත්කිරීම. යන දේවල් ඉටු කරුනීමට නම් සම්මුති දේශපාලනය අවශ්‍ය ය. එය ලිබරල් දේශපාලනයේ ඉහල තලයකි. නමුත් මේ සිදුවෙලා තිබෙන්නේ ජාතික ආණුඩුවක් නොව සභාග ආණ්ඩුවකි.
පරණ ඇමතිවරුන් චෝදනාවන්ට ලක්වුවහොත් මුල්ම අවස්ථාවේ දී ම ඔවුන්ව කැබිනට් එකෙන් ඉවත් කළ යුතු ය. එසේ කළහොත් පමණමයි අප බලාපොරොත්තු වූ අරමුණ ඉටුවනවා කියන සහතිකය ලැබෙන්නේ.

ලංකාවේ දේශපාලනය ගැන අශූභවාදිව කථා කළත් ඉදිරියට යන්නට අවකාශයක් ලැබී ඇති බව ද තේරුම් ගතයුතුයි. මෙතන දී හදාගත නොහැකි වුවහොත් නැවත පරණ නරාවලටම දේශපාලනය වැටෙන්නට පුළුවන. ඒ නිසා අවශ්‍ය තැන්වල දී ජනතාවගේ මැදිහත්විම අත්‍යවශ්‍ය ය. එසේ නොකළොත් අපි කළ වෙනසින් කිසිදු ප්‍රයෝජනයක් අත් වන්නේ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *