සංඝ රත්නයේ කාර්යභාරය – සම්පත් අමරසිංහ
ඉරිදා ‘අනිද්දා’ පුවත්පතෙහි පළ වූ පුවතක ශිර්ෂ පාඨය වුයේ “ජනපති ඉල්ලීමට මහනායක හිමි බෑ කියයි” යන්නයි. අදාළ පුවත මේසේය:
“පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට” මහානායක හිමිවරුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිර්සේන නොවැම්බර් 7 වැනදා රාත්‍රියේ ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.
“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ නියෝජිතයන් නොවැම්බර් 7 වැනිදා රාත්‍රි මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් හමු වී මෙම ප්‍රකාශය ලබා ගැනීමට සාකච්ඡා කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් මල්වතු හිමියන්ගෙන් ලැබී නොමැති බව අපගේ ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
“මෙම සිදුවීමට පෙර රට තුළ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස වූ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතු ලිඛිත ඉල්ලීමක් ජනාධිපතිවරයාට යැවීමට සකස්කර තිබි ඇත. එයට පාර්ලිමේන්තුව නොකැඳවන්නේ නම්, පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙසට වූ ඉල්ලීමක් ද අවසන් මොහොතේ ඇතුළත් වීම නිසා ඇති වූ විවාදය හේතුවෙන් එම ඉල්ලීම ඇතුළත් ලිපිය ද ජනාධිපතිවරයාට යොමු කිරීම අවසන් මොහොතේ අත්හැර දමා ඇත.
ඉහත ප්‍රවෘත්තිය අපට කිහිප ආකාරයකින් වැදගත් වේ. එකක් නම් පරම බෞද්ධයන් වශයෙන් පෙනී සිටින මෛත්‍රි මහින්ද ආදීන්ගේ ආගමික සිතාම්බර පටසළුව ගැල වි ඔවුන්ගේ සැබෑ දේශපාලන හෙලුව ප්‍රදර්ශනය කරන රහසක් එකී උත්සාහය තුළ ගැබ් වී තිබීමයි. අප කියන ඒ හෙලුව කුමක් ද? මෙසේ තේරුම් ගනිමු; ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාරේලිමේන්තුව විසුරුවා හරින බවට ගැසට් නිවේදනය නිකුත් කරන්නේ නොවැම්බර් 9 දා රාත්‍රියේය. එනම් මෛත්රිගේ නියෝජිතයන් මහනායක හිමිවරුන් හමු වී පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ඉල්ලීමක් උන්වහනසේලා විසින් මෛත්‍රිට කරවා ගත් උත්සාහයෙන් දින දෙකකට පසුවයි. නොවැම්බර් අටවැනිදා සහ නමවෙනිදා පවා කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ශවය එළිපිට කීවේ, පාර්ලිමේන්තුව විසිරුවා නොහරින බව හා පළාත් සභා මැතිවරණයකට යන බව වුව ද මාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීම පිළිබද ප්‍රශ්නයකට ඔවුන් ඒ වන විට මුහුණ දී සිටි බවට සැකයක් තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස ප්‍රකාශකළ වහා පාර්ලිමේන්තුව කල්තැබුණේ ද ආණ්ඩුවක් පිහිටුවන්නට අවශ්‍ය බහුතර බලය මෛත්‍රි මහින්ද හවුලට පාර්ලිමේන්තුවේ නොතිබුණු නිසාය. ඔක්තෝම්බර් මස 26 වෙනිදා සිට නොවැම්බර් 09 දින පාර්ලිමේන්තුව විසිරුවීමේ මොහොත දක්වා මෛත්‍රි මහින්ද කල්ලිය උත්සාහ කළේ තම පාර්ලිමේන්තු බලය තහවුරු කර ගැනීමට වුව එය සාර්ථක වූයේ නැත. අවසාන්යේ ඔවුන්ට ඉතිරිව තිබුණේ විකල්ප දෙකකි. එකක් නියමිතව තිබූ පරිදි නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව කැඳවා එහි දී කුජීතු වන්නටය. දෙවැන්න කවර උප්පරවැට්ටියකින් හෝ නොවැම්බර් 14 දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තුව තුළ පරාජයෙන් දිවි ගලවා ගැනීමය.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවාලිය හැක්කේ ආණ්ඩුවට වසර හතරහාමාරක් ගත වීමෙන් පසුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන බැවින් ගැටේ ලිහා ගත නොහැකිව හොදි හලාගෙන මිස පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරිය නොහැකි බව මෛත්‍රි මහින්ද හවුලට අවබෝධයක් තිබුනි පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව පරාජය වීමට වඩා පාර්ලිමේන්තුව කෙසේ හෝ විසුරුවා හැරීම ඇගට සනීප බව දැන මෛත්‍රි උත්සාහ කර ඇත්තේ මහානාහිමිවරු මතින් තම පාපකර්මය යවා ඇඟ බේරා ගන්නටය. එනම් මහනාහිමිවරුන්ගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව මහ ජනතාවට පෙන්වා අපවාදයෙන් බේරීමටය. දේශපාලන භාෂාවෙන් කියන්නේ නම් එය තමන්ගේ දේශපාලන මුග්ධකම් වසා ගැනීම සඳහා ඇති අති පූජ්‍ය මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් කඩේ යැවීමට ගත් උත්සාහයකි. සුදු වතින් සැරසී නිතර පන්සල් යන උපාසක ම්රෛති සහ මහින්දගේ සැබෑ ස්වරූපය මේ අනුව පැහැදිලි වේ. ඔවුන් ගේ බෞද්ධකම් සියල්ල මවා පෑමක් බව තමන්ගේ දේශපාලන අරමුණු මහනායක හිමිවරුන්ගේ මුවින් පිරකරවා ගැනීමට උත්සාහ කිරීමෙන්ම පැහැදිලිවේ.
දෙවැනි කරුණ වන්නේ මේ වන විටත් කුමන්ත්‍රණ ආණ්ඩුව ආකාර දෙකකින් මහානායක හිමිවරුන්ගේ කැමැත්ත ඉක්මවා කටයුතු කර ඇති බවයි. පළමු ආකාරය මේ වන විටත් පැහැදිලි කර ඇත. එනම් මහ නා හිමිවරුන්ගේ අකමැත්ත නොතකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. අනෙක් කරුණ අදාල වන්නේ පාර්ලිමේන්තුව කල්තැබීම හා පාර්ලිමේන්තුව නැවත රැස්කිරීම යන කාරණය සම්බන්ධයෙනි.
ඉහත උපුටා දක්වන්නට යෙදුණු පුවතට අනුව, රට තුළ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස වූ ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ අත්සනින් යුත් ලිඛිත ඉල්ලීමක් ජනාධිපතිවරයාට යැවීමට සකස් කර තිබී ඇත. එම ලිඛිත ඉල්ලීම මගහැරී ඇත්තේ අවසන් මොහොතේ පාර්ලිමේන්තුව නොකැඳවන්නේ නම් විසිරුවා හරින ලෙසට ඉල්ලීමක් ද ඇතුළත් වීම නිසාය.
ඒ අනුව ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ අභිප්රායව පැවතී ඇත්තේ පාර්ලිමේන්තුව වහා රැස්කිරීම බව පැහැදිලිය. එනම් පාර්ලිමේන්තුව කල්දමා තිබීම විසින් රට ව්‍යාකූල තත්ත්වයකට ඇද වැටී ඇති බව ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ද පිළිගන්නා බවයි. දැන් උන්වහන්සේලාගේ කැමැත්ත ඉක්මවා යමින් පාර්ලිමේන්තුව රැස් නොකළා පමණක් නොව උන් වහනසේලාගේ අනුමැතිය හිමි නොවූ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ද කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජනාධිපතිවරයා කටයුතුකර තිබේ. මෙය පැහැදිලි ලෙසම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන්නා සේම මහ නා හිමිවරුන් අනුමත නොකරන ක්‍රියාවක් ද වේ. මෙවැනි මොහොතක රටේ උන්නතිය උදෙසා කටයුතු කරන ධාර්මික භික්ෂුන් වහන්සේලාට විශේෂ වගකීමක් පැවරේ. එය අන්කිසිවක් නොව රටේ සිදුවෙමින් පමතින දේ පිළිබඳ උන් වහන්සේලාගේ අවංක අදහස ප්‍රකාශකිරීමයි. කිහිප දෙනෙකුගේ බල අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවත්, ජන වරමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අවභාවිත කරන්නට ඉඩදී මහා සංඝරත්නය නිහඬව සිටින්නේ නම් රටත් අනාගත පරම්පරාවත් විශාල අගාධයකට ඇද වැටීමෙන් වළක්වා ගත නොහකි වනවා ඇත.
සම්පත් අමරසිංහ
